Showing posts with label ස්මරණ. Show all posts
Showing posts with label ස්මරණ. Show all posts

Monday, February 21, 2022

ස්මරණ 20 - කැලෑ කුමාරිගේ කතා ii - පෝලිං, ජැක් සහ අක්කලා ගේ ආදරේ..

මේ වගේ ඉඩ තිබ්බ දවසක් මතකවත් නෑ.
 පහුගිය සතියෙන්           

            පොඩි දවස් වල බස් එකට නැග්ගේ පෝළිමේ ඉඳලාය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් කරඳඩු උස්මහත් වන විට, නැතහොත් ඉකමණින් ලොකු වන්නට වුවමනා වූ කාලයේ පෝළිමේ හිඳ බසයට නැඟීම යම් ලැජ්ජාවකට කාරණයක් වූවා මෙනි. ඊටත් ඉඳගෙන යාමට වඩා බස් එකේ හිටගෙන යාමටද, පාපුවරුවේ යාමට ද, පා පුවරුවේ යාමට බැරිනම් එතැන සිටුවා ඇති ආධාරක කණුවට හෝ හේත්තු වී යාමටද ප්‍රිය කරන කාලයකි ඒ. එහෙත් අපට ඒ අවස්ථාවන් ලැබෙනුයේ කලාතුරකිනි. අපට වඩා ලොකු අයියලා බස් එකේ ඉන්නේය. එක වරම ඒ වයසට පහළ වූවා සේ සිටින ඔවුන් අපට කුඩා හෝ අවස්ථාවක් දෙන්නට කැමති නැත. මේ හුජ්ජ කොල්ලො එනව මෙතන ෆුට් බෝඩ් යන්න. යැයි අපව පන්නා ගනී. එහෙත් කාලයක් යන විට අපිත් සුදු දිග කලිසම් අදින නාහෙට නාහන අයියලා බවට පත් විය .පෙර සිටි අයියලා අපට කල දේවල්, අපේ පසු පෙළටත් අඩු හෝ වැඩි වශයෙන් සිදු වන්නට ඇත. අද නං මතක් වන විටත් සිනහා උපදවන ඒ දවස් වල නැටූ නාඩගම් හා ඒ අනතුරුදායක හැසිරීම් වල ආසාවකට හෝ යෙදෙන්නට හිතක් නැත. ඒ එවන් අනතුරුදායක හැසිරීම් නිසා පසු ගිය කාලයේ සිදුවූ ⁣අනතුරු ගැන මාධ්‍ය හරහා දැනුවත් වීමද  නැතහොත් ක්‍රමයෙන් මුහුකුරා යාම නිසාදැයි කිව නොහැකි වුවත් නිකමට හිඳගෙන මිසක් හිටගෙන වත් යාමට එතරම් කැමැත්තක් නැත. 

Wednesday, February 9, 2022

ස්මරණ 19 - කැලෑ කුමාරි , කහ කුරුල්ලෝ, පාං බාග සහ කලම්බෝ රයිඩර්

මේ පිංතූර ඔක්කොම ගත්තෙ ශ්‍රී ලංගම බස් වියුණුවෙං. ලිංකුව මැද ඇති

        
1998 වසර විය යුතුය. පාසැල් වෑන් රියෙන් පාසැල් ගිය ගමන අතැර ගමෙන් ටවුමට යන බස් රථයේ පාසල් යන්නට පටන් ගත්තේ 98 වසරේ වග මගේ මතකයයි. 1998 මට කෙඳිනක හෝ අමතක නොවන මතකයක් ඉතිරි කළ වසරකි. මා හිතාදර චූටි මාමා ජයසිකුරු මෙහෙයුමෙන් අප හැර දා යන්නේ ඒ වසරේ ය. එහෙත් මේ කතාව ඒ ගැන නොවේ. මේ බස් කතාවකි. කොටින්ම කියනවා නම් ලංකාවේ හුදී ජනයා බස් ආගමක් සේ අදහන්නට පටං ගත්තේ මේ යුගයෙන් පසුව බව මගේ අදහසයි.

