සිදු තෙරහිම සකසා තිබූ මේසයක හිඳ ඈත දියඹ දෙස බලා හිඳිමින් අතැගිලි වලට හසුවන සීත ස්ටවුට් බඳුන පිරිමදිමි. ඇසට පෙනෙන මානයේ, දුරක සිටිනා ප්‍රේමවන්තිය කෙරේ ළඟා වීමට නොහැකිව දුරින් හිඳ හාදු එවන ප්‍රේමවන්තයෙකු සේ අහස් ගැබ සිට සයුර වෙත හෙලනා පෙම්වත් හාදු වරුසාවකින් තෙමන ප්‍රේමයෙන් ආශක්තව ගිය අහසය. ඒ අනවරත චුම්බන වරුසාවෙන් අහේතුකව වෙන්ව ආ වැහි බිඳු කෝඩයක් සුළඟත් සමඟ මුසුව මුහුණත සිපින්නට වෙයි.ඇතුලත ආවරණයක් කරා යමුයැයි ආරාධනා කළ වේටරයා හට ප්‍රතික්ෂේප ඉංගිතයක් පා නැවත සයුර දෙස නෙත් යොමු කරමි. අතැති සිහිල් ස්ටවුට් බඳුන මතක අවුස්සාලමින් කැළඹෙන, රළ නඟින, පෙරළෙන, පෙණ පිපෙන සයුරත සේ මා වෙලන්නට පටන් ගෙනය. ඉන් තවත් උගුරක් තොල ගා මේසය මත තබන්නට පෙරාතුව උගුර හරහා ගලා යන බීර සිහිලස විඳිනාතරම ඒ හරහා සයුර දෙස බලන්නට වෙර දරමි. බීර වීදුරුව පසුබිම්ව පෙනෙනා සයුර විනා බීර වීදුරුව විනිවිදන සයුරක් නොදකින්නෙමි. ස්ටවුට් බඳුනක් තරම්ම මිහිරි ආවර්ජනා මත්බවක ගිලෙන්නෙමි.