Pages

Pages

Sunday, November 2, 2025

කෲරත්වයේ මහා පා ගමන : The Long Walk



~Minor Spoiler Alearts~

The Long walk චිත්‍රපටයෙ වෙබි පිටපත පහුගියදා නිකුත් කෙරුණා. ලංකාවෙ සිනමාහල් වල සීමිතව තිරගත වුණ  හින්දා මේක බලන්න වුණේ නං පුංචි තිරේ තමයි. චිත්‍රපටය ගැන කතා කරන්න කලිං ඊට පසුබිම් වුණ පොත ගැන ටිකක් බලල ඉමුද?

 The Long Walk කියන නමින්ම 1979 දි මේ පොත පළ වෙන්නෙ රිචඩ් බැක්මන් (Richard Bachman) කියන නමින්. රිචඩ් බැක්මන් කියන්නෙ  ස්ටෙෆන් කිං  ගෙ අන්වර්ත නාමයක්. මේ පොත අයත් වෙන්නෙ ප්‍රතිඋතෝපියානු භීෂණ (Dystopian Horror) නවකතා කියන ශානරයට (Genre) . චිත්‍රපටය අයත් වෙන්නෙත් මේ ශානරයට ම තමයි. පොතේ සහ චිත්‍රපටයෙ බොහෝ වෙනස් කම් සහ සමාන කම් තියෙනව වුණත් ඒ ගැන කතා කරන එක ඒ තරං තේරුමක් නෑ කියල හිතනව. 

( චිත්‍රපටයෙ වගේම පොතේ ඇති සමාන අසමාන කම් සියල්ල නැතත් එකක් දෙකක් මතුවට දක්වා තිබෙනව)

චිත්‍රපටය ගැන කතා කරද්දි මෙහි අධ්‍යක්ෂක වරයා කවුද කියල දකිනකොට හිතෙන්නෙ මේ මනුස්සයට Dystopian Movies කරනව ඇර වෙන වැඩක් නැද්ද කියල. I am legend, Hunger games film series එක දැක්කම වෙන මොනව හිතන්නද. ඒත් ඒ ඇර කීනු රීව්ස් ගෙ Constantine චිත්‍රපටයත්, Red Sparow ත්‍රිලර් එකත් මෙයාගෙම තමයි. අද ⁣කතා කරන The Long Walk කියන Dystopian survival Thriller එකට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකය වගේම රොට්න් ටොමෑටෝස් දර්ශකයත් හොඳට සලකල තියෙනව. 

චිත්‍රපටය දිහාට හැරෙමු. මේ කතාව සිදු වෙන්නෙ එක්තරා යුගයක මහා යුද්ධයකට පසුව අන්තයටම, අගාධයටම වැටුණ අමෙරිකාවක. මේ කතාවට පසුබිම් වන අමෙරිකාව පාලනය වන්නෙ ඒකාධිපතියෙක්  යටතේ.(Totalitarianism.) චිත්‍රපටයට අනුව මේජර් (Major) ම තමයි අමෙරිකාවෙ සර්වාධිපතියා. නමුත් පොතට අනුව ඔහු ⁣ඒකාධිපතියා යටතේ පාලනය වන රහස් පොලිස් අංශයක ප්‍රධානියෙක් පමණයි. අමෙරිකාවේ සෑම ප්‍රාන්තයක්ම නියෝජනය වන පරිදි ලොතරැයියක් මගින් තෝරාගත් තරග කරුවන් 50 ක් මේ මහා පා ගමන සඳහා සුදුසු කම් ලබනව. පොතේ මේ සඳහා තරුණයන් 100 ක් සිටියත් චිත්‍රපටයෙදි එය 50 ක් දක්වා අඩු වෙනව. මෙහි නීති සරලයි වගේම කුරිරුයි. අවසානය තෙක් ඇවිද යා යුතුයි. ඒ වගේම නිශ්චිත වේගයක් රඳවා ගත යුතුයි. කෑම බීම වැසිකිළි කැසිකිළි කටයුතු පවා යන අතර මඟ සිදු කළ යුතුයි. ප්‍රමාද වුණොත් ඔහුට අනතුරු ඇගවීම් තුනකට පසුව ටිකට් එක (A ticket of Death) ලැබෙනවා. මේ සියලු දුෂ්කරතා විඳ තරඟය අවසන් කරන්නා මහා ජයමල්ලකට හිමිකම් කියනවා වගේම ජාතියේ වීරවරයෙක් බවටද පත් වෙනවා. 