Wednesday, October 20, 2021

අපේ සිංදු කීම හා රැකෝඩ් බාර් පිස්සුව

        



    මා කුඩා කල ගෙදර තිබුණේ  පැනසොනික් වර්ගයේ රේඩියෝවකි. පෙර සටහනක කී පරිදි එකළ ටීවී මෙන්ම රේඩියෝ ද පණ ගැන්වුණේ එක්සයිඩ් හෝ ලූකස් වර්ගයේ බැටරියකිනි. අවැසිනම් පිටුපස වූ පියනක් ඉවත් කර ටෝච් බැටරි ඔබා හෝ එය පණගැන්වීම කළ හැකි විය. ගෙදර කවුරුත් නැතිනම් විනා ඒ රේඩියෝ අඩු ශබ්දයකින් ක්‍රියා නොකළ තරම්ය.  එයිනුත් මුල් කාලයෙහි ජාතික ගුවන් විදුලි යේ සේවාවන් හෝ සිරස වැනි ගුවන් විදුලි නාලිකා කිහිපයක් පමණක් විකාශය වූ අතර පසුව හිරු ගුවන් විදුලියද තරු එෆ් එම් ආදී වූ නාලිකා ද පැමිණි වග මතක මුත් පිළිවෙලින් මුලින්ම ආවේ සිරස වග විනා අනිත් නාලිකා සම්බන්ධ ලොකු මතකයක් නැත. ශ්‍රී එෆ් එම් ආවේද ඔය කිට්ටුව බව මතක වුවද ඊට පෙර තවත් අද නෑසෙන පෞද්ගලික නාලිකා කිහිපයක් නව සහශ්‍රය ආරම්භය ට පෙර තිබුණා මතකය. එහෙත් මේ කතාව ඒ ගැනම නොවේ.

Monday, October 4, 2021

එවරෙඩි, එක්සයිඩ්, ලක්ෂපාන, කොස්මෝ, ලූකස්, කෑලි හයේ ටෝච් එක්ක පාට දෙකේ ටීවී


 "..
ඒ ගේ වටේට තිබ්බෙ නං පොල් ගස් ඕං

ඔය එකේක නූල් සූත්තර කොරන්ඩ ගිහිං බැට්ටි බස්සපංකො. රෑට කතාව බලන්ඩ බැරි වුණොත් තමයි වැඩේ..
 "

        ගෙදරට කරන්ට් එක ගන්න කලිං මං අහපු බැණුං ටික මතක් කරල බලන්න පුලුවන් නං ඒ බැණුං වලින් වැඩි හරියකට  හේතුව විදිහට ඔය බැට්ටිය කියන බලවත් පෙට්ටිය තිබුණා. ඒත් ඉතිං කොල්ලො වෙච්චි කොට ඕව අහයිද.. කොල්ලා කොල්ලගෙ වැඩ. මුට දෙයක් කියන කට හොඳයි ගලක උලාගන්නව කියල හිතුව තාත්ත අලුත් එක්සයිඩ් බැට්ටියකුත් ‍ ගෙනාව. එතකොට ගෙදර තිබ්බෙ ලූකස් එකක්. කොහොම කොහොම හරි මාරුවෙන් මාරුවට බැට්ටි දෙකෙන්ම ටීවී බැලුව. එකකින් ටීවී බලද්දි අනික නිකං තිබ්බොත් ඒක සවුත්තු වෙයි කියල එකකට ටීවි එකත් අනිකට රේඩි‍වේකත් වෙන වෙනම ජැක් කරල තමයි තිබ්බෙ. ටීවි බලද්දි ඒකට හයි කරල තියෙන බැට්ටිය ඉක්මණට බහිනව. ඉතිං ඒක බෝරුග්ගමුවෙ හාඩ්ඩෙයාර් එකට ගෙනිහිං චාජ් එකට දාල අනිකෙන් තමයි ඒ දවස් වලට ටීවි බැලුවෙ. 

