Friday, August 30, 2024

උත්පත්ති - GENESIS

         


සුගිය දින කිහිපයම ගත වූයේ පොතක් කියවීමට නොහැකි වීමේ සාංකාවකිනි. ඊට ඉසිඹුවක් නොලැබීමේ සෝතාපයෙනි. ඉදින් ලද පළමු අවස්ථාවේම අතට හසුවූ පොත කියවන්නට සිතීම අහම්බයක් නොවන බව සිතමි. පොත අතට ගත්තේ බොහෝ බලාපොරොත්තු පෙරැදිරිව බව කිව යුතුමය. හේතුව නම් ස්වර්ණ පුස්තකය සඳහා මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා ද දෙවර්ෂයක දී කෘතීන් ද්වයක් සඳහා සුදුසුකම් ලැබීම මෙන්ම ප්‍රවීණ කතුවරයෙක් ලෙස සැලකිව හැකි වීමද විය යුතු බව සිතමි.

කීර්ති වැලිසරගේ මහතාගේ 2023 වර්ෂය වෙනුවෙන් නිකුත් වු පොත උත්පත්ති ය. කියවන්නට මෙතරම් කල් ගත වන්නේ රාජකාරි හේතුවෙන් ඉඩ හසරක් නොවීමය. එලෙස නොකිය වූ පොත් කියවා අවසන් කළ පොත් වලට වඩා වැඩි බව කියන්නේ තරමක ලැජ්ජාවකින් බව කියමි.

හැටේ දශකයේ අග භාගයේ සිට අනූවේ දශකයේ මුල දක්වා දිවෙන උත්පත්ති පරම්පරාවක කඩා වැටීම, තවත් පරම්පරාවක් නැගීම මෙන්ම නුතන තාරුණ්‍යයේ ඉච්ඡා භංගත්වය ගැනද යම් තාක් දුරකට සාකච්ඡාවට බඳුන් කරන කෘතියක් බව මගේ අදහසයි. ප්‍රවේණිගත වලව් පැලැන්තියක තේජස්වී ස්වභාවය ක්‍රමයෙන් දියාරු වී යන අතරම නූතන ධනේෂ්වර පංතයේ හිස එසැවීමද ඒ ධනේෂ්වර පංතියේ නව පරම්පරාවේ තිරිංග නැති ජීවිතය සේම අහසට පොළව මෙන් දිස්වන ඇති නැති පරතරය හා වාම වාදී දේශපාලනයේ දියාරුව  පිළිබඳව ඇති කලකිරීම පිළිබඳව ද කතුවරයා විසින් නිරූපිතය. එකී වලව් පැලැන්තියේ නොමනා කම් නිසා අහඹුවෙන් උත්පත්ති ගත ජිවයක පැවැත්මද ඒ ජීවය වටා කේන්ද්‍ර ගත අනෙකුත් චරිතයන්හි හැසැරීම ද උත්පත්ති විසින් අපට කියයි.

කතුවරයා සිය කතාව ඉදිරිපත් කරන්නට පාදක කොට ගන්නේ අපට සුපුරුදු වට්ටෝරුගත ගැමි පරිසර පසුබිම ම ය. එහි ඉදිරිපත් වන අවස්ථා සහ සිදුවීම් අතර අපට විස්මපත් වන්නට හෝ අලුතින් සංවේදී වන්නට අවශ්‍ය සිදුවීම් හෝ අවස්ථා නොවේ. දැනෙනා ලෙසට කියනවා නම් මෙය අලුත් කතාවක් නොවේ. නිරන්තරව විවිධ වේශ වලින් පාඨකයා හමුවේ ඉදිරිපත් වන වෙනස් රස අයිසින් යෙදූ සුපුරුදු රසයෙන් යුත් බටර් කේක් ගෙඩියම යැයි හැඟෙයි.

කතාව තුළ ඔබට කලු සුදු චරිත හෙවත් පැතලි චරිත බහුලව හමුවේ. තේජිත සහ රත්තරන් එම වට්ටෝරුවෙන් මුදවන්නට යම් පමණ උත්සාහයක් ගෙන ඇත. තේජිත ගේ චරිත ගොඩනැංවීමේ මදිකම නොවුණා නම් ඔහුගෙන් යම් ආලෝකයක් නවකතාවට ලබා ගන්නට තිබුණා යැයි සිතමි. රත්තරන් පිළිබඳ අනුකම්පාවක් දැනවීම හෝ ඔහු කෙරේ පාඨකයා සංවේදී කරවීමට උත්සාහ නොගෙන පාඨකයා හට තීරණයක් ගන්නට ඉඩ දුන්නානම් හොඳ යැයි සිතමි. බේලින් මෙයට වඩා විචිත්‍ර ලෙස මැවිය හැකිව තිබූ චරිතයක් බව සිතන්නේ කතාවේ මුල සිට අවසානය දක්වාම කතාවේ පාත්‍ර වර්ගයාට එතරම් බලපෑමක් කළ අන් චරිතයක් නොවූ බැවිනි. නමුත් කතාව තුළ චරිත හැසිරවීම පිළිබඳව බොහෝ දුරකට සතුටු විය හැක්කේ උත්පත්ති ඒක කේන්ද්‍රීය නවකතාවක් ලෙස ඉදිරිපත් වීම බොහෝ දුරකට අවම වීම නිසාය.(එහි අදහස නවකතාව පූර්ණ වශයෙන් ඒක කේන්ද්‍රීය භාවයෙන් මිදීම නොවේ) උත්පත්තිහි ප්‍රධානම ආලෝකය වන දේවක කෙරේ දෙවන අර්ධයෙහි වන වැඩි අවධානය නොසලකා හැරිය හොත් උත්පත්ති සැබැවින්ම එහි පවතින ඇතැම් දුර්වලතා හමුවේ වුව විචිත්‍ර කතාවක් ලෙස පැවතිය හැකි බව දකිමි.

