Wednesday, May 23, 2018

අප අතර හිස්තැනකි..

හුදෙකලාවට ලෝභයෙනි සිත
හමා යන සුළං රැලකට තෘෂ්ණාවයෙනි

නේක ඇමතුම්ය විටින් විට
දුරබණුව විනිවිදින පණිවුඩය
සවන් පත් හෙමි හෙමින් සූරණ
ආදරය දැවටූ සංශයේ කටු අතුය

බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
කිලෝ ගණනින් මෙගා ගණනට
හැරෙන කෙටි ⁣(නො)වන පණිවුඩ
ගිගා ගණනක නොරිස්සුම පිරවුන

දෙපා අවසඟ කරන රෝස පෙති මාංචු ය
වානේ වලටත් වඩා ඝනකම්ය රිදවුම් ය
හිත බරින් පුරවනා සීතලම හාදු ය
එකින් එක පතුල් අස බිඳ වැටෙන සිහින ය

නොපෙනෙනා පවුරක්ය ඉදිවෙන
කොන්ක්‍රීට් බිත්තියක් වුවත් පරදන
ප්‍රේමය ය කිය කියා හිනැහෙන
සියොත් හදවත සෙමෙන් වළලන