Sunday, September 26, 2021

ස්මරණ 16 - රබර් ගලවා සරුංගල් යැවීමේ අවසානය

         


ස්රණයන් ට නැවත පණ දෙන්නට සිතී ආපසු හැරී බැලූ කල මා දුටුයේ අවසාන ස්මරණය දිග හැරී වසර හයකට අඩු දින කිහිපයක් පමණක් බවයි. ඉනුත් මා කුඩා කල මතක දිගහැරි එක දිගට පරිච්ඡේද ලෙසින් ලියැවුණ අවසන් ස්මරණය ට වසර හතකට ආසන්න බව දුටුවෙමි. එකළ මා ලියූ දේ අද කියවන විට දැනෙන්නේ ආඩම්බරයකට වඩා ලැජ්ජාවකි. ඒ ඒවායේ අන්තර්ගතයන් නිසා නොවේ. එතරම් අපූරු භාෂා භාවිතයක් තිබූ මා පල්ලමකට අත හැරි ටයරයක් ඇදී යන තරම් වේගයකින් මොට වෙමින් පවතිනා බව දැනෙනා නිසාය. කෙසේ වතුදු මේ උත්සාහය ඒ නොස්ටැල්ජියාවෙහි ගැලෙන්නට නොවේ. පටන් ගත් ගැල ඉදිරියට ඇද අවසානයක් කරා ළං වන්නටය.

Sunday, September 5, 2021

ප්‍රේමාලාප - වැහි පොදක මතකයක්..!

 ළියෙ එක සීරුවට වහිනව. මේ තරං වෙලා කියව කියව හිටිය මුරකමි ගෙ "දකුණු මායිමේ"** පැත්තකිං තියල ටික වෙලාවක් වැස්ස දිහ බලන් හිටිය. උදේ ඉදං වහින වැස්සකට මනුස්සයෙක්ව කොයි තරං අලස කරවන්න පුලුවන්ද. සමහර විට රොමෑන්තික හැඟීමකින් පුරවල දාන්න වුණත් පුලුවන් ඇති. වැස්ස ගැන හුඟක් අය ඒ වගේ සටහන් ලියනව මම දැකල තියෙයි. වැස්ස එක්කම රසවිඳින්න පුලුවන් වැහි චිත්‍රපට පවා හැදිල තියෙයි . වතාවක් දෙකක් එහෙම ඒව බැලුවට ඒ චිත්‍රපට වලත් ලොකු විශේෂත්වයක් නෑ කියල මට හිතෙන්න ඇරං තිබුණ. ඒ වෙලාවට හිත ප්‍රේමයෙන් අනුරාගයෙන් පුරවන රොමෑන්තික ගතියක් නැතිව නෙවෙයි. ඒ වුණත් චිත්‍රපටයෙ රහ ටිකින් ටික මතකයෙන් මැකිල යන්න පටං ගත්තම ඒ දැනෙන්න ගත්ත හැඟීම් වුණත් වියළිලා යන්න පටං ගන්නෙ හරියට වැස්ස වැහැල නැවතිල දවස් දෙක තුනක් විතර අව්ව පායන්න ගත්තම තියෙන පරිසරය වගේ. 

Thursday, October 22, 2015

දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි..

