තිබු
නොයෙකුත් රාජකාරීන් සහ බාරගත් වැඩ නිසා ස්මරණ සටහන් තැබීම සති දෙකකින් කල් ගියේ
නොසිතූ විලසිනි. ඒ දෙසතිය තුළ ස්මරණ කෝ යැයි අසා කමෙන්ට් කල අය මෙන්ම මූණූ පොතට
පණිවිඩ එවූ අයද බොහෝ ගණනකි. ඔවුන්ට තුති පුදන්නට මෙය අවස්තාවක් කරගනිමි. නැතහොත්
මේ සතියද වෙනත් දෙයක් ඔබ්බවා නිකන් සිටීමට මා සිතා සිටි බැවිනි. පසුගිය කොටසේ
දිගුවක් ලෙස මේ කොටස ඉදිරියට ගෙනයාමට සිදුවන නිසා රබර් ගැන කතා එතකින් තාවකාලිකව
නවතමි. එහෙත් ඒ සම්බන්ධව බොහෝ අය දැක් වූ කැමැත්ත මෙන්ම ඉල්ලීම් නිසා මෙම කොටසින්
පසු රබර් ගැන රබර් කතාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජීවන සටන හා
බද්ධව සිටීම යෙහෙකි.
පසුගිය කොටසින් මා පැවසූයේ තමන්ගේ නින්ද ගමක් මෙන් පවතින
මුත් තමන්ට හිමිනැති එහෙත් තමන්ගේ වගේ සැලකූ වත්තක එහි විසූවන්ගේ ජීවන අරගලය
පිළිබදවය. මේ එහි ඉතිරියයි නැතහොත් වත්තේ වැඩ කිරීමට අමතරව ඔවුන් යමක් හරි හම්බ කල
අයුරුයි.
සිල්ලර වැඩ කිරීම හෝ රබර් කිරි කැපීම හැර වත්තේ වෙනත්
කිසිවක් වැඩ තිබුනේ නැත. රබර් කැපීම හා සම්බන්ධ යම් යම් කාර්යයන් හැර අන් සියළුම
කාර්යයන් සිල්ලර වැඩ කොටස යටතේ වර්ග කර තිබිණ. එහෙත් කල යුතු වැඩ කප්පරක් වුවද
ලැබුණ සොච්චම ඔවුන්ට දිවි ගැට ගසා ගැනීමට ප්‍රමාණවත් නොවීය. ඒ හේතුව හින්දාම දෝ
වත්තේ වැටෙන පොලයකට මෙන්ම පොල්ලත්තකටද තුබූයේ සීතල යුද්ධයකි. උදෑසන පෙනෙන නොපෙනෙන
ගාණට පාං කළුව ඇති විට පොල්ගස් යට ටැක් ගැහෙන කීප දෙනෙක් දක්නට ලැබීම සුලභ
දර්ශනයකි. එහෙත් ඒ වෙලාවට ඔවුන්ගේ අතේ ඔබට දැකිය හැක්කේ පොල් පමණකි-ඇවරි ගසා
එකිනෙක බැද ඇති පොල් පමණකි. මේ වෙලාවට හිච්චෙක් හිච්චියක් දැක ගත නොහැකි තරමිය.
එහෙත් තමන්ගේම සැලසුම වලට අනුව නිවෙස් වලට හොරා වත්තට පැන පොල් ඇහිදින නැත්තේම
නොවේ... වත්තේ වෙසෙන්නන් සිය මෙහෙයුම් දියත් කලේ එක් සීමාවක පමණි. ඒ තමන් ගේ
නිවස පෙනෙන නොපෙනෙන සීමාවේ පමණි. අනෙක් කොටස් ආක්‍රමණය කිරීමක් සිදු නොවන තරම්ය.