පොත වගේම චිත්‍රපටයත් කේන්ද්‍රගත් වෙන්නෙ රේ ගැරිටි කියන චරිතය වටා. නැත්නම් ඉදිරිපත් වෙන්නෙ රේ ගෙ දෘෂ්ටිකෝණයෙන් කිව්වොත් වරදක් නෑ. චිත්‍රපටය තුල මේ කාරණාව ලොකුවට ඉස්මතු නොකලත් රේ ප්‍රධාන චරිතය විදිහට තමයි ඉදිරිපත් වෙන්නෙ. අනෙක් හැම කෙනාට වගේම රේ ට තියෙන්නෙත් සමාන අරමුණක් විදිහට අපට පෙනුනත් එක්තරා අවස්ථාවක සැබෑ කාරණාව ප්‍රේක්ෂකයට එළිදරව් වීම මත කතාවේ දිශාව උඩු යටිකුරු වෙනව. දෙවන අර්ධයක් නිල වශයෙන් නිශ්චිතව සඳහන් කල නොහැකි වුණත් කතාවේ දෙවන අර්ධය පටන් ගන්නෙ මෙතැනින් කියල මම හිතනව. හැම කෙනාටම ආශාවන් තිබුණත් ප්‍රතිඋතෝපියානු සමාජයක ආශාවක් දරා ගැනීමම, ජීවත් වීමේ ආශාවම මරණයට හේතුවක් කියල චිත්‍රපටය පුරාම අපට නිරන්තරව මතක් කරනව. මිනිසා තුළ ප්‍රචණ්ඩත්වයට ඇති නොනවතින ආශාව, මනුෂ්‍ය සන්තානයේ පවතින කෲරත්වය, වගේම ලෝකයේ අවසානයකදි වුණත් මිනිසා කියන සත්වයා⁣ තිරිසන් සතුන් ගෙන් වෙනස් වන මානව දයාව ත් චිත්‍රපටය පුරාම අපේ ඇස් කොණිති ගහනව. 

චිත්‍රපටය පුරාම අප ඉදිරියේ දිගහැරෙන ප්‍රශ්න ⁣දෙකක් තියෙනව. අප මරණය සැමරිය යුතුද නැතිනම් මිනිස් බව සැමරිය යුතුද..? මිනිසා ට සියල්ල අහිමි සමාජ වටපිටාවක, තමන්ගේ සිතීමේ, හැසිරීමේ නිදහස පවා අහිමි සමාජයක සැබෑවට කුමක් සැමරිය යුතුද..? චිත්‍රපටය මෙන්ම පොතේ ත් අවසානය යම් තරමකට සමානයි. මා ඒ ගැන කතා කරන්න අදහස් කරන්නෙ නැහැ. නමුත් අවසාන දර්ශනය තුලදී  මිනිසුන් සමරන්නෙ මරණයද..? නැතිනම් ජීවිතයද..? 

හෑන්ක් ගෙ බිරිඳ ගැන, ඔහුගෙ මරණයෙන් පසුව සහෝදර ඇවිදින්නෙකු විසින් හෙළිදරව් කරන ලද අවස්ථාව සහ එයට ඔවුන්ගේ ප්‍රතිචාරය නැතිනම් Reaction එක සමස්ථ මානව පැවැත්ම පිළිබිඹු කරන සාධකයක් වගේ. ඒ වගේම සියල්ලන්ගෙම පිළිකුලට බඳුන් වන බාර්කොවිට්ච් ( Barkovitch) ගෙ මරණය අවස්ථාවෙදි ඔහු පොදු සතුරෙකුගේ සිට සදාතනික සහෝදරත්වය වෙතට ඔසවා තබන්නෙත් ඒ විශ්වීය මානව පැවැත්ම නොවේද.?

