Sunday, November 2, 2025

කෲරත්වයේ මහා පා ගමන හෙවත් The Long Walk



~Minor Spoiler Alearts~

The Long walk චිත්‍රපටයෙ වෙබි පිටපත පහුගියදා නිකුත් කෙරුණා. ලංකාවෙ සිනමාහල් වල සීමිතව තිරගත වුණ  හින්දා මේක බලන්න වුණේ නං පුංචි තිරේ තමයි. චිත්‍රපටය ගැන කතා කරන්න කලිං ඊට පසුබිම් වුණ පොත ගැන ටිකක් බලල ඉමුද?

 The Long Walk කියන නමින්ම 1979 දි මේ පොත පළ වෙන්නෙ රිචඩ් බැක්මන් (Richard Bachman) කියන නමින්. රිචඩ් බැක්මන් කියන්නෙ  ස්ටෙෆන් කිං  ගෙ අන්වර්ත නාමයක්. මේ පොත අයත් වෙන්නෙ ප්‍රතිඋතෝපියානු භීෂණ (Dystopian Horror) නවකතා කියන ශානරයට (Genre) . චිත්‍රපටය අයත් වෙන්නෙත් මේ ශානරයට ම තමයි. පොතේ සහ චිත්‍රපටයෙ බොහෝ වෙනස් කම් සහ සමාන කම් තියෙනව වුණත් ඒ ගැන කතා කරන එක ඒ තරං තේරුමක් නෑ කියල හිතනව. 

( චිත්‍රපටයෙ වගේම පොතේ ඇති සමාන අසමාන කම් සියල්ල නැතත් එකක් දෙකක් මතුවට දක්වා තිබෙනව)

චිත්‍රපටය ගැන කතා කරද්දි මෙහි අධ්‍යක්ෂක වරයා කවුද කියල දකිනකොට හිතෙන්නෙ මේ මනුස්සයට Dystopian Movies කරනව ඇර වෙන වැඩක් නැද්ද කියල. I am legend, Hunger games film series එක දැක්කම වෙන මොනව හිතන්නද. ඒත් ඒ ඇර කීනු රීව්ස් ගෙ Constantine චිත්‍රපටයත්, Red Sparow ත්‍රිලර් එකත් මෙයාගෙම තමයි. අද ⁣කතා කරන The Long Walk කියන Dystopian survival Thriller එකට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකය වගේම රොට්න් ටොමෑටෝස් දර්ශකයත් හොඳට සලකල තියෙනව. 

චිත්‍රපටය දිහාට හැරෙමු. මේ කතාව සිදු වෙන්නෙ එක්තරා යුගයක මහා යුද්ධයකට පසුව අන්තයටම, අගාධයටම වැටුණ අමෙරිකාවක. මේ කතාවට පසුබිම් වන අමෙරිකාව පාලනය වන්නෙ ඒකාධිපතියෙක්  යටතේ.(Totalitarianism.) චිත්‍රපටයට අනුව මේජර් (Major) ම තමයි අමෙරිකාවෙ සර්වාධිපතියා. නමුත් පොතට අනුව ඔහු ⁣ඒකාධිපතියා යටතේ පාලනය වන රහස් පොලිස් අංශයක ප්‍රධානියෙක් පමණයි. අමෙරිකාවේ සෑම ප්‍රාන්තයක්ම නියෝජනය වන පරිදි ලොතරැයියක් මගින් තෝරාගත් තරග කරුවන් 50 ක් මේ මහා පා ගමන සඳහා සුදුසු කම් ලබනව. පොතේ මේ සඳහා තරුණයන් 100 ක් සිටියත් චිත්‍රපටයෙදි එය 50 ක් දක්වා අඩු වෙනව. මෙහි නීති සරලයි වගේම කුරිරුයි. අවසානය තෙක් ඇවිද යා යුතුයි. ඒ වගේම නිශ්චිත වේගයක් රඳවා ගත යුතුයි. කෑම බීම වැසිකිළි කැසිකිළි කටයුතු පවා යන අතර මඟ සිදු කළ යුතුයි. ප්‍රමාද වුණොත් ඔහුට අනතුරු ඇගවීම් තුනකට පසුව ටිකට් එක (A ticket of Death) ලැබෙනවා. මේ සියලු දුෂ්කරතා විඳ තරඟය අවසන් කරන්නා මහා ජයමල්ලකට හිමිකම් කියනවා වගේම ජාතියේ වීරවරයෙක් බවටද පත් වෙනවා. 