මන්ද යත් තමා මෙන්ම වත්තේ තවත් අය ඉන්නා බැවිණි. නමුත් මේ කතා කොට ඇති කර ගත්
සම්මුතියක් නොවේ. එබැවින් එය ස්වයං වාරණයක් යැයි මට සිතේ. එය එසේ වුවද කොහේ
හෝ රස්තියාදුවක ගිය විට අතරමගදී හමුවන පොලයක් අත අරින්නට ඔවුන් අකමැතිය. එසේ වනවා
නම් එක්කෝ වත්තේ වැඩ ඇති ඉසව්වක් විය යුතුය, නැතහොත් මුරකාරයන් සිටිය
යුතුය. මේ සාධකයන් දෙකම ගැටළුවක් නොවී පවතින අවස්තාවක පොල් ගෙඩියට අබ සරණය. එසේම ඒ
ඒ කාලයට වැඩිපුර පොල් වැටෙන්නේ කුමන කොටසකද, පොල් වේලී ඇති ගස් මොනවාද
යන්න ඔවුන් හොදාකාරවම දනී. ඒ පමණක් නොව වත්තේ වාසය නොකරන්නකුගේ විස්මයට හේතු විය
හැකි සිදුවීමක් නම් කිසිවකු අතේ පොලයක් තිබුනි නම් එය කුමන ගසේදැයි ටක්කෙටම කියන්නට ඔවුන් දැන
සිටීමයි. එය ඔවුන් අත්දැකීමෙන් ලැබූ හුරුවක් වන්නට ඇත. නැතහොත් සහජ ඥාණය වන්නට ඇත
නමුත් මට නම් කිසි දිනෙක ඇස් මායිමේ වැටෙන පොලයක හෝ මව් ගස කීමට හැක්කේ කණාවටය.
පොල් ඇහිද තබා, අත රැදි කුඩා පිහිය(මෙය
භාවිතා වන්නේ විට කෑම වැනි කටයුත්තකට යැයි කිසිවකුට හෝ සිතිය හැක. නමුත් මෙය වැඩි
පුරම භාවිතා වන්නේ පොල් ඉත්තක් බිමට දැමීමට හෝ වැටී ඇති පොලයක් ඇවරි ගසා ගැනීමටත්ය.
එය වටහා ගැනීමට නම් මේ පිහියක මුවහත පිරික්සා බැලීමට ඔබට සිදුවේ. නමුත් ඔබ එය
කරන්නට බලාපොරොත්තුවන්නේ අයිතිකරුට නොදැනෙන්නට නොවේ නම් ඔබට අනේක වූ බැනුම්
කන්දරාවක් සමග හොද අතුල් පාරක්ද ලැබීම නොවැලැක්විය හැක.) ඉණේ ගසාගෙන වප්පිහියක් හෝ
ඒ තරම් ලොකු පිහියක් ගෙන නැවත වත්තට ගාටන්නේ වැටී ඇති පොල්ලතු ඩැහැගැනීමටය. එහෙත්
මෙ වන විට බිං කලුවර මැකී හොදින් එළියවැටී ඇත. එබැවින් පොල්ලතු ඇහිදීමට ඔවුන්ට
හැකි වන්නේ අල්ප වශයෙනි. මන්ද යත් පොල් ඇහිදීමට(කව්රුවත් බලාගෙන ඇත්නම්) අවසරයක් නැති පොඩි වුන් ඉස්සන් පයින්නාක් මෙන් පනිමින්
පොල්ලතු කපා ගොඩ ගසා ගන්නා බැවිනි. පොඩිවුන්ට පොල්ලතු වැදගත් වන්නේ ඉරටු ගාන්නටය.
එහෙත් මහවුන් පොල්ලතු හොයන්නේ වියන්නටය. එබැවින් දෙපාර්ශ්වයන්ගේ ගැටුම් නැත්තේ
නොවේ. තමන්ගේ දරුවාට කිසිත් නොකීවද අනෙක් අයෙකුගේ දරුවෙකුට කුමක් හෝ වදනකින් පහර
දෙන්නේ ඔවුන් පන්නා දමන්නටය. එහෙත් මෙහ සාර්ථක නොවන්නේ ඒවා උන්නේ කණකට වත්
නොවැටෙනා නිසාය. අවසන සිදුවන්නේ තමන්ගේ පොඩි එකා ඇහිද ගත් පොල්ලතු වලින් අඩුව පිරි
මසා ගැනීමය. එහෙත් මෙයට පොඩි වුන් විරුද්ධය. මන්ද යත් පොල්ලතු වියන්නට මෙන්ම ඉරටු
ගාන්නටද ගන්නේ හොද පොල්ලතු බැවිනි.
