Thursday, February 9, 2017

කදෝකිමි හදවතකි...

නිවි නිවී දිලෙන
තාරුකා අඳුරක ගිලී
කදෝකිමි දහසක් එළි මැද
මතකයන් පා කර හරින්නෙමි

ඉන්ද්‍රජාල ස්වප්නයක තනිවී
කඩා හැලෙන තරුවක් සොයා
හද මතට පතිත වන්නට හරිමි
ප්‍රේමයත් පතිත වීමකැයි
සිත සිතා සැනහෙමි
මැවි මැවී යළි මියෙන එළි රටා මැදට වී
නුඹ සිනාසෙන හැටි බලා
නුඹත් එක්කන් හිනැහෙමි..

නුඹ මතක ගිනිකඳු පුපුරමින්
හද රිදුම් දෙන විටක වුව
අත් හරින්නට ලොබ බඳින
සුවහසක් මතක මැද
තවත් තව තවත් කිමිද
දුක් අඳුරකම ගිලෙමි

කදෝකිමි හදවතක් සොයා
සිත කියා හිනැහෙමි
ප්‍රේමයට තවත් ඉඩ ඇතැයි
උන් කිය කියා යන කතාවන් අසා ඉමි
සිනහවෙමි.. නුඹ වෙතම බැඳී ඉන්නෙමි..

16 comments:


  1. තේරුමක් නැතුවවුව
    නුඹ මතක තව සොයමි
    හමන දූවිලි සුළඟේ
    නුඹ සුවඳ ඉවකරමි

    මුල් ඇඳුන තැන් අමතක කරන්න අමාරුයි නේද? අනික්වා නෙමෙයි... බ්ලොග් ගැනයි මම කිවුවේ

    ReplyDelete
  2. ලස්සන කවි සිත්තමක් මහේශ්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. කදෝකිමි කියන්නේ කලාමැදිරියාටද.....

    ReplyDelete
    Replies
    1. කලාමැදිරියන්ට නෙමේ නම් ලකෙන් පුයිට්ලටද...උත්තරයක් දියන්කෝ බං, හරියට කවිය රස විඳින්න සහ අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න..

      Delete
  4. ..අය නොවන
    වැය නොවෙන
    හර නොවෙන
    බැර නොවෙන
    හදවතේ හිරකෙරුව
    ස්ථීර තැන්පතුව
    දවා හළු කර දමමි
    විසිවරක් දිනපතා..

    ReplyDelete
  5. පද ටික නම් ලස්සනයි...

    මොකක්ද බන් කදෝකිමි කියන්නේ??

    ReplyDelete
  6. ජ ය වේ වා !!!

    ReplyDelete
  7. කළාමැදිරිය මගේ ඇඳිරිය
    මකා ලන්නට ඔබට හැකි නම්
    ඇගේ කුටියට වහා පියඹා
    කියනු මැන මෙහි හිඳින බව මම්...
    කළාමැදිරිය මගේ ඇඳිරිය
    මකා ලන්නට ඔබට හැකි නම්...

    සඳත් මට නෑ ඉරත් නැත රෑ
    අඳුර මගෙ නෙත් වසා ළතවෙයි
    ලියූ ගීතය ගයන්නට බැරි
    විලස ඉඳහිට දෙතොල ගොත වෙයි...

    ඔබෙත් මතකය මගෙත් මතකය
    අතර හිස් බව මැකී යේවා
    මනෝ ලෝකය මවන සිතුවිළි
    ඉදිරි දවසක සැබෑ වේවා...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සනත් නන්දසිරි
    ගායනය : ජේ. ඒ. රොම්ලස් පෙරේරා

    ReplyDelete
    Replies
    1. අඩෝ සින්දු කොලුවෝ...මේ සින්දුව අහන්න ලින්ක් එකක් දීපන්. රොම්ලස් කියන්නෙත් චරිතයක්..

