Monday, June 16, 2014

ස්මරණ-04 ජීවන සටන

                                                                                  මා දන්නා කාලයක සිට මා අවට සාගරයක්  මෙන් පැතිර ඇති වත්තේ ආධිපත්‍ය යෙන් මිදෙන්නට සමත් වූ මිනිසුන් නැති තරම් ය. ඔවුන් ඒ තරමටම ඊට බද්ධව දිවි ගෙවති. ඉදහිට පවුලක පිරිමි දරුවෙක් යුද්ධ හමුදාවට බැදී රැකියාවක් කළා විනා වත්තෙන් එහා ගිය වෙනත් රැකියාවක් කළ අයෙකු සොයාගැනීමට වඩා කළු නික සෙවීම පහසු විය හැක. උපන් දා සිට ඔවුන්ගේ ආකර්ෂණය අවධානය තදින්ම ඇ බැ ගත්  වතු යායට එහා ලොවක් ඔවුන්ට දකින්නට උවමනා නොවූ බව මගේ අදහසයි. ඊටත් වඩා වතු යාය ඔවුන්ගේ ජීවිත වල පසුබිමෙන් ඇදුණු කළු හෙවණැල්ලක් මෙන් ඝණ විය. කිසි විටෙකත් එය ඔවුන් අත නාරිනවා සේ ඔවුන්ටද එය අතහැර ඉන් මිදෙන්නට හැකියාවක් නොවීය.
මා කලින් සදහන් කළ යුද්ධ හමුදාවට බැදුණු අයගෙන් කිහිප දෙනෙක්ම සිය රැකියාවන් අතහැර නැවත වත්තේම කරක් ගසමින් පොල් ගෙඩියක් විකුණා හෝ කිසියම් කුලියක් මලියක් කර එදා වේල සරි කර ගනිති. මගේ මව්පියන්ට සේම මගේ සමවයස් ගත්ත වුන්ගේද මට වඩා බාලයන්ගේද වැඩිමළුන් ගේද මවුපියන්ට සිය දරුවන්ගේ අධ්‍යාපන වියහියදම් දරන්නට සහය වූයේ මේ වත්තය. එය වත්තේම වැඩ කර ලබා ගන්නා මාස් පඩිය විය හැක, නැතහොත් ඉරටු ගා හෝ පොල්ලත්තක් වියා ලබාගන්නක් විය හැක. එසේත් නැතිනම් මුරකරුවන්ට හොරෙන් අවුලා කඩයට විකිණූ පොල් වලට ලැබෙන මුදලින් විය හැක. කෙසේ හෝ ඔවුන් සිය යුතුකම් උපරිමයෙන් කරන්නට යත්ත දැරුවෝය. එහෙත් සිය ජීවන අරගලයට සාපේක්ෂව සිය දරුවන් ගැන සොයා බල්න්නට හැකි වූයේ අල්ප වශයෙනි. මේ හේතුව නිසා බොහෝ දරුවන් අයාලේ ගියහ. ඒ හේතුවෙන්ම සිය වැඩිහිටි පරම්පරාව ආදර්ශයට ගනිමින් ඔවුන්ද වත්තටම කඹුරති. මා කලින් කොටසක සදහන් කලා සේ ඔවුන්ගෙන් පසු බිහිවූ අළුත් පරම්පරාව වේගවත් අධ්‍යාපන ගමනක නිරතව සිටිති. එහෙත් ඒ කොයිතරම් කලකටදැයි දැන්ම අනාවැකි පළ කළ නොහැකි බැවින් ඒ පිළිබද අදහසක් ප්‍රකාශ නොකරමි.

                                                                                     Kegalle Plantation (pvt) Limited  (කෑගලු වැවිලි සමාගම) මගින් පාලනය වන කුඩා කොටසක් වූ මේ වතුයායේ සේවය කරන්නවුන් ප්‍රධානව බෙදා සිටියේ දෙකොටසකටය. ගැහැණු පිරිමි කියා මේ බෙදීමට වෙනසක් නොවීය. සියල්ලෝම හැකි පමණ සිය කාර්යන් නිම කිරීමේ ලා වෙහෙසුනෝය. අවසන කරන්නා වූ කාර්යයට නොවටිනා වැටුපකින් සැනහුනෝය.