පොල් ඉරටු ගෑමද මුදල් සෙවීමේ හොද මගකි. නමුත්
වැඩිහිටියන් මෙයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. හේතුව නම් පොල්ලත්තක් වියා
රුපියල් දහයක් එක්කට ලබා ගත හැකිනම් ඉරටු කිලෝවකට එතරම් මුදලක් ලබාගත නොහැකි වීමත්
ඉරටු කිලෝවකට පොල් අතු කීපයක් ගාන්නට සිදුවීමත් නිසාය. සම්මතය නම් ඉරටු කිලෝවකට
පොල්ලතු පහක් ප්‍රමාණවත් බවය. මෙය වෙනස් වන අවස්තා නැතිව නොවේ. පොල්ලතු පහකින්
කිලෝවක් සැදෙන්නේ පොල්ලත්ත හොද නම් පමණි එනම් පොල්ලත්ත ලොකු එකක් විය යුතුය. එහි
ඉරට්ට තද තැඹිලි පාටකින් යුතුව වියැලී යාමට ආසන්න විය යුතුය. එනම් අමු නොවිය
යුතුය. එවිට පොල්ලත්තකින් කිලෝව සාදා ගැනීම අපහසු නොවේ. එහෙත් මෙවන් පොල්ලතු වල
පොල්කොල කපා දමා මිස මහවුන්ගෙන් බේරා ගැනීමට පොඩිවුන්ට නොහැක. එහෙත් එය සිදු
කිරීමට වේලාවක් නෙමැති වීමත් උන්ට පාසල් යාමට සිදුවීමත් පොල්ලත්ත මඩ වලක ගැඹුරේ
සැගවී යාමට හේතු වේ. ඒ වෙනුවට වෙනත් -ඉරටුව පමණක් ලබාගත හැකි-පොල්ලතු එතැනට ආදේශ
වන්නේ හාස්කමකින් මෙනි. අප විසූ කොටසේ නගරයට පාසල් ගිය වුන් සිටියේ මා හා තවත් කීප
දෙනෙකු පමණි. එබැවින් ගමේ පාසල් ගියවුන් අපගේ ඊර්ෂ්‍යාවට නිතරම ලක්විය. හේතුව නම්
උදේට පොල්ලතු ඇහිදීමට වත් හැකි ඉක්මණින් ගෙදර විත් ඒවා ගාගන්නටත් අපට නොහැකි වීම
නිසාය. ඔවුන්ට පෙර ලක ලැහැස්ති වී නිවසින් පිටත් වන අප පැමිනෙන්නෙද හවස තුනට පමණය.
එහෙයින් අප අතින් ඉරටු ගෑවුනේද මන්දගාමීවය. එවිට ලොතු ප්‍රමාණයක ඉරටු මිටියක් හදා
ගන්නට සෑහෙන දවසක් යාම නිසා ඉරටු වල බර අඩුව යාම වැලික්විය නොහැක. එවිට සිදුවන්නේ
ඉරටු මිටිය කොතරම් විශාල වුවත් අඩු මුදලකින් සැනහෙන්නටය. පොල්ලතු සොයා ඒවායින් කොල් කපා වෙන්කර ගෙන පිහියක් ගෙවෙන
තෙක් පොල්ලතු ගෑවද එවිට අපට සිදුවන්නේ මූණ කජු ලෙල්ලක් මෙන් අඹරවාගන්නටය.
පසු
සටහන--- වචන 800 පනිනවා කියන්නේ ලිවීම නැවැත්වීමට කරන සංඥාවක් ය. එබැවින් අදට මේ
ලිපිය හමාර කරමි. සියල්ල අඩු පාඩුවක් නැතිව කියන්නට යාමෙන් ලිපිය දික්වී රස බාල වී
දෝයි සිතේ... මින් පසු අඩුවෙන් ලියා දැමීම හොද යැයි හැගේ.
පොල් කොළ පැදුරක සැහෙන කාලයකින් නිදාගන්න ලැබිලා නෑ ,දැකලත් නෑ .සැහෙන කාලයකින්
ReplyDeleteඒත් මං ගෙදර ආපුවාම නිදියන්නෙම පොල්කොල පැදුරෙ..