                                                  ඩේ අංකල් හිටියේ(???) පොල්ගහවෙලය. එන් එස් බී බැංකුව ළගය. මෙයා ගැන නොදන්න කෙනෙක් පොල්ගහවෙල අහල ගං හතක වත් ඇතැයි හිතන්නට අමාරුය. ඒ තරං ෆේමස්ය. උන්නැහේගෙන් වඩයක් කෑවා හෝ නොකෑවා වෙන්නට පුලුවන. නමුත් මෙහෙම හාදයෙක් අසුවල් තැන අසුවල් වෙලාවට ඉන්නවා යැයි ඕනෑම කෙනෙක් දනී. හෙතෙම සුදුවුණ කටු රැවුලකින් ද නිතර හිනාවෙන මුත් හිනා නොවෙන මූණකින්ද , මදක් කළු සමක් ඇති, නිතරම නිල්පාට කොටු සරමක් හා සුදට  හුරු ෂර්ට් එකක් හදින මුස්ලිම් අයෙක් වුව හොදින් සිංහල කතා කල හැකි අපූරු මිනිසෙකි.

Tuesday, November 18, 2014

ස්මරණ 15- කලාබර හේරෙක්...

කිව්වට කලාබර
නො වෙයි කලාවට බර
වංස හතර ම අඳුරන
හේරත් ය උප්පැන්නෙ නම ......

කුට්ටමේ කොල පනස් දෙක
නෑයන්ටත් වඩා අඳුරන
ළඟ නැති වෙලාවට
කලාබර හේර වුන

Monday, October 20, 2014

ස්මරණ 13- වධකයෝ...

                                                                      කුඩා වන් නිතරම සිටින්නේ කුතුහලයෙනි. තමන් දකින තමන්ට පෙනෙන ඕනෑම දෙයක් පිළිබඳ හාර හාරාවුස්සා බලන්නට දැනගන්නට උන් කැමතිය. අප ඒ කුතුහලාත්මක කාලය පසුකර  තිබුණද ඒ කාලයේ පුරුදු වූ යම් යම් පුරුදු වලින් අත් මිදෙන්නට හැකි වූයේ අල්ප වශයෙනි. මින් කිසිවකුට හෝ කරදර නො වී යැයි කියන්නට මට නො හැක... අද ද පාරේ යන විට පොඩි උං දකී නම් උං කරන කුමක් හෝ විකාරයක් දෙස නතර වී බලා සිටීමේ පුරුද්දක් මට ඇත. සමහර විට ඒ අපේ ළමා කාලය අප ගෙවූ ආකාරය නිසා වන්නට ඇත.

Tuesday, October 14, 2014

ස්මරණ 12- බඩජාරියෝ ii...

                                                                         තාත්තා වත්තේ වැඩ කරන ගමන් ඊට අමතරව අයට ලබාගත් ලාස් අටක කුඹුරක් ද  දෙකන්නයටම වගා කළ නිසා අපට හාල් හි නොවීය. එබැවින් අම්මලා පෞද්ගලික වතුයායක අඩු පඩියට වැඩ කලද අපට තුන් වේලටම බත් කන්නට තරම් හාල් තිබිණි. ඉදහිට කාළගුණය හරස් වූ විටක කන්නයක දෙකක අස්වැන්න අඩුවුවද  සම්පූර්නයෙන් නොලැබි ගියා නොවේ. එහෙව් කාලයට කඩේ හාල් වලට මාසයක කාලයක් පමණ මුදල් වියදම් කරන්නට සිදුවුව ද වත්තේ පොල් වලට පිංසිදු වන්නටත් අම්මාගේ පිරිමැස්ම නිසාත් එය එතරම් බරට  නොදැනුන බව මට මතකය. එහෙත් කුඩාවුන් වූ අපට තුන් වේලටම බත් කෑම රිස්සුම් නොදෙන්නක් විය. එහෙත් එලෙස වූවා කියා ඉදහිට ගෙදර තම්බන ඉියාප්පයක් වණ්ඩුවක් හැලපයක් හෝ රොටියක් පුච්චා ගත්තා හැරෙන්නට අප ආහාරයට ගත් වෙනත් ආහාර වර්ගයක් තිබුණා නම් ඒ අහම්බයෙනි. උදේට කවදා හෝ දිනෙක පාන් ආහාරයට ගත්තා නම් ඒ කාගේ හෝ මළ ගෙදරක නැතහොත් නිවසින් බැහැරව ඉන්නා වෙලාවක පමණි. (පසු කාලයක අම්මා රැකියාවෙන් ඉවත්ව අප කුඩා කල වාසය කල නිවෙසද  කඩා වැටුණ පසු පාර අයිනෙන්ම තිබූ අප කුඹුරට- ඒ වන විට අප අයට කළ කුඹුර සින්නක්කර මිළදී ගෙන තිබුණි- නිවෙසක් තනා පැමිනෙන තුරු මේ පුරුද්ද මෙලෙසම තිබිණ.)