                                                                                      මින් පළමු බෙදීම සිල්ලර වැඩ කොටසයි. මොවුන්ව වත්තේ හැදින්වූ නම වූයේද සිල්ලර වැඩ කට්ටිය ලෙසයි. ප්‍රධාන වශයෙන් ඔවුන්ට කිරීමට නියමවී තිබුණේ වත්තේ එක් කොණකින් පටන් ගෙන අනෙක් කොණ දක්වා පදුරු කපා දමා එළි පෙහෙළි කිරීමත්, පොල් රබර් කොකෝවා ගස් වලට පොහොර දමන කාලයට දෙකොටසකට බෙදී ගස් වටා බිම් කොටා පොහොර දැමීමත්, පොල් කඩන කාලයට පොල් එකතු කිරීමත් පොල් ගණන් කිරීම වැනි කටයුතු වලට සහභාගි වීම වැනි බොහෝ දෑ ය. උදෑසන හතයි තිහට වැඩ පටන් ගන්නා ඔවුන් සවස තුන හමාර වෙනතෙක් සිය කාර්යයේ නියුතු වන්නේ ඒ අතර මැද තේ විවේකයට  හා දිවා ආහාර වෙලාවට පමණක් වැඩ කොටස නවත්වමිනි. වත්තේ කුදු මහත් සියළුම දේ කිරීමට භාර වන්නේ  ඔවුන්ට වන අතර මැසිවිලි නැගීමක් අසන්නට කිසිවෙකුත් නැත. එසේම කරන්නට පැවරෙන කාර්යය නිම කරන්නේ ජන්මයෙන් ලත් පුරුද්දකට අනුව මෙනි. ඉදහිට සිදුවන තම සගයන්ගේ මගුල් තුලා කටයුතු වලට, මරණ පිංකම් කටයුතු වලට අවස්ථාවේ අනුව සියල්ලන්ටම එක වර කෙටි නිවාඩුවක් ලැබේ... ඒ හැර ඔවුන්ගේ විවේකය වන්නේ සෑම සතියකම ඉරිදා දින හා පොහෝදා පමණි... මසකට අනිවාර්යයෙන්  වැඩ කළ යුතු දිණ ගණන විසි තුනකි. ඊට අඩුවෙන් වැඩ කිරීම ලැබෙන දීමනා අඩු වීමට හා ලැබෙන වැටුප කෙට්ටු වීමට හේතු වේ...

