එළියෙ එක සීරුවට වහිනව. මේ තරං වෙලා කියව කියව හිටිය මුරකමි ගෙ "දකුණු මායිමේ"** පැත්තකිං තියල ටික වෙලාවක් වැස්ස දිහ බලන් හිටිය. උදේ ඉදං වහින වැස්සකට මනුස්සයෙක්ව කොයි තරං අලස කරවන්න පුලුවන්ද. සමහර විට රොමෑන්තික හැඟීමකින් පුරවල දාන්න වුණත් පුලුවන් ඇති. වැස්ස ගැන හුඟක් අය ඒ වගේ සටහන් ලියනව මම දැකල තියෙයි. වැස්ස එක්කම රසවිඳින්න පුලුවන් වැහි චිත්‍රපට පවා හැදිල තියෙයි . වතාවක් දෙකක් එහෙම ඒව බැලුවට ඒ චිත්‍රපට වලත් ලොකු විශේෂත්වයක් නෑ කියල මට හිතෙන්න ඇරං තිබුණ. ඒ වෙලාවට හිත ප්‍රේමයෙන් අනුරාගයෙන් පුරවන රොමෑන්තික ගතියක් නැතිව නෙවෙයි. ඒ වුණත් චිත්‍රපටයෙ රහ ටිකින් ටික මතකයෙන් මැකිල යන්න පටං ගත්තම ඒ දැනෙන්න ගත්ත හැඟීම් වුණත් වියළිලා යන්න පටං ගන්නෙ හරියට වැස්ස වැහැල නැවතිල දවස් දෙක තුනක් විතර අව්ව පායන්න ගත්තම තියෙන පරිසරය වගේ.
ටොහ් ටොහ් බොහ් පට පට ටොහ් බොහ් නාද නංවමින් අනවරත වැස්සක් ඇද හැලෙමින් තිබුණ. මම ඉන්නෙ ඇගෙ කුඩේ යට. ඇයට වම් පසින්. ඇගෙම කුඩයත් අල්ලගෙන. දෙන්නටම ඕන වුණේ නොතෙමී ඉන්න. ඒකට දෙන්නටම හොඳහැටි ළං වෙලා යන්න සිද්ධ වෙලා තිබුණ. ඒ ගැන ඇය මැසිවිලි තිබ්බෙ හෝ කවුරු හරි බලං ඉඳියි කියල වග පල කිව්වෙ නෑ. ඒ වෙනුවට බොහොම බරසාර කල්පනාවක ඉන්නව වගේ එක අතක් පපුව හරහා බැඳගෙන පොත් ටිකත් ඒ අතින් පපුවට තුරුලු කරගෙන වැස්සට යටිං මගෙ පැත්තට බර වෙලා ඇවිදිමින් හිටිය.
මම හිටියෙ කවදාවත් නැති තරං ප්‍රහර්ෂයකින් ඉපිලෙමින්. ඒ මොහොත කැමතිම චිත්‍රපටයක වඩාත්ම කැමති රූප රාමුව වගේ මට මතක ඒකයි . ඒ වෙද්දි අවුරුදු පහළොවක් දාසයක් විතර වෙච්ච කොලු ගැටයෙක් වුණ මම කැපී පෙනෙන රූපයකින් වත් හැඩරුවකින් වත් කැපී පේනව කියල මිනිස්සු හිතන කිසිම දේකින් මතු වෙලා පෙනුණ චරිතයක් නෙවෙයි. කොටින්ම කෙල්ලෙක් ඉස්සරහට ගිහිං බයක් නැතව කතා කරන්න තරං ධෛර්යක් තිබ්බ එකෙකුත් නෙවෙයි. එහෙව් ඇටකිච් කොල්ලෙක් වෙච්ච මට පංතියක ඉන්න ලස්සනයි කියල කටක් ඇරල කියන්න පුලුවන් කෙල්ලෙකුත් එක්ක එකට ළං වෙලා ඇගෙ හුස්ම වැටෙන තරං කිට්ටුවෙන් ඇගෙම කුඩය යට යන්න ලැබෙන එක ගැන මට දැනෙන්න ඇරං තිබ්බෙ ඒ වෙලාවෙ ලෝකෙ ඉන්න සතුටින්ම ඉන්න කොල්ල විදිහට. මට තවම මතකයි මට ටික දුරක් යනකං වචනයක් කතා කරගන්න මතකයක් තිබ්බෙ නෑ. කොල්ලොන්ගෙ භාෂාවෙන් කියනව නං කට කණේ කියන්න පුලුවන් අවස්ථාවක්.