Deleteඒක හුරුවට ගිහින්...
හරි සනීපයි... පොලවෙ සීතලත් එක්ක කලවං වෙච්ච අමුතුම හැගීමක්..
මම හිතන්නේ මේ ලිපිය ලන්කාවේ සෑම දෙනෙක් ම කියවිය යුතුයි. ඇපි සෑම දෙනාම කෙලින්ම හො වක්‍රව පොල් කර්මාන්තේට සම්බන්දයි (අඩුම වශයෙන් මම වගේ පොල් මිල දී ගැනීමෙන්) . ඒ හැමෝටම ඉතාම ප්‍රොයෝජනවත් මෙන්ම අන්තර්ජාලයේ පවා නොමති කරුනු කාරනා මෙහි සඳහන් වෙනවා
ReplyDeleteස්තූතියි..
Deleteඒත් ඔබ කියනා තරම් දෙයක් අන්තර්ගත වේවිද..
කොහොමත් මීළග කොටස දැපුවාම මේක සම්පූර්ණ වෙයි..
ස්තූතියි හිතට දැනුන දේ කීවට
සියලු පොල්... හොද විස්තරයක්..
ReplyDeleteහැම පොලයක්ම නෑ නෙව... ඊළග කොටසෙත් ටිකක් තියෙනව.
Deleteඅදයි මේ බ්ලොග ඇහැ ගැටුණේ. ඔන්න මගේ බ්ලොග් රෝලෙත් එල්ලුවා මේක..
ReplyDeleteපුදුමයි කිව්වා...!!!
Delete@නලින් අය්ය ස්තූතියි...
Deleteඅවන්හලට සාදරයෙන් පිළිගන්නව
@ දේශක තුමා...
Deleteඇයි අප්පේ ඒ...
පොල් රබර්, එක්ක බැඳිච්ච සබරගමුවෙ ජීවිතේ අමුතුම සංස්කෘතියක් විදියටයි මට දැනෙන්නෙ.
ReplyDeleteකතාව මේ ගලාගෙනය යන ක්‍රමේට මං හරිම කැමතියි. දිග මදිත් නෑ වැඩිත් නෑ. "ස්මරණ" ඔබේ බ්ලොග් එකේ පසුබිම් නවකතාව කියලයි මට හිතෙන්නෙ. අනිත් ලිපිත් සමඟ හරි ලස්සනට ගලාගෙන යනවා.
ස්තූතියි මනෝ....
Deleteඔබට දැනෙන දේ ඒ අයුරින්ම කියනවට
දිග වැඩි නං නෑ මහේෂ්,කම්මැලිකමක් අපහසුවක් නැතුව කියවන්න පුළුවනි.ලොකු පොල්වතුවල සිද්දවෙන දේවල් ගැන දැනගන්නෙ ඔබේ කතාවලින්.
ReplyDeleteදිග වැඩි නැති වග කීවට ස්තූතියි...
Deleteහැමෝම වගේ මේ ප්‍රමාණයට කැමතී වගේ...
ස්තූති හැලපෙ
අපිනං පොල්වතු වලට පැන්නෙ කුරුම්බා බොන්න..
ReplyDeleteහප්පේ අපිත් හම්බානෙටකුරුම්බ බීල ඇති...
Deleteකුරුම්බ වැඩි පුර බීපුවාම චූ බර එනවාාාාාාාාා.ආයෙ මදි නොකියන්න
කුරුම්බා මද කන එකත් ශරිර සෞඛ්‍යයට හොදයිලු නේ ,;))))
Deleteහිහි....
Deleteඒත් වතුර බීපුවාම මද කන්න බැරි වෙනවනෙ...
ඒ වෙලාවට අපි කරන්නෙ වැඩිපුර මද කන්න ඕන හිංද එක ගෙඩියකින් එක උගුරක් වගේ බීල මදේ කන එක..
නැත්තං වතුර පිටිංම පලල මදේ කාල දානව...
හැක්....