මම මේ චිත්‍රපටය නරඹන අවස්ථාවේදී  ස්ක්‍රීන් ෂොට් කිහිපයක් ගත්ත. ඇත්තටම චිත්‍රපටය පුරාම සිනමාරූපිකත්වය දෘෂ්‍ය ප්‍රයෝග ආදිය මනාකොට අගය කල යුතු අවස්ථා රාශියක් තිබුණත් මම මෙහි එකතු කර තිබෙන අවස්ථා තුන සමස්ථ චිත්‍රපටයම එකට තියල කියවන්න පුලුවන් ඡායාරූප තුනක් කියල මට හිතෙනව. 

ජීවිතේට එළියක් දෙනව කියල පෙන්නුවට ඇත්තටම එහෙමද.?

අලුත් දවසක් දකින්න තරං වාසනාවක් මෙවන් යුගයක ලැබීමත්..?

ආශාවක් කියන්නෙ ගිනි ගෙන දැවෙන්න පුළුවන් තරම් පාපයක් වෙන්න පුළුවන්..!

(මේ චිත්‍රපටය පිළිබඳ මගෙ කියවීම පමණයි. චිත්‍රපටය පිළිබද පූර්ණ විචාරයක් නොවෙයි. )

20 comments:

  1. හොඳ විචාරයක් . මටත් බලන්න හිතුන . හන්ගර් ගේම්ස් වගේම නේද ටිකක්

    ReplyDelete
    Replies
    1. හන්ගර් ගේම්ස් වගෙ කියන්නත් පුලුවන් නෑ කියන්නත් පුලුවන්. තේමාව නං ⁣සමාන කමක් තියේ.

      හන්ගර් ගේම්ස් වගේ ඇදෙන්නෙ නැති නිසා පොඩි කික් එකක් තියේ. 😃😃

      Delete
  2. සුලබ තේමාවක්. ඒත් විනාශය තුළ පැවැත්ම, නැවත ගොඩනැගීම ඒවාට මුහුණ දෙන ධෛර්යය කියන දේවල් නිතරම ආකර්ෂණය දිනාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ඇත්ත. පොත ලියාපු කාලෙට සාපේක්ෂව දැං නං සුලබ කතා තේමාවක්. ඒත් ඔබ කියන්නා වගේ ඒ වගේ කාලෙක මිනිසාගේ පැවැත්ම සහ අභියෝග වලට මුහුණ දීම කියන දේ මත වැඩි ආකර්ෂණයක් තියෙනව

      Delete
  3. පට්ට! බලන්ඩ හිතෙන්ඩ ලියන්ඩ මේ වගේ, හැමෝට ම බෑ. වෙල්කම් බැක් සහෝදරය!

    ReplyDelete
    Replies
    1. හරි හරි බටර් එපා. වීව්ස් ටිකක් වැඩිපුර ආවොත් ආයෙ ලියනව 😂😂

      තෑම්ස් මෙයා හොඳේ.. ලෙව් යූ උම්මා

      Delete
  4. https://en.wikipedia.org/wiki/Into_the_Badlands_(TV_series)

    ReplyDelete
    Replies
    1. සීරීස් බලන්ඩ කම්මැලියි ප්‍රා තුමා. අන්තිමට බලපු එක එපි 8 ද කොහෙද. දවස් ගාණක් බැලුව. ඉස්සර වගේ කන්සන්ට්‍රේට් කරගන්න අමාරුයි.

      මේක ගැන මම ලියනව හැබැයි. ටික දවසක් යයිග

      Delete
  5. අම්මපා, ඇඞෙන්න ලියල තියනවා. හංගර් ගේම් වගේ කියල හිතුන තමා. ඒත් ඊට වඩා ගැඹුරු දාර්ශණික තේමාවක් තියනව වගේ.
    බලනවද, නැද්ද?, බලනවද, නැද්ද?, බලනවද, නැද්ද?, බලනවද, නැද්ද?😵‍💫

    ReplyDelete
    Replies
    1. හ්ම්....හුඟක් අඳුරු, අමු තේමාවක් පාටයි. The Maze Runner, The Hunger Games වල තිබ්බ කුතුහලය, බලාපොරොත්තුවේ සේයාවක්වත් නෑ වගේ. බැලුවොත් නෙගටිව් විදිහට කාළයක් ඔලුවෙ තියෙයි කියල හිතුන නිසා, බලන්න බෑ. ඒත් ස්තූතියි.