ඉඳ හිටල හමන සුළඟටත් ඒ සුළඟින් කුඩේ අස්සට එන පිණි පොදටත් මකන්න බැරි විදිහට ඇගෙ වතින් වත්සුණු සුවඳක් හමමින් තිබුණ. ඒ වෙලාවෙ ඒක විශේෂ සුවඳක්. ඇයටම ආවේණික සුවඳක්. ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය ගෝයා සන්නාමයට අයත් විලවුන් සුවඳක්. අද කාලෙ හැටියට ඒක බාල සුවඳක් වුණත් ඒ කාලෙ ගෝය කියන්නෙ, සමහරවිට ඒ වෙලාවෙ හැටියට මට දැනුණ අපූරු මුදු සුවඳක්. කොටින්ම ඒ වෙලාවෙ ඇය ඇඳං හිටිය නිල්පාට මල් මල් වැටුණ ගවොම විතරක් නෙවෙයි අතේ දාගෙන හිටිය බෑන්ඩ් එක,සෙරෙප්පු දෙක පවා අදත් ඒ වගෙම මතකයි.
මදක් දුර ආවම මට කතා කරන්න වචන ටිකක් හොයා ගනන පුලුවන් වුණත් වචන විසි නොවෙන විදිහට කතා කරන්න මම සෑහෙන උත්සාහයක් ගත්ත. ගැහැණු ළමයෙක් එක්ක කතා කරන්නෙ හා හා පුරා කියල නොවුණත් මේ අවස්ථාව විශේෂයක් විදිහට මට හිතෙන්න පටං ඇරං තිබුණ. ඇගෙ හිත තැලෙන විදිහෙ වචනයක් නැත්තං මාව මහ වැස්සෙ මඟ දාල තරහ ඇරං යන ජාතියෙ වචනයක් මගෙ කටිං විසිවෙයි කියල මම බයෙන් හිටියෙ. අපි ගමනෙන් හතරෙන් තුනක් විතර දුර කතා කර කර එන්න ඇති. ඒ වුණත් වැඩි පුරම කතා කලේ ඈ. මම හිටියෙ බයෙන්ද නැතිනම් මට පුරුදු නිස්සද්දතාවයෙන් ද කියල මට හරියටම කියන්න අමාරුයි. ඈ කියන දේවල් වලට හූමිටි තියමින් විටෙක ඈ කියන දේ වලට ඕනවටත් වඩා සිනහවෙමින් ඒ දුර ඇවිද ආවෙ වෙනදටත් වඩා හෙමින්.
එක සීරුවට එක දිගට ඒකාකාරීව වැටෙන වැස්ස යටිං ආව ගමන බස් එක ළඟින් ඉවර වෙද්දි මම ඈට ඉස්සරෝම නඟින්න කුඩය අල්ලල ඊට පස්සෙ මම නැඟල කුඩය අකුලගෙන වතුර බේරෙනකං ටිකක් වෙලා ෆුඩ් බෝඩ් එක උඩට වෙලා අල්ලගෙන ඉඳල ඈ ඉන්න තැන සොයං යද්දි ඈ මටත් ඉඩක් වෙන් කරන් ඉඳගෙන හිටිය. මම ඈට කුඩය පාන කොට මෙතනින් ඉඳගන්න කියල ඇස් වලින් ඉංගිත කරනකොට මම හිටියෙ බස් එකට ඉහළිං අහසෙ වැස්සට යටිං වැස්සට නොතෙමී පියාසර කරන ගමන්.
ප්‍රමෝද්‍යත් ප්‍රහර්ෂයත් එකවනම සුළි කුණාටුවක් වගේ මාව වෙලා ගනිමින් තිබුණ. මම ඈට ත් එක්ක ටිකට් ගත්ත. බස් එකේ ඈ පසෙකින් මම ඉදගෙන මම බහින තැනට එනකං ඇවිත් යන්නං කියල කිව්වම ඇස් වලිං හිනා වෙලා ඔළුව වනල හා කිව්වට එතනිනුත් එහා තව යන්න තිබුණ නම් කියල හිතෙන්න ඇරං තිබුණ.