ජාතික අපරාද
පොල් නේ ආසාවේ බෑ... ඒ දවස්වල නෙවෙයි දැනුත් මං ආසයි පොල් බඩ කන්න.. පොල් ගහක් කපන්නේ කොතැනද විදානේ කොල්ලා එතැන.. හැක් හැක්.. අනික තමයි පැල මද කන එක.. කාලෙක අපේ ඉස්කොලෙ පොල් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කළා වැඩේ අසාර්ථකයි ටික දවකින් පොල් පැල සේරම මැරුණා.. කට්ටිය පුදුම උනා.. හැබැයි විදානේ කොල්ලා සහ පිරිවර නං පුදුම උනේ නෑ..හිටෝපු පොල් ගස්වල පැලමද ටිකට උන දේ තාමත් දන්නේ උන් විතරයි...
ReplyDeleteවටින ලිපියක් මහේෂ්.. අපිට නොදැන සිටී කරුණු ගොඩක් දැනගත්තා...
පොල් කිව්වම මෙන්න මේකත් මතක් උනා එකපාරට...
එම්.එස්. ප්‍රනාන්දු ගේ පොල් පොල්....
ජ ය වේ වා!!!!
ස්තූතියි විදානෙ...
Deleteපොල් ගහක් වැටුනාම කැති පොරෝ ඇරන් දුවන්නෙ පොල් ඇහිදගන්න නෙවී... පොල් බඩේ තලා ගන්න...
අනික් තමා ඒ වගේ වෙලාවක ගෙදරක මී පැණි බෝතලයක් තිබ්බ නං සොරිම තමා...
මේ ගැන මං පස්සෙ කියන්නං කො..
ස්තූතියි...
ජයවේවා
නියමයි බං. ආසාවෙන් කියවන් යන්න පුළුවන් මහේෂ්. මේ විස්තර ටික රත්තරං මචෝ.
ReplyDeleteස්මරණ කලින් කොටස් වල ලිංක් ටික හෝ අවසන් කොටසේ ලිංක් එක පෝස්ට් එක පටන් ගන්න කලින් දාහන්. අලුතෙන් ස්මරණ කියවන අයට පහසුවක් වේවි.
ඔබට වටිනවා නම් මගේ සතුට එයයි...
Deleteබලන්ං මං ලිංක් එකතුකරන විදියක් ගැන...
ස්තූතියි ප්‍රියා
ඉරරු සිද්දකරල විකිනිම.පොලතු වියල විකිනිම.පොල්කොල පැදුරු විවිම,ඉදල් හදල්ක විකිනිම වගෙ කරුමාන්ත අපෙ ගෙදරත් කලා කලක්.
ReplyDeleteඒ ගැනත් කියන්න හිතයි ලිපිය දික් වේද සැකයි
Deleteස්තූතියි දමිත් අය්යෙ
ලපි දිගු විම ගැන හිතන්න එපා.
Deleteඅනේ ලියන්න ලියන්න..
ඔයා මේ ලියන එක ඔය ආස්රිතව බඩරස්සාව කරන මිනිස්සුන්ට උපහාරයක් අවන්
මහේෂ්...දිග වැඩියක් නම් පේන්නේ නැහැ. අද කතාවට එන්න කලින් වෙන ඒවාත් ලියලා නිසා කතාව කෙටිවෙලා. මම නම් වචන 1000-1200 අතරේ ලියනවා. ඒක දිග වැඩිද මන්දා.
ReplyDeleteපොල් වත්තක් ඇතුලේ අපට නොපෙනෙන ඒ උප සංස්කෘතිය කොච්චර දේවල් හිතන්න ඉතුරු කරනවාද කියලා හිතුනා.
ඇත්තටම අරූ අය්යෙ පදුරු තලන එක නං මට තියෙන මහ නරක පුරුද්දක්
Deleteමං බලන්නං කො ඉස්සරහෙ ඒ අඩුව හදාගන්න..