Monday, September 15, 2014

ස්මරණ 12- බඩජාරියෝ

                                                              ලින්ටයි ළමයින්ටයි දගලන්නමයි හිත යනුවෙන් කියමනක් ඇත. එලෙසින්ම අතට අහුවෙන අහුවෙන දේ කටේ දමාගෙන එහි රස හෝ සවි ශක්තිය බැලීමද මේ අයගේ පුරුද්දකි. පොඩි වුන්ට නිතරම මොනවා හෝ දෙයක් හපන්නට ඇත්නම් ඊට වඩා දෙයක් නැත. අප පොඩි කාලයේද එසේ වන්නට ඇත. එහෙත් අපට කන්නට ලැබුනේ වැඩිපුරම ගඩා ගෙඩිය. අදද ඒවායේ රස සුව දිවට නැහැයට  දැනෙන්නාක්  මෙනි. එලසින්ම අදද කොතැනදි හෝ ගඩා ගෙඩියක් දුටුවිට එය කා දමා ඉවරයක් කරන්නට දිව-කට නලියන්නේද මේ හින්දාම වෙන්නට ඇත.

Monday, August 25, 2014

ස්මරණ 11- අපේ කිරිකොට් ii (බෝලේ...... පෙප්සි බෝලේ....)

                                                                  බෝලෙට බෑට්(????) එකෙන් පත බෑ කළ එය ගසක රැදුණු විට හෝ ඇළට වැඩී පහලට ගසාගෙන යන විටක හෝ යළි බෝලය පිටියට රැගෙන එන තෙක් ලකුණු සදහා කකුල් කඩා ගෙන දිවූ දිවිල්ල පාසලේදී සිදුනොවීය.  නමුත් ඊට වඩා වෙනස්  නීති  රීති හා වෙනස් ආකාර ක්‍රීඩා රටාවක් අප පාසලේ අනුගමනය කලෙමු. පාසල් විවේක වේලාවන්  සීමිත බැවින්  පිල් බෙදී ක්‍රීඩා කරන්නට තරම් හැකියාවක් අපට නොලැබුණි. එහෙත් එසේ නොකළා කියන්නටද අපට නොහැකිය.

Monday, August 18, 2014

ස්මරණ 10 - සුද්දන් කිරිකට් ගසද්දී අප ක්‍රිකට් ක්‍රීඩා කළෙමු.