පොත වගේම චිත්‍රපටයත් කේන්ද්‍රගත් වෙන්නෙ රේ ගැරිටි කියන චරිතය වටා. නැත්නම් ඉදිරිපත් වෙන්නෙ රේ ගෙ දෘෂ්ටිකෝණයෙන් කිව්වොත් වරදක් නෑ. චිත්‍රපටය තුල මේ කාරණාව ලොකුවට ඉස්මතු නොකලත් රේ ප්‍රධාන චරිතය විදිහට තමයි ඉදිරිපත් වෙන්නෙ. අනෙක් හැම කෙනාට වගේම රේ ට තියෙන්නෙත් සමාන අරමුණක් විදිහට අපට පෙනුනත් එක්තරා අවස්ථාවක සැබෑ කාරණාව ප්‍රේක්ෂකයට එළිදරව් වීම මත කතාවේ දිශාව උඩු යටිකුරු වෙනව. දෙවන අර්ධයක් නිල වශයෙන් නිශ්චිතව සඳහන් කල නොහැකි වුණත් කතාවේ දෙවන අර්ධය පටන් ගන්නෙ මෙතැනින් කියල මම හිතනව. හැම කෙනාටම ආශාවන් තිබුණත් ප්‍රතිඋතෝපියානු සමාජයක ආශාවක් දරා ගැනීමම, ජීවත් වීමේ ආශාවම මරණයට හේතුවක් කියල චිත්‍රපටය පුරාම අපට නිරන්තරව මතක් කරනව. මිනිසා තුළ ප්‍රචණ්ඩත්වයට ඇති නොනවතින ආශාව, මනුෂ්‍ය සන්තානයේ පවතින කෲරත්වය, වගේම ලෝකයේ අවසානයකදි වුණත් මිනිසා කියන සත්වයා⁣ තිරිසන් සතුන් ගෙන් වෙනස් වන මානව දයාව ත් චිත්‍රපටය පුරාම අපේ ඇස් කොණිති ගහනව. 

චිත්‍රපටය පුරාම අප ඉදිරියේ දිගහැරෙන ප්‍රශ්න ⁣දෙකක් තියෙනව. අප මරණය සැමරිය යුතුද නැතිනම් මිනිස් බව සැමරිය යුතුද..? මිනිසා ට සියල්ල අහිමි සමාජ වටපිටාවක, තමන්ගේ සිතීමේ, හැසිරීමේ නිදහස පවා අහිමි සමාජයක සැබෑවට කුමක් සැමරිය යුතුද..? චිත්‍රපටය මෙන්ම පොතේ ත් අවසානය යම් තරමකට සමානයි. මා ඒ ගැන කතා කරන්න අදහස් කරන්නෙ නැහැ. නමුත් අවසාන දර්ශනය තුලදී  මිනිසුන් සමරන්නෙ මරණයද..? නැතිනම් ජීවිතයද..? 

හෑන්ක් ගෙ බිරිඳ ගැන, ඔහුගෙ මරණයෙන් පසුව සහෝදර ඇවිදින්නෙකු විසින් හෙළිදරව් කරන ලද අවස්ථාව සහ එයට ඔවුන්ගේ ප්‍රතිචාරය නැතිනම් Reaction එක සමස්ථ මානව පැවැත්ම පිළිබිඹු කරන සාධකයක් වගේ. ඒ වගේම සියල්ලන්ගෙම පිළිකුලට බඳුන් වන බාර්කොවිට්ච් ( Barkovitch) ගෙ මරණය අවස්ථාවෙදි ඔහු පොදු සතුරෙකුගේ සිට සදාතනික සහෝදරත්වය වෙතට ඔසවා තබන්නෙත් ඒ විශ්වීය මානව පැවැත්ම නොවේද.?

මම මේ චිත්‍රපටය නරඹන අවස්ථාවේදී  ස්ක්‍රීන් ෂොට් කිහිපයක් ගත්ත. ඇත්තටම චිත්‍රපටය පුරාම සිනමාරූපිකත්වය දෘෂ්‍ය ප්‍රයෝග ආදිය මනාකොට අගය කල යුතු අවස්ථා රාශියක් තිබුණත් මම මෙහි එකතු කර තිබෙන අවස්ථා තුන සමස්ථ චිත්‍රපටයම එකට තියල කියවන්න පුලුවන් ඡායාරූප තුනක් කියල මට හිතෙනව. 

ජීවිතේට එළියක් දෙනව කියල පෙන්නුවට ඇත්තටම එහෙමද.?

අලුත් දවසක් දකින්න තරං වාසනාවක් මෙවන් යුගයක ලැබීමත්..?

ආශාවක් කියන්නෙ ගිනි ගෙන දැවෙන්න පුළුවන් තරම් පාපයක් වෙන්න පුළුවන්..!

(මේ චිත්‍රපටය පිළිබඳ මගෙ කියවීම පමණයි. චිත්‍රපටය පිළිබද පූර්ණ විචාරයක් නොවෙයි. )

No comments:

Post a Comment