                                                                                       අනෙත් කොටසෙහි ලා දැක්විය හැක්කේ කිරි කැපුම් ශිල්පීන්ය. (මේ නම ඇත්තේ රබර් සංවර්ධන මංඩලයට අයත් පොත්පත් වල හා ආයතනයේ ඇති යම් යම් මුද්‍රිත පොත් පත් වල පමණි) නැතහොත් ගස් කට්ටි කාරයන්ය. ඉදහිට කිරි කපන්නන් යැයි ද භාවිතා වනු අසා ඇත්තෙමි. සෑම කිරි කැපුම් කාරයෙකුටම ගස් හයසියය බැගින් වූ කට්ටි දෙකක් හිමිවේ.(ගස් කට්ටියක් යනු ගස් තුන්සියයකින් සමන්විත කොටසකි)  එහි පූර්ණ වගකීම අදාල කට්ටි දෙකේ තාවකාලික හිමිකරුවන්ටය. එනම් ඒ කට්ටි දෙකේ කිරි කපන්නාටය. රබර් ගස් හා ඔට්ටු වීම පහසු දෙයක් නොවේ. ඒ සදහා දීර්ඝ කාලීන පළපුරුද්දක් මෙන්ම ඉවසීමක්ද තිබිය යුතුය. රබර් කට්ටියක් භාර වන්නෙක් වීම සැබැවින්ම ආඩම්බරයට කරුණකි. මන්ද වත්තේ වන හොදම වැඩකරුවන්ට විනා කිරි කට්ටියක අයිතිවාසිකම් කීම සාමාන්‍ය අයෙකුට කළ නොහැක්කක් වීම නිසාය. සාමාන්‍යෙයන් කිරි කපන්නට යන්නෙක් ඉරිමා උදයේම පිටත් වීම සිරිතය. හොදටම එළිය වැටී කිරි කපන්නට යන්නෝ නැත. මේ හේතුව නිසා එක් ගස් කට්ටියක් කපන දිනට(වරුවේ දවසක්) උදෑසන නමයත් නමයාමාරත් අතර කිරි කපා අවසන් වේ.. දෙවරු(ගස් කට්ටි දෙකක්) කපන දිනට එය උදෑසන එකොළහත් එකොළහාමාරත් අතර කාලයකින් නිම කර ගත හැක. අනතුරුව කැපුම් වලින් කිරි වැටී අහවර වන තුරු එන්නේ කෑම වේලාවයි. කිරි කැපුම් කරුවන්ට සිල්ලර වැඩ කට්ටියට මෙන් උදෑසන අහර ගැනීමට කාලයක් නැත. එබැවින් කිරි කපා අවසන්ව එන සුළු විවේකය සිය උදෑසන පාතරාසය ගැනීමට ලැබෙන එකම හා හොදම වෙලාවයි. අනතුරුව කිරි අකුලා(එනම් පොල් කටු වල එකතු වන කිරි තමන් අත ඇති භාජනයට(බොහෝ විට මෙය කුඩා බාල්දියකි) එකතු කරයි. එහිදී  පොල් කට්ටේද කිරි මද වශයෙන් ඉතිරි වේ. ඒ ටික ලබා ගන්නේ මහපට ඇගිල්ලේ ආධාරයෙනි) කිරි බාල්දියේ පුරවා හිස තබා ගෙන ස්ටෝරුවට පිටත් වේ. (දෙවරු කපන දිනක නම් මේ කොටස දෙවරක් කිරීමට සිදුවේ) බාල්දිය තනියම හිස තබා ගැනීමට හැකි ශක්තිවන්තයන් හිටියේ අල්ප වශයෙනි. මේ නිසා බොහෝ විට කිරි අකුලා අවසන් වන වෙලාවට කිසිවකුගේ හෝ අත් උදව්වක් ලබා ගැනීම අනිවාර්යය. එලෙසම ස්ටෝරුවේදී බාල්දිය හිස මතින් ඉවත් කිරීමට කාගේ හෝ සහයක් අවශ්‍යමය. බොහෝ විට කිරි කැපුම් කරුවන්ට නිවාඩු ඇත්තේ මාසයටම දෙකක් හෝ තුනකි. මන්ද මාසයෙන් දින විසි අටක් වැඩ නොකිරීම රුපියල් තුන්දහසක දීමනාවක් කපා හැරීමටද  එය දින විසි පහට වඩා අඩු නම් රුපියල් පන්දහසක දීමනාවක් කැපීමටද හේතුවන බැවිනි. මේ හේතුව නිසා යම් රෝගී තත්වයක් ඇති වුවත්‍ යම් මට්ටමක ශරීර සෞඛ්‍යයක් තිබීම ඔවුන් වැඩට යාමට පොළඹවයි.



පසු සටහන----මේ ලිපිය තවත් දික් වුවත් මේ මට්ටමට සීමා කළේ ඔබගේ කියවීමේ පහසුව සදහාය. 

42 comments:

  1. ඉතාම හොඳ ලිපියක්.... ඉතිරි කොටස් කියවීමට මග බලා හිඳිමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      හැමදාම සදුදට දාන්නෙ.

      Delete
    2. තේ වගාවේ නියලුනු පිරිස ගැන හර්මන් ගුනරත්න ගේ The suicide club පොතෙන් විස්තර වෙනවා වගේ ඔයාගේ ලියවිල්ලෙන් ලන්කාවේ රබර් වගාවට සම්බන්ද පිරිස ගැන කියවන්න දැනගන්න හැකි වේවි...