                                                                           "මෙලොව වාසය කරන සියල්ලෝම යමක් බලාපොරොත්තු වෙති. නමුත් සෑම දෙනාටම ඔවුන් ප්‍රාර්ථනා කරන ආකාරයේ දේවල්ම හමු නොවෙති. ඔබට අවශ්‍ය නිවෙසක් නම් ඔබට ඉඩමක් ලැබී යා හැක. තවකෙකුට ඊට හාත්පසින්ම වෙනස් වූ ආකාරයේ වස්තුවක් ලැබී යා හැක. අපට අවශ්‍ය කාර්යය අපට ලැබෙන දේ අනුව ඉටුකර ගැනීමට අපි උත්සාහවන්තයන් විය යුතුය. සමහරුන් බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. නමුත් වෙහෙස වී ඒ සදහා වැඩ නොකරති. නැතහොත් තමුන්ට ලැබෙන දේ කපා ඔප මට්ටම් කර ගැනීමට නොසිතා එය ප්‍රතික්ෂේප කරති. දෛවය අප බලාපොරොත්තු වූ දේම අපට ලබා නොදෙයි. අපට ලැබෙන දේ අනුව පිරිමසාගැනීම ට අප උවමනාවන් එමගින් ඉටු කරගැනීමට අප ප්‍රඥාවන්ත විය යුතුය. ඉලක්කය සාක්ෂාත්  වන්නේත් අපට අවශ්‍ය ආකාරයටම අප කාර්යය නිම වන්නේත් එහි වටිනාකමක් අපට දැනෙන්නේත් එවිටය. සරලය. නමුත් ගැඹුරුය. තේරුම් ගැනීම අත්‍යාවශය ය."

Monday, August 11, 2014

ස්මරණ-09- රබර් ගලවා සරුංගල් යැවීම.

                                                                      හැම කෙනාටම අනෙක් අයට කියන්නට කතාවක් තිබේ. සමහරුන් එය අන්‍යන්ට කියනා අතර සමහරුන් නිහඩව සිටී. මේ දෙවර්ගයේම අය තවත් කෙනෙක් කතාවක් කියද්දී අසා සිටිති. නැතහොත් තමන්නේ වාරය එනතෙක් ඉවසිලිමත් ව ද නොයිවසිලිමත් ව ද බලා හිදිති. එහෙත් කිසිවෙක්ට වත්  තමන්නේ කතාව පිළිවෙලකට ගලපා පැවසිය නොහැක. එසේ හැකි වුවද අවකාශයක් නැත. එකිනෙකට එකක් සම්බන්ධ සිද්ධි දාමයන් ඔවුන්ව පටලවති. ඉවසීම මනා සේ පුරුදු පුහුණු කළ තැනැත්තාට වුව මේ දුෂ්කර කාර්යයක් විය හැක. ජීවිතය පැටළුණ නූල් බෝලයකි. එහි එක් කෙළවරක් කිසිවකුගේ හස්තයේ ඇත. අනෙක් කෙළවර ඉන්නේ ඔබය මමය. පාලනය වන්නා හා පාලනය කරන්නා අතර සබදතාව රැකෙන්නේ ඒ අතර ඇති නූලෙනි. එය බිදී ගියහොත්...????? හරියට සරුංගලයක් මෙනි.

Monday, July 28, 2014

ස්මරණ 08- හොදම දේ දරුවන්ටයි- ii

                                                                කියන්නට දේවල් නම් එමට ඇත. නමුත්  පැවසිය යුතුයි කියා සියල්ලම කියන්නට යාමෙන් කියවන්නන්ට ලියා ඇති දේ එපා විය හැක. එහෙත් පසුගිය සතියේ  අදහස් සදහා ඉඩදී මා බලාපොරොත්තු වූ තරම් යහපතක් නුවූවත් කිහිප දෙනෙකුට  යම් තරමක මතකය අවදි වී තිබිණ. එබැවින් යම් සතුටක් මා එමගින් ලැබූ බව නොකියාම බැරිය. එහෙත් බයිසිකල් රිම්, ටයර්, පොල්පිති ගොන්නුන් ට වඩා යමක් මා බලාපොරොත්තු වූ බව නම් නොකියාම බැරිය. එබැවින් එදා ඇතිවූ හිඩැස  මකන්නට ඒ සටහන  මදක් දීර්ඝ කිරීමට සිතුවෙමි.

                                                               

Monday, July 21, 2014

ස්මරණ 07--හොදම දේ දරුවන්ටයි...