ඊට පස්සෙ දවස් වලත් අපි හමුවුණත් සාමාන්‍ය හිතවත් කමකට එහා ගියපු විශේෂ හිතවත් කමක් හදා ගන්න මට බැරි වුණා. නැතිනම් මට ඇගෙ තියෙන මිතුරු කමත් නැතිවෙයි කියල බය වුණා. ඒත් ඉද හිට මං දිහාවට පාවෙන වචනෙකින් ඇගෙ හදවතේ කතාවක් එළියට ආවද කියල මට හිතෙනව . ඒ කොහොම වුණත් මම ඉස්සර වුණේ නැහැ . මම ඒකට බය වෙන්න ඇති. ඇයගෙ හිතේ මම ගැන හැඟීමක් ඇති බව ඇයට පුළුවන් තරමට මට දනවන්න උත්සාහ කරා කියල අද මට හිතෙනව . ඕ ලෙවල් ඉවර වුණාට පස්සෙ අපේ ගමන් මාර්ග දෙපැත්තකට ගියා. අපි හමුවුණ අන්තිම දවසෙත් ඒ ඇස් වලින් මොනව හරි කියන්න උත්සාහ කරනව වගේ මට දැණුනත් අවට හිටිය මිත්‍ර සනුහරය නිසා මොනවත් නොකියාම ඈ වෙන් වෙලා ගියා. ඈ බස් එකේ කවුළුවෙන් මං දිහ බලං හිටිය විලාසය සෑහෙන කාලයක් යනකං මගෙ පපුව උඩ තිබුණ බරක් වගේ හිත බර කරල තිබුණ. ඒ වුණත් පුරුදු විදිහටම ඈ ඉන්න ඉසව්වක් හොයාගෙන යන්න මම බය වුණා.
කාලෙ එහෙම්ම ඉගිල්ලිලා ගියා. මම ඉස්කෝලෙන් අයින් වෙලා හමුදාවට බැදුණ. පස්සෙ කාලෙක නගරයේ සෙනඟ ගොඩක් මැද මුණ ගැහුණ ඇගෙ මිතුරියක් මට කිව්වෙ කොයිම වෙලාවක හරි ඈ මං ඇයව හොයං එයි කියල බලං හිටිය බව. ඒත් ඒ වෙනකොටත් මම හති වැටෙන මිරිඟුවක් පස්සෙ වැටිල හිටිය වග ඇය කොහෙන් හරි හොයාගෙන තිබුණ.
"ඒකිට හිත හදාගන්න බැරිවෙයි. "
යන්නත් ගිහිං ආපහු හැරිල මට කිව්ව ඒ මිතුරු සඳ මම මොනවත් කියන්නම කලිං සෙනඟ අතර නොපෙනී ගිහිං තිබුණ.
හ්ම්...අප්‍රකාෂිත ප්‍රේමය. වැස්සත් එක්ක හොඳට පෑහෙනවා. කෙටියි නමුත් රසවත්.
ReplyDeleteවැස්සට ලිස්සනව
Deleteස්තූතියි බස්සා මහතා.. 😃😃😃
Deleteප්‍රා.. මොනවැයි දන්නෑ නේ.. 😏😏😏
Deleteහුම්ම්..
ඉටු වුණු පැතුම් අමතකවී යයි හනික
ReplyDeleteකඩවුණු පැතුම් හැමදාමත් දේවි දුක
දුරින් බලද්දී ඇති රුව මල් මිටක
ඇසට ළං කළොත් නැති වෙයි නැතිය සැක!
ෂහ් මරු කයි කාරයෙක් නේ..
Deleteමං ආව. කියෙව්ව. මතක සැමරුම් ගොඩක් ඔලුවට ආව. ඉන්න මානසිකත්වෙ හරි මදි. ඒ හිංද මොනවත් ලියන්නෑ.
ReplyDeleteබෝ ලියන එක නවත්තන්ඩ එප කමෙන්ට් නෑ කියල. අන්න අරෙහෙ බස්ස කමෙන්ට් කාරයන්ට කොට කොටා එලවනව මේ පැත්තට.
නෑ.. නෑ.. ලියන්ට ඕන නෑ.
Deleteහැක් හැක්.. 😃😃😃
කමෙන්ට් නැති හින්දමත් නෙවී. කම්මැලියි ඩ්‍රැකී.. 😌😌😌
ඇගේ හිත කියවන්න නොහැකි කම, එකම වෙනස් තැන්වල වෙනස් විධිහට වෙනවා
ReplyDeleteහ්ම්ම්.. ගැහැණු හිත් කියවන්ට අපි දස්සයො නෙවී නෙව ඉතිං ... හැක්
Deleteමොනව ලියන්නද කියල හිතෙනව. ඉස්සර වෙන්න බය වුණ නිසා, යාලුකමත් නැති වෙයි කියල හිතපු නිසා ආදී නොයෙක් බයවල් නිසා කියාගන්න බැරි වුණ, ඉස්සරහට යන්න බැරිව මග නැවතුණ ඒ වගේ පෙම් කතා තමයි සුන්දරම හා දුක වැඩිම.
ReplyDelete