      Delete
    3. ඒ තරම් හොදට ලියන්න පුළුවන් වේද සැකයි...
      අපි බලමු මට පුළුවන් උපරිමයට සාධාරණය ඉෂ්ට කරනව...
      ස්තූතියි

      Delete
  2. දිගනම් නෑ බං. හැබැයි කොටස් කඩන එක සමහර වෙලාවට හොඳයි

    ReplyDelete
    Replies
    1. කොටස් කැඩුවෙ නැත්තං සමහර වෙලාවට මට විරුද්ධව යුද්ධ ප්‍රකාශ වෙන්න ඉඩ තියෙනව...
      හැක්

      Delete
  3. කතාව හරිම රසවත්... වතුවැඩ ගැනත් පොඩිදැනුමක් ලැබුණා.. කතාව අගෙයි මහේෂ්..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු.. එහෙනං ඊළග කොටසටත් කැමති වෙයි

      Delete
  4. ඔන්න අද නම් කතාවක් නෑ බන් ඔහේ කියාගෙන ගියපු වාර්තාවක් වෙලා ?උඹට ලියන එක එපා වෙලා ද ?උඹ ගාව නියම ලිවිල්ලක් තිබුණා ,අද මොකද වෙලා තියෙන්නෙ ?තව හැඩ කරපන් උඹ එහෙමයි කලින් රහට ලිව්වෙ ,අද මට නම් එ තරම්ම දැනුණේ නෑ ......

    ReplyDelete
    Replies
    1. මට ලියද්දි හිතුණ... ඒත් මේකෙ ලිවිය යුතු දේවලුත් තියන හිංද මෙහෙමම ලියන්න වුණානෙ..
      හැමදාම කන පරිප්පු හොද්දෙ වුණත් එක දවසක ලුණු නැති වෙන්න පුලුවං නෙව

      Delete
    2. උඹේ හිත රිදුනා නම් සමාවෙන්ඩ ඕන ඈ ,උඹ ,ප්‍රියා ,මල් මල් ,යක්ෂයා කියන්නෙ මං ආස කරන විදියේ ලියන උන්,එකයි මෙහෙම කමෙන්ටුවක් කෙටුනේ ........

      රබර් ගැන කතා කරනකොට මටත් අතීතයක් වගේම වර්තමානක් තියෙනවා,අපිට කළුතර ගෙදර ගාව රබර් වත්තක් තිබුණා ,දැන් තේ ,එතන තියෙනවා රබර් ශිට් හදන රොල් ,පිටර් කියලා මනුස්සයයි පවුලයි තමයි වැඩ කරේ ,අතින් තමයි රෝල කැරකුවේ ,ඉස්සර මං උදේම යනවා එතනට රබර් ඇසිඩ් සැර හැම තැනම අපේ වැස්සියක් හිටියා ඔය රබර් කලා මැරුණ ,ඔය රබර් ශිට් දුම් ගහන්න වෙනම පොඩි දුම් ගෙයක් තිබුණා ,ඉස්සර ඔට්ටපාලු බොල නිසා ගෙදර ජනෙල් විදුර් ඉවරයි .....තව තියෙනවා බන් කියන්න උඹ ලියපන් මං කියවලා යන්නම් ...

      සමාවියන් මට මේ දවස් වල වලිගේ පැගිලා බන්,කීප දෙනෙකුටම විකාර කමෙන්ටු වගයක් දලා තිබුණා ,සමාවියන්

      Delete
    3. අයයෝ ඒව කව්ද අප් ගනන් ගන්නෙ... කියවන කෙනාට දැනෙන විදියට ඇත්ත කොටනව නං මං කැමතී... තියෙන නරක වැහිල හොද විතරක් කීවම මං කෝමෙයි වැරදි හදාගන්නෙ... ඒ තරං හිතන්න එපා..
      අපේ පැත්තටම තිබ්බෙ දුං ගෙවල් දෙකයි... වත්තෙ රබර් යන්නෙ ෆැක්ටරියකට ඒකෙ මොනව වෙනවද කියල මං පස්සෙ වෙලාවක හරියටම හොයල කියන්නං.
      රබර් කාල නෙවේ අපේ පැත්තෙ හරක් මැරුනෙ පොල්කටු වලට එකතු වෙන කිරි බීල...
      කියනව නං ගොඩයි...
      මට මේක ටිකක් හොදට ලියටන්න ඕන හිංද තමා අතර මැදින් විස්තරයක් දාන්නෙ.. එතකොට කියවනකොට දැනෙන සතුට විතරක් නෙවේ දැනුමකුත් එනවනෙ..

