කලබලකාරී ඒ නගරයෙන් මදක් දුරින් නිස්කාංසුවේ පිහිටා තිබූ ඒ රෙස්ටොරන්ටුවේ වීදුරු කවුළු වලට එපිටින් මහ වැස්සක් ඇද හැලෙමින් තිබිණ. බොහෝ දිනක් දැඩි අව් රශ්මියෙන් පීඩාවට පත් වී වියළී මළානික වී උන් තුරුලතාවෝ ඒ වරුසාවෙන් සිත්සේ නිවෙමිනි. සැනහෙමිනි. රෙස්ටොරන්ටුව ඇතුලේ සිට වරුසාව දෙස බලාගෙන නිහඬව සිටි යුවළකි. ඔවුන් දෙදෙනගේම මුහුණු උතුරා ගලා යන්නට තරම් පිරී තිබූ හැඟීම් ගොන්නකි. නමුත් ඒ වීදුරු කවුළු වලට ඔබ්බෙන් වැටෙන වරුසාවෙන් නෙත් මුදවා ඔවුනොවුන් දෙස බලන මොහොත තෙක් පමණි. දෙදෙනගේ නෙත් යුග එකිනෙක ගැටුණ පළමු තත්පරයේ දී ම දෙදෙනගේ මුහුණු අමුතු ජීවයකින් පිරී ඉතිරී ගියේය. ඔවුනොවුන් මොහොතක් එකිනෙකා දෙස තවත් තත්පර කිහිපයක් බලා සිටියෝය. ඔවුන් මුණ ගැසුණේ හදිසියේම ය. ඒ දින ගණනාවක කෙටි පණිවිඩ එහා මෙහා යාමක ප්‍රතිඵලයක් ලෙසිනි. එය අහම්බයකින් ඇරඹුණක් විය. ඔවුන්ගේ මේ හමුවීම ඒ අහම්බයේ ප්‍රතිඵලයකි. එසේම කෙටි මුත් දිගු කතාවකි.