ස්තූතියි මීට වඩා වැදගත් දේ ඉදිරියට දෙන්න පුළුවං වේ කියල හිතනව
පැදුරක්වත් නැතිව නිදාගත්ත යුගය මතක් වුනා.. පොල් කොල එකතු කරන් අපෙ ආච්චි පැදුරු පිරුව ලස්සනට.. මෝවිට දැම්ම හැඩට..අනික් පැදුරු වලට වඩා ඝනකමයි පොල්කොල පැදුර...මට පැදුරු උයන්න බැරි හැටි. :-(
ReplyDeleteඇත්තටම මගෙ යාළූ වෙකුත් ඉන්නව ඔබ කියන අත්දැකීමම ඇති...
Deleteනමුත් අද වෙද්දි ඇ දුක පරදන්න සටන් කරනව..
දෙයියනේ කියල පොල් වත්ත වටේට තිබ්බ හංද පැදුරු වලිං නං හිග වුනේ නෑ...
අපේ අම්ම එහෙම අපූරුවට පොල් කොල පැදුරු වියනව...
මටත් බෑ අනේ
ඒත් වත්තෙ හුගක් අයට පුළුවං
පොල් කොල පැදුරක්?? ඇත්තටම දැකලවත් නැහැ බං..
ReplyDeleteහපොයි...
Deleteබලමු පොටෝවක් ගහල දාන්න
මම දැකලත් නෑ ඇත්තටම
Deleteහිහි...
Deleteදැන් නම් මට පොල් කොල පැදුරක් පොටෝවක් ගහන්නම වෙනව...
ඊළග කොටසින් දාන්නං කො
මමත් කියන්නේ දිග වැඩියක් නැහැ. ලිපිය හොඳනම් දිග දැනෙන්නේ නැහැ නේ. කොච්චර දිගට ලිව්වත් අපි බලනවා ඔන්න :)
ReplyDeleteහිහි... ස්තූතියි සයුරි අක්ක...
Deleteකියවන්න ලේසි තරම් ලියන එක තමා මගෙ අරමුණ... එහෙමවුනාම මතකයෙ රැදෙනව වැඩී
පොල් කොළ පැදුරු දැකල නැහැ. පන් පැදුර නම් සනීප බව නම් දන්නවා.. :)
ReplyDeleteමගේ බ්ලොග් එකේ ඔබ එක වුනාට මට බ්ලොග් කියවන්න ලැබෙන්නෙ ඉතා අඩු කාලයක්..
සමාව භජනය කරන්ටෝ...
පන් පැදුර වගේමයි...
Deleteවෙනසකට තියෙන්නෙ පන් පැදුර මැද රටා එකතු කරනඑකයි පං වලිං වියන එකයි තමා...
පන් පැදුර වගෙම පොල් කොල පැදුරත් සනීපයි නෙව..
වේලාවක් ඇති විදියට ඇවිත් බ්ලොග් කියනව ව නෙව..
ඒ මදෑ...
වැඩ රාජකාරි ඇති අය ගැන අහිතක් හතන්න බෑ නෙව
හරිම රසවත්... කියවන්න ආස හිතෙනවා. මාගල කියන්නේ පොල් කොල පැදුරට ද??? වී වෙලන්නයි ගන්නෙ අපේ පළාතේ???
ReplyDeleteනැහැ නෙවැ...
Deleteමාගල් කියන්නෙ තල් කොල වලින් වියන වඩා විසාල පැදුරු ජාතියකට...
ඒකක් සාමාන්‍යයෙන් දෙන්නෙක්ට විතර නිදියන්න ලොකුයි නෙව...
පොල් කොල පැදුරු වෙනයි...
ඒකට ගන්නෙ පොල් කොල... සාමාන්‍යයෙන් අඩි දෙකහමාරක් තැනක් විතර පළල
මාගල් භාවිතා වෙන්නෙ වී වේලන්නම තමා
ස්මරණ පලවෙනි කොටසෙ ඉදන්ම කියවල හිටිය සේරටම කළියෙන්.හැම කොටසක්ම රසවත්.
ReplyDeleteඋඩින් පල්ලෙන් දැනන් හිටිය ගොඩක් දේවල් ගැන විස්තරාත්මකව දැනගත්ත මේක නිසා.
දිග වැඩියක් නැහැ මහේෂ්.කියවන්න කියවන්න කැමති හිතෙනව.
පොල් අතු විවීම ඉරටු ගාන එක අපේ ආච්චිලත් කලා .පොල් කොල වලින් පැදුරු වට්ටි ඉදහිට තාමත් වියනව.