      Delete
  5. මහී..අදනම් ඔබේ ලිවීම අනර්ගයි. මට හරියට දැනුනෙ කේ.ජයතිලකගේ පොතක් කියවනවා වගෙයි. මේ ඔබව මුරුංගා අත්තේ තැබීමක් හෝ අතිශයෝක්තියක් නෙවෙයි. මං දකින වටිනාකම අගය නොකර ඉන්න මට බෑ කොහොමටවත්. මතකදි කලින් ලිපියකදි මං කිව්වා කතාවෙ අග මුල පැටලිලා වගේ එ නිසා ටිකක් අවුල් කියල. ඒත් අමේ වෙනකොටනම් මේ "ස්මරණ" ඉතාම ඉහල මට්ටමකට ඇවිත්. දැන් මට ඉවසුමක් නෑ ඔබ ඊළඟ කොටස දානකල්. රබර් වතු ආශ්‍රිත ජීවිතය ඔබ ඉතා කදිමෙට විස්තර කරල තියෙනවා. ඒක මට සජීවීව දැනුනා.

    විශිෂ්ඨයි මහේෂ්.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ ඔයාලගෙ දිරිමත් කිරීම හිංද තමා කතාව අද වෙනකොට මේ තත්වයට ඇවිත් තියෙන්නෙ...
      ස්තූතියි මාව අගේ කරනවට..
      ඇතත්ටම ඒක මට ලොකු හයියක්

      Delete
  6. මහේෂ්.....මම හිතූ අයුරින්ම කතාව ඉදිරියට යනවා. තම පෞද්ගලික කතාව තුල ඒ හා බැඳුනු සාමාජ,ආර්ථික, සංස්කෘතික, දේශපාලන වටපිටාව සාකච්ඡා වෙනවා නම්..අපූරු පාඨක විවිධත්වයක් ඔබට දැක බලා ගත හැකි බව මම ලියනා මාගල් තුලින් මම වටහා ගෙන සිටින්නෙමි. ඔබ ඒ තුලට කෙමින් කෙමින් ප්‍රවිශ්ඨ වෙන බව මට වැටහේ. ඔබේ රචනා ශෛලිය ඔබේ අනන්‍යතාවය ඔප් නංවා ගැනීමට වඩාත් ඉවහල්වේ. ඔබේ හැකියාව ඉදිරියේදි තව තවත් මටු සිලිටු වේ යැයි මට දැනේ.

    කිරි කපනා උදවිය සහ ඒවා බාරදී කිරි රබර් ශීට් බවට පත්කරනා රබර් කිරි දුම් මඩු සේවකයන්ගේ ජීවන චර්යාවන් ලෝකයට හෙලිකිරීම ඔබගේ යුතුකමක් යැයි සිතමි. මා කියනා දේ ඔබේ කතාවට බාධාවක් නොකරගන්න.

    කි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ අය්යෙ...
      ඒත් මට ඔයාට තං හොදට ලියන්න බැරි වෙයි...
      ඒත් මං උපරිම උත්සාහ කරනව...
      මෙහෙ දුම් මැහි තිබ්බෙ දෙකයි... වත්තෙ ඒව නෙවී... වෙනත් අයගෙ... මං ඒ ගැන වෙනම ලින්නමංකො

      Delete
  7. මචන් වැදගත් කිසිම දෙයක් හලන් නැතුව ලියපන්. ඒක තමා වටින්නෙ. උඹ මේ ලියන විදිහ පට්ට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා...
      මතක එන විදියට ගලපල ලියනව..
      ස්තූතියි

      Delete
  8. අදුරු කුටිය තුල දොරගුළු ලාගෙන
    ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ
    පොලව කොටන තැන පාර තනන තැන
    ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ
    බලන් කඩතුරා හැර දෑසේ

    සිනිදු සුවැති සළු සිරසින් හැරදා
    දූවිලි මඩ වැකි පිළි ගත පලදා
    දෙවියන් රුව දක්නට හැක්කේ

    කුසුම් සදුන් දුම් සුවදින් වැලකී
    ගත නැගි දාඩිය සුවදින් සැරසී
    දෙවියන් හා එක්විය හැක්කේ

    පද : ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ..
    සංගීතය : ප්‍රේමසිරි කේමදාස..
    ගායනය : ටී.එම්. ජයරත්න...