                                                                           මේ දිනවල වසල මුග්ධ වෙළෙන්දන්ගේ පූජනීය ස්ලෝගන් එක බවට පත්ව ඇත්තේ හොදම දේ දරුවන්ටයි... යන වචන කිහිපය ය වේ. වර්තමානය වන විට පවත්නා නෙක නෙක අරුමෝසම්  භාණ්ඩ, නෙක නෙක වර්ණ පාසල් උපකරණ මෙන්ම  විවිධ වූ ආකාර ක්‍රීඩා භාණ්ඩ අතර අතරමං වූ ළමා වියක් අපට නොතිබුණි. ඒ පිළිබද හිත කොණකවත් දුකක් නැත්තේ නූතන ළමා ලෝකය හා සැසදීමේදී කෙතරම් දුෂ්කරතා මැද  වුවත් අප සතුටේ උපරිමය බුක්ති වින්ද බැවිනි. තරගකාරීත්වය, සෝබනය, මෙන්ම අම්මලාගේ විබාගය(ශිෂ්‍යත්වය) වෙනුවෙන් වත් ඔවුන් අපව වෙහෙස නොකළෝ ය. එබැවින් අපට හිතුවක් කරන්නට මෙන්ම අපේ තීරණ අපම ගන්නට හැකි වටපිටාවක් නිර්මාණය වී තිබිණ.. යමක් පිළිබද නිසි තේරුමක් නොවී නම් හෝ යමක් පිළිබද තීරණ ගන්නට අප මුහුකුරා නෙවී නම් හෝ පමණි අප ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත්තේ.. පසු කලෙක සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සදහා සූදානම් වන කාලයේ වත් ඔවුන් අපට බාධා නොකළේය.

Monday, July 14, 2014

ස්මරණ-06 ජීවන සටන (රබර් ඇට කොකෝ ඇට හා ඔට්ටපාලු)

                                                                        මේ කතාව ඕනෑවට වඩා දිග්ගැස්සෙන්නට පටන් ගත්තේ දෝ සිතෙයි. නමුත් කියන්නට ආ දේ අවසන් කල යුතුය. පසුගිය සතියේ කීවා සේ පොල් යන වචනයෙන් තොර ජීවිතයක් මෙහි නොතිබිණ. සෑම සියල්ලක් හාම බද්ධ වී තිබූ යේ පොල්ය. පසුගිය සතියේ පොල් ඉරටුව ගැන කීවත් පොල් අත්ත ඉවරයක් කරන්නට නොහැක විය. මේ වෑයම එයටයි.

                                                                        වත්තේ දිවි ගෙවූ සෑම කෙනෙකුටම පාහේ තිබූ දක්ෂතාවයක්  ලෙස පොල්ලතු විවීම අවිවාදයෙන් නම් කළ හැක. එහෙත් තරගයකට ඉදිරිපත්ව නිරවුල්වත්, පරිපූර්ණවත්, වේගයෙනුත් , පොල්ලත්තක් වියන්නට හැකියාව තුබූයේ අල්ප දෙනෙකුටය. එබැවින් සැම වසරකම පැවැත්වෙන අවුරුදු උළෙළ වල පැවැත්වූ පොල්ලතු විවීමේ  තරග වලින්  ජයග්‍රහණය කලේ  තුන් දෙනෙක්  නැතිනම් හතර දෙනෙකි.   පහුගිය වසර කීපය පුරාවටම අවුරුදු උළෙල කිහිපයකම පොල්ලතු විවීමේ ශූරතාවය අඛණ්ඩව ජයගන්නට හැකිවූයේ මගේ පුංචිටය. එනම් අම්මාගේ බාල නැගණියටය. 