      Delete
    2. අරූ අයියා මෙන්න ..
      https://www.youtube.com/watch?v=ilFF03lMfcY

      Delete
    3. මචං සින්දු පුතා....මම ඇහුවා. මම මේ රොම්ලස් පෙරේරාගේ රස්තියාදු කටහඬට හරි මනාපයි. රොම්ලස් ආධුනිකයින්ට අත හිත දීපු මිනිහෙක්. අද ජවිපෙ පලාත් සභා මන්ත්‍රි කෙනෙක් ඉන්නවා, ඒ කාලේ රොම්ලස්ගේ ආධුනික පැයේ සින්දු කියපු. ඌටත් හොඳට සින්දු කියන්න පුලුවන්.

      Delete
    4. "මාස්‌ටර් බය වෙන්න එපා. නුගේගොඩ පැත්තේ කොල්ලෙක්‌ ඉන්නවා. බෙග්ගේ සිංදු ඒ විදිහටම කියනවා. මම හෙට උදේට එක්‌ක ගෙන එන්නම්." ජෝති පොරොන්දු වූවේය.

      නුගේගොඩ අවට ජෝතිට යහළුවන්ගෙන් අඩුවක්‌ නැත. දිනක්‌ එක්‌තරා කොලු ගැටයෙක්‌ ජෝතිට හඳුන්වා දෙමින් එක්‌ යාළුවෙක්‌" මූට හොඳට සිංදු කියන්න පුළුවන්" යෑයි කීවේය. ජෝති මුත්තුසාමි මාස්‌ටර්ට පැවැසුවේ මේ කොලු ගැටයා ගැනය.

      පසුදා උදේ පාන්දරම ජෝතිපාල ඇඳ සිටි සරම පිටින්ම නුගේගොඩට ආවේ මේ වයස අවුරුදු පහළොවේ කොලු ගැටයා සොයාගෙනය. කොලුවා ගීය ගයන්න එක පයින් කැමැති වූවේය. බෙග් වෙනුවට ගීයක්‌ ගයන්න. අනෙක හියුගෝ මාස්‌ටර් පෙනී සිටින රූපරාමුවකට, මිල්ටන් පෙරේරා සමඟ යුග ගීයක්‌ මිල්ටන් ගයන්නේ ජෝ අබේවික්‍රම වෙනුවෙන්" මොන තරම් වාසනාවක්‌ද ඔහු ගීය ගැයුවේය.

      මේ කොලු ගැටයා වයස අවුරුදු දහතුනේදී ගංගොඩවිල සුභද්‍රdරාමයේ දොරකඩ අස්‌න කියවූවේය. හොඳ කටහඬක්‌ තියෙනවා. සිංදු කියන්නත් පුළුවන් වේවි. " එදා සුභද්‍රdරාමයේ ලොකු හාමුදුරුවෝ.... දේවමිත්ත හිමි. නියත විවරණ දුන් හැටි මේ කොලු ගැටයාට "ඇමැතිකම" ගීය ගයද්දී සිහිපත් විය. හාමුදුරුවන්ගේ බස්‌ ඇසූ පසු තාත්තා සිමියොන් පෙරේරා, අම්මා ඇලන් විඡේසිංහ සතුටු වූ අයුරු. ඉන්පසු සරස්‌වතී මණ්‌ඩපයේ ගී ගයන්න යොමු කළ අයුරු. "ඇමැතිකම" ගීය ගයද්දී මතකයට ආවේය.

      ඇයි නාවෙ මා සොයලා
      සිතේ සංකා මවා තියා
      ඇයි නාවේ සොයා

      අප මේ කියන කොලු ගැටයා හැත්තෑව දශකයේදී ජනප්‍රිය ගායකයෙකු බවට පත් කළේ රංජිත් පීරිස්‌ ලියූ ඒ ගීයයි. මේ ගායකයා අන් කිසිවකු නොව ඡේ. ඒ. රොම්ලස්‌ පෙරේරාය.
      http://www.divaina.com/2016/12/16/cineart02.html

      Delete
  8. මහේෂ් මොකක්ද බං උඹේ මේ රෙද්දේ බ්‍රවුසර් එක. ඊතලයක් දාපන් බං. මං වගෙ මැට්ටන්ට හරි අමාරුයි අර කැරකෙන රෝදේ.

    ReplyDelete
  9. කදෝකිමි...අදමයි ඇහුවේ. කනා මැදිරියා නේද? හරි ලස්සන වචනයක්

    ReplyDelete
  10. සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ. ලස්සන කවි ටික.

    ReplyDelete