    දිගටම කථාව ලියාගෙන යමු.. අනික මේටික දිගයි කියල හිතන්න එපා.. අර අරූගේ කථාවයි රවි ගෙ කථාවකුයි ගත්තම. මේක එක ඡේදයක් විතරයි..
    කරුණු මග නෑර ලියමු ...(194/6 - පරදීද දන්නෑ)

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. පැරදුනේ නෑ යන්තං ගොඩ ගියා

      Delete
    2. හිහි... ඒක නං ඇත්ත රවි ලියන විදියට අපිට ලියන්න ගියොත් මේක කියවන්න කෙනෙකුත් නැති වෙයි...
      ස්තූතියි විදානෙ...

      ඔයාගෙ ප්‍රශ්නෙටත් ඔය උත්තර හම්බෙලා තියෙන්නෙ

      Delete
    3. මේක පැරදුනා නං තමා අපිටබලන්න තිබ්බෙ.. නේද ඉවාන් අය්ය..හැක්

      Delete
  9. ඔය වගේ මහා වතුයායවල් නොතිබුනාට පුද්ගලික රබර් වතු අපේ පැත්තෙත් හරියට තියෙනවා. (ගම්පහ දිස්ත්‍රික්කයේ) ඉස්සර මට මතකයි ඔය රබර් රොටි තලන මැෂිමක් තිබුණා අපේ තාත්තලගේ ගමේ(කොළඹ දිස්ත්‍රික්කයේ) හම්මෝ බං ඒකෙන් එන ගඳ!!!!! ඒකනේ ගඳ! ඒක රබර් රොටි, ඇසිඩ්, ඔක්කොම කවලං වෙලා එන වමනේ යන්න එන ගඳක්.
    ඒකෙත් තියෙනවා දියරෝලයි, ඊගාවට අර කට්ට කට්ට දාර වැටෙන රෝලයි.
    ඔය රබර් ගහ බ්‍රසීලෙන් ගෙනාපු එකක් වුනාට ඒක අපේ රටට ජීවිත වලට ලස්සනට බද්ධ වුනා. මට හිතාගන්න බැරි ඇයි රබර් ගස්වල කොල වැටෙන කොල නිවාඩුව පෙබරවාරි එන්නේ කියලා. මොකද ඒක උත්තරාර්ධගෝලයේ වත් දක්ෂිනාර්ධ ගෝලයේවත් කොල හැලෙන ශරත් සෘතුව නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. සමහර විට ලේටෙක්ස් ෆැක්ටරියක් ගාවින් ඔයාටයන්න බැරිවෙන්න ඇති... මට නං ඒ ෆැක්ටරියක ගදත් අප්පිරියයි... දුම් මඩු වෙ ගද හොදයි කියල හිතෙනව..
      ඇත්තමයි අප්පිරියයි..
      මොන කාලගුණ වෙනස්වීමක් තිබ්බත් රබර් ගස් වල කොල වැටෙන්නෙ පෙබරවාරි තමා... හේතුවක් නං දන්නෙ නෑ... ඒත් ඒ කාලෙට මාරම ගති... පට්ට

      Delete
  10. මට නම් 4 න් ලස්සනම මේක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්මි

      Delete
  11. ලියමුකෝ ලියමුකෝ.. අපිත් ඉතින් හෙමීට මේක කියවන් එනවා..

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා...
      ඔයාල කියවලා සතුටක් ලබනව නං මට ඊට වඩා දෙයක් නෑ

      Delete
  12. කියම කතාව අදනං.. විස්තරත් වටිනවා...
    දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරෙ....
      ඉතුරු කොටසින් තව විස්තර ටිකක් දෙන්නංෙකා

      Delete
  13. කෙටි වුනත් බොහෝ දේ ඒ තුල තියෙනවා... ඉතිරි කොටසත් ඉක්මනින්ම ලියමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි...
      ලියන්ට දෙයක් නෑ... ලියල තියෙන්නෙ..
      ඉක්මණටම පබ්ලිෂ් කරන්නම්...
      ස්තූතියි

      Delete
  14. ලස්සනයි...තව ටිකාක් දිග උනානම් කියල හිතුනා

    ReplyDelete
    Replies
    1. දිග කරන්න තිබුණ...ඒත් ුගක් අය අකමැතී නෙව...
      ඒකනෙ අවුල..
      බලමුකො ඉස්සරහට නොදැනෙන්න කරන්න

      Delete
  15. ඊයේ කියවලා නිදිමතේ බාගෙට කමෙනට් කරලා ගියා.