Monday, July 7, 2014

ස්මරණ 05- ජීවන සටන ii

                                                                                     තිබු නොයෙකුත් රාජකාරීන් සහ බාරගත් වැඩ නිසා ස්මරණ සටහන් තැබීම සති දෙකකින් කල් ගියේ නොසිතූ විලසිනි. ඒ දෙසතිය තුළ ස්මරණ කෝ යැයි අසා කමෙන්ට් කල අය මෙන්ම මූණූ පොතට පණිවිඩ එවූ අයද බොහෝ ගණනකි. ඔවුන්ට තුති පුදන්නට මෙය අවස්තාවක් කරගනිමි. නැතහොත් මේ සතියද වෙනත් දෙයක් ඔබ්බවා නිකන් සිටීමට මා සිතා සිටි බැවිනි. පසුගිය කොටසේ දිගුවක් ලෙස මේ කොටස ඉදිරියට ගෙනයාමට සිදුවන නිසා රබර් ගැන කතා එතකින් තාවකාලිකව නවතමි. එහෙත් ඒ සම්බන්ධව බොහෝ අය දැක් වූ කැමැත්ත මෙන්ම ඉල්ලීම් නිසා මෙම කොටසින් පසු රබර් ගැන රබර් කතාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජීවන සටන හා බද්ධව සිටීම යෙහෙකි.

Monday, June 16, 2014

ස්මරණ-04 ජීවන සටන

                                                                                  මා දන්නා කාලයක සිට මා අවට සාගරයක්  මෙන් පැතිර ඇති වත්තේ ආධිපත්‍ය යෙන් මිදෙන්නට සමත් වූ මිනිසුන් නැති තරම් ය. ඔවුන් ඒ තරමටම ඊට බද්ධව දිවි ගෙවති. ඉදහිට පවුලක පිරිමි දරුවෙක් යුද්ධ හමුදාවට බැදී රැකියාවක් කළා විනා වත්තෙන් එහා ගිය වෙනත් රැකියාවක් කළ අයෙකු සොයාගැනීමට වඩා කළු නික සෙවීම පහසු විය හැක. උපන් දා සිට ඔවුන්ගේ ආකර්ෂණය අවධානය තදින්ම ඇ බැ ගත්  වතු යායට එහා ලොවක් ඔවුන්ට දකින්නට උවමනා නොවූ බව මගේ අදහසයි. ඊටත් වඩා වතු යාය ඔවුන්ගේ ජීවිත වල පසුබිමෙන් ඇදුණු කළු හෙවණැල්ලක් මෙන් ඝණ විය. කිසි විටෙකත් එය ඔවුන් අත නාරිනවා සේ ඔවුන්ටද එය අතහැර ඉන් මිදෙන්නට හැකියාවක් නොවීය.

Monday, June 9, 2014

ස්මරණ-03

                                                                           පසුගිය සතියේ පුංචි පුංචි චෝදනා කිහිපයක්ම තිබුණේය.. ඒවා දෙස බැලීමේදී මට පෙනුනේ මා පටන්ගත් ආකාරය වැරදි වගය. නමුත් දැන් ප්‍රමාද වැඩිය. කියන්න ආදේ අහවර කළ යුතුය. නැතහොත් මේ යන ක්‍රමය කැඩීමෙන් ඉදිරියට ලිවීමේ ගැටළු ඇති විය හැකි යැයි මට සිතෙන නිසාය. එබැවින් ඉදිරියේදී යම් වෙනස් කමක් කරන තුරු ඉවසා මා හා රැදෙන මෙන් ඉල්ලමි.පසුගිය සතියේ කියන්නට ගිය දේ අවසන් කර මේ ලිවිල්ල හමාර කරමි එවිට මට යම් වෙනස් කමක් කළ හැකි යැයි හැගේ.
                                                                        ***********
                                                                           අප නිවසේ සිට බෝධිය කන්ද පසු කර මද දුරක් ගිය පසු කිරියම්මලා වෙසෙන ලැයිමට යා හැකි බව පළවෙනි කොටසින් කීවා ඔබට මතක ඇතැයි මා සිතමි. එබැවින් පසුගිය සතියේ පටන් ගත්  චරිත හදුන්වා දීම මේ ලැයිමෙන් අවසන් කරමි.