      Delete
    2. https://en.wikipedia.org/wiki/The_Handmaid%27s_Tale_(TV_series)

      Delete
    3. @බසූ..
      හන්ගර් ගේම්ස් වගේ චුවින්ගම් එකක් නෙවී. බලන්න පුලුවන්. අවුලක් නෑ

      හෝප් එකක් තියගෙන්න පුලුවන්. ස්පොයිල් වෙන නිසා කියන්න බෑ 😃😃

      Delete
    4. @ප්‍රා
      Handmaid Tale මෙහෙ ඉස්කෝල වලට නිර්දේශ කරලා තියනවා. ඉඳහිට පල්ලිය කරේ තියන් ඉන්න දෙමව්පියෝ පැමිණිලි කලාම , ඒ වෙනුවට Brave New World තෝරාගන්න ඉඩ දෙනවා. පොත් දෙකෙම හොඳයි, දෙකෙන්ම දරුවන්ට පෙන්නන්නේ අන්තගාමී සමාජයක විපාක.

      @ මහේෂ්
      මොනවා උනත් උඹ ආයෙ ලියන්න ගත්ත එකම වටිනවා.🙏

      Delete
    5. මම ලිව්ව දිගටම.පබ්ලිෂ් කලේ නෑ. නිකං බලං හිටිය.
      වීව්ස් නැති වුණාම එපා වෙනව

      Delete
  6. ඇත්තටම මම කලාව මතුපිටින් රසවිඳින කෙනෙක්. ගීතයක් උනත්, නව කතා කෙටිකතා පොතක් උනත් චිත්‍රපටියක් උනත් ඒක එහෙමමයි.
    ඒ නිසාම මේ විචාරය බලලා මම චිත්‍රපටිය බලන්න හිතුනා කිව්වොත් ඒක ගල්පැලෙන ඇත්තක් වෙනවා.

    ඒත් උඹ ආයේ ලියනවා කියලා දැන ගත්තාම හිතට එන මෙව්ව එක නම් කියලා නිම කරණ්න බෑ!

    හිනා වෙන්න එපා මම රස විඳි චිත්‍රපටි කිහිපයක නම් මම පහලින් දාන්නම්. ඒ ටික බලලා තීරණය කරපං මාව තවදුරටත් ආශ්‍රය කරණවාද නැද්ද කියලා!
    Untouchables, Highway men, Dirty Harry films, Doller films, The Good the Bad and the Ugly, Seven samurai, Bridge on the River Qwai, Indiana Jones films, වැලිකතර, බඹරු ඇවිත්, හාරලක්ෂය, බව දුක, අස්වැසුම, අමීර් කාන්ගේ සියළුම චිත්‍රපට, මෙල්ගිබ්සන්ගේ අධ්‍යක්ෂණයයන්

    ReplyDelete
    Replies
    1. බහුතරයක් බලල තියේග TGBD ආපහු බලන්න තියං ඉන්නෙ. Old West genre එක මම ආසම එකක්. හරි හරි.. බටර් බෝමයි 😃😃

      පුලුවන් වෙලාවට ලියමු. විව්ස් තියේ නං ලිව්වැකි. වීව්ස් නැති වෙද්දි එපා වෙනව

      Delete
  7. ලිපිය කියෙව්වම හොඳ වාගෙයි හිතුණා
    ෆිලුමේ ට්‍රේලරය බැලුවම මන බැඳුනා
    බාගත වෙන්න දැම්මා - ඔත්තුව අගනා
    දුන්නට ස්තුතියි - ජය සැප අත් වෙන්නා!

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න. බලල මොනව හරි කියන්න
      ජයම ☺️☺️

      Delete
  8. මේක හරිම කූරයි වගේ.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ හරි කූරයි මෙයා. විසේසෙං නයින්ට

      Delete