    ගොඩක් වෙලාවට කිරි කපන්න යද්දි,පොඩි රෙදි මල්ලක නැතිනම්,පුවක් කොලපොතකින් හදපු මල්ලක පාන් කැල්ලකුයි සිනියි දාගෙන යනවා නේද කැමට.මෙන්ඩිස් බෝතලේක දාගත් කහට ටිකක්.
    තව ..ඒ මල්ල ඉනේ ගැටහන් නේද ඉන්නේ.කිරි කට්ටිය කපලා ඉවරවෙලා ,දොලකින් වගේ මුන සෝදන්,ගලක් උඩ වගේ තැනක වාඩිවෙලා පාන් කැල්ල කාලා,අත්දෙක එකට අතුල්ලලා සිනියි ,පාන්කුඩුයි පිසගෙන,ආයේ ඊළග කට්ටිය කපන්න හරි කිරි අකුලන්න හරි යනවා.
    අනේ කොන්ද නමං කිරි කපන්න ගියාම..අම්මෝ..කිරි කපන අය ගොඩාක් තරුණ කාලෙදිම කුදු ගැසෙනවා මං හිතන්නෙ.
    අමතක වුණා කුඩැල්ලො..

    ආයෙම හවසට ඔට්ටපාලු ඇහිදින එක.

    තේ තිබුනෙ නැතිද වත්තේ?

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කියන්නෙ කුට්ටි සාක්කුව...
      හ්ම් ඒකතමා ගොඩක් වෙලාවට කට්ටිය යූස් කරන්නෙ...
      ඔයාටත් මේ ගැන අත්දැකීම් තියේ වගේ...
      කෑගල්ල කිට්ටුවට එන්න වගේ රබර් එක්ක තේ වගා කරල තිබුණට අපේ පැතිවල නෑ...
      මොකද හුගක් වෙලාවට ඒක කිරි කපන්න බාධාවක්
      මන් ඔය ගැනත් ලියන්නංකො

      Delete
  16. බොට හිතෙන හිතෙන තැන් වලින් මේ කථාව කියාගෙන යන බවක් මට සමහර වෙලාවට හිතෙනවා...එහෙම නැතුව අතීතය ස්මරණය කරලා...පිළිවෙලට කිසිම සිදුවීමක් අත් නොහැරෙන විදියට මේ කථාව ඉදිරියට කියමු...ඔය රබර් වතු අපේ පැති වල තිබුනත්...කිරි කපන කලාව ගැන මම දන්නෙ නෑ...මේ වගේ වෙලාවට කිරි කපන කෙනෙකුගේ ඡායාරූපයක් මේ සටහන මැද්දට අත ඇරියා නම් ඉන් යම් එළියක් මේ සටහනට ලැබේවි. ඊලග සටහනේ ඉදන් කථා තේමාවට අදාළ ඡායාරූපයකුත් එකතු කරන්න. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මං ඡායාරූපයක් එකතු කරන්න බලන්නං... ගූගල් දෙය්ය ගෙන් තමා පිහිට පතන්න වෙන්නෙ මොකද මං වැඩනෙ... ගමේ යන්න වෙයන්නෙ අඩුවෙන්...
      ඔයා කියන දේ පිළිගන්න වෙනව.. බලමු ඉස්සරට ඒ අඩුපාඩුවත් හදාගන්න
      ස්තුතියි සිරා අය්යෙ

      Delete
  17. මහේශ් ලියපු කතා කීපයක් මට මග ඇරුණා...ඒ ටිකත් වෙලාව හොයගෙන කියවන්න ඕනි. කොහොම උනත් මේවගේ විස්තර කියවන්න මම කැමතියි....ඊලඟ කොටස කියවන්න බලගෙන ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. ම්ම් මුල කොටස් කීපය කියවල බලන්නකො ඉඩ තියෙන වෙලාවක...
      හැමදාම සදුදට පබ්ලිෂ් කරනව...
      ඊළග කොටස...
      දැනටමත් ලියල තියෙන්නෙ

      Delete
  18. රබර් වතු මැද්දෙන් ගමේ ගියාට කිරි කැපිල්ල ගැන මෙච්චර විස්තර දැනගෙන හිටියෙ නෑනෙ. ස්තූතියි මහේෂ්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...