උත්පත්ති හැටේ දශකය අග භාගයේ සිට අනූව දශකය දක්වා දිවෙන බව මා මුලින් කියූවෙමි. උක්ත කාලය තුළ ලංකා දේශපාලනයේ, ආර්ථිකයේ සහ සමාජයේ බොහෝ වෙනස්කම්, ලාංකිකයාට දැනෙන වෙනස්කම් රාශියක් සිදු විය. නාම මාත්‍රිකව මෙහි සඳහන් කිරීමට අවශ්‍ය නොමැති තරමට අප සිත් සතන් තුළ ඇති එකී සිදුවීම් හි ඡායා මාත්‍රයක දැක්මක් මිස එකී සිදුවීම් වලින් උත්පත්ති වෙතට, එහි ගොඩනැංවීමට හෝ එහි චරිත කෙරේ හෝ කිසිදු බලපෑමක් නොවීම විස්මය දනවන සුලුය. සැබැවින්ම එසේ වී නම් උත්පත්ති මීට වඩා අපූරු හැඩතල මැවිය හැකි විචිත්‍ර ගද්‍ය ආඛ්‍යානයක් බවට පෙරලවිය හැකිව තිබූවා නේදැයි මට සිතෙයි.

කතාවේ අවසානයට ඔන්න මෙන්න තිබියදී කතුවරයා ඔහුගේ යම් මතවාදයන් ඉදිරිපත් කරන්නට යයි. එය යම්  ආකාරයෙන් පාඨකයා වෙත, සිය කියවීමේ ධාරණාව බිඳ හෙලන්නක් බවට පත් වේ. දහම් ගේ අවසානය - උත්පත්ති හි අවසානයට වක්‍රාකාරයෙන් එම සාකච්චාවන් යම් දායකත්වයක් සැපයුවද එතරම් දීර්ඝ වශයෙන් නොවී ඉදිරිපත් වී නම් එයට වඩා පාඨකයා හට ආස්වාද ජනක වීමට ඉඩ තිබුණි. (මා මේ කියන්නේ සාකච්චාවක් ලෙස ඉදිරිපත් වන එම දාර්ශනික කාරණා වල හරය ගැන නොවේ. අවිවාදාත්මකව එම ඇතැම් මතවාදයන් කාලානුරූපී බවද එ මඟින් ඉදිරිපත් කරන කරුණු පිළිබඳව එකඟ විය හැකිය.)  

නවකතාවක් ලෙස එක දිගට කියවාගෙන යාමට තරම් සුමටව සිය ආඛ්‍යානය ගොඩනැංවීමට කතුවරයා උත්සාහ ගෙන ඇත. එය යම් පමණකට සාර්තක වී ඇති බවද කිය යුතුය.   කෙසේ හෝ වේවා උත්පත්ති වෙතින් මා යම් වින්දනයක් ලැබූයෙමි එහෙත් ඒ බලාපොරොත්තු වූ පරිදිම නොවන බවද කිය යුතුමය. මේ ලිපිය කියවන ඔබට එය වෙනස්ම ආකාරයෙන් දැනිය හැක. ඒ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරන්නේ නම් කෘතඥ වෙමි.

 

උත්පත්ති (Genesis)

කර්තෘ - කීර්ති වැලිසරගේ

ප්‍රකාශනය  - සරසවි ප්‍රකාශකයෝ

පිටු - 440.

මිල - රු 1500.00.

ඇගයීම - 3/5.

ප.ලි - මේ සටහන ලියා බොහෝ දිනකි.  අද උදෑසන උත්පත්ති” විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල සඳහා කෙටි ලයිස්තු ගතවී ඇති වී ඇති බව දුටිමි. එබැවින් පළ කරන්නට සිතුණි. සැබැවින්ම උත්පත්ති” කිසියම් හෝ සාහිත්‍ය සම්මානයක් සඳහා  සුදුසු වන්නේ මන්ද යන විමතියක් හටගැණුන වග නොලියා බැරිය.

 

 

 

 

6 comments:

  1. හ්ම්.. ආවෙමි, කියැවීමි.

    ReplyDelete
  2. ආවෙමි කියැවීමි මමත්.
    නොකියවා ඇති හෙයින්
    'උත්පත්ති'
    කිසිවක් නොලියමි එගැන

    ReplyDelete
  3. කියවන්න ඕනෑ! එතුමාගේ කාලසර්ප නම් මට ටිකක් අසීරු වුණා කියවන්න. ළඟකදි එතුමාගෙ පොත් කියෙව්වෙ නෑ!

    ReplyDelete
  4. හුම්. මාත් ආව. ඔන්න අද කියෙව්ව පෝස්ටුව... පොත නොකියවනවා උනත්!

    රජවන්ට එන ඈයොන්ගෙ පටිපට්ටි පරකාසනත් කියවල බලන්න. ආස හිතෙයි... හිටං 🤭

    ReplyDelete
  5. අන්න වටින ඔත්තුවක් ...මේ පාර බුක් ෆෙයා එකේදි මේ පොත නොගන්න තීරණය කලා 🙃

    ReplyDelete