අපේ පැත්තෙ නං හැම ගෙදරකම පොල් කියන වචනෙ ගෑවුණ මොනවම හරි තියෙනව..ඒක අපේ මිනිස්සුන්ගෙ ඇගට බද්ද වෙලා...
Deleteඔබට මෙයින් පලක් ප්‍රයෝජනයක් වී න් ඊට වඩා සතුටක් නෑ...
ස්තූතියි
වචන අටසීයෙන් කියන පුළුවන් කතාවක්ද බන් මේ, කම්මැලිකම නැතුව ලියහන්
ReplyDeleteහිහි...
Deleteමං කම්මැලි නැතෝ
මේ ටිකක් දිගින් වැඩි වුනත් වටිනා ලිපියක්. වරක් කියෙව්වා ආයෙමත් වෙලා අරගෙන හීන් සැරේ කියවන්ට තීරණය කළා
ReplyDeleteකියවලාම කියන්නකො මොකද්ද හිතුනෙ
Deleteමොනවද අඩුපාඩු
තව මොනවද එකතු වෙන්න ඕනෙ කියල
ඕන විවේචනයක් මං භාරගන්නව
ස්තූතියි මෙහෙ එනවට
රබර් ගැන ලිව්වත්, පොල් ගැන ලිව්වත් ඒ පිටිපස්සේ තියෙන්නේ ජීවන අරගලය නේද බං? මේක දිග වැඩි නෑ කොහෙත්ම.
ReplyDeleteඒක ඇත්ත...
Deleteඒත් මේ අස්සට රබර් ආවොත් කතාව වෙනස් වෙලා අච්චාරුවක් වෙනව..
ඒකයි නැවැත්තුවෙ..
ඊළග සැරේ ඉදන් මේ ගාණ තියාගන්නං...
ස්තූතියි...
ලිපිය දිග නෑ මහේෂ් තව එකතු කරන්නත් තිබුනා. ජේද තව ටිකක් පොඩි කලා නම් කියවන්න පහසුයි. පොල්අත්ත නිසා ජීවත් වන මිනිස්සු ගැන යම් දැනුවත් කමක් ලැබුනා මේ ලිපියෙන්. මගේ කුඩා කාලය ගෙවුනු පරිසරය තුල මෙවැනි සිදුවිම් ඇස ගැටී නෑ.
ReplyDeleteම්ම් මං ඒ ගැන සලකා බලන්නං...
Deleteඑහෙම නං පොත්වතු ගැන මං වෙනම ලිපියක් ලියන්නං කො
/සියල්ල අඩු පාඩුවක් නැතිව කියන්නට යාමෙන් ලිපිය දික්වී රස බාල වී දෝයි සිතේ... /
ReplyDeleteසියල්ල අඩුපාඩු නැතිව ලියනවා කියලා බලාපොරොත්තුවෙනුයි කියවන්නේ.මේ පොල් සංස්ක්රුතිය මට සම්පුර්ණයෙන්ම ආගන්තුකයි.පොල් සංස්ක්රුතිය තියෙන්නේ රටේ පොඩි ප්‍රදේශකනේ අවන්.ඒ නිසා විස්තර කරලා ලියන එක වැදගත්.
අනික ඔයා පාවිච්චි කරන වචන කෙළින්ම වත්තේ භාෂාව
පොලය,පාං කලුව.පොලක් ඇවරි ගසා ගැනිම,ටැක් ගැහෙනවා,ටක්කෙටම
මේවා මගේ වචන පොතට යනවා.
අනික අවන්,දිනපතා පුරුද්දක් විදියට මම බ්ලොග් ලියන්නෙ කියවන්නෙ නැහැ.මම නම් ලියන්නේ පුද්ගලික බ්ලොග් එකක්.පඩියකට රස්සාවකට කොරනවා නෙමෙයි.ඒ නිසා හැකිවිට කිපයක් හරි පබ්ලිෂ් කරදානවා.නැතිකොට සතිය හමාර සමහර විට මාසෙ හමාර පැත්ත පලාතේ නැහැ.
හැබැයි ඉතින් මගේ බ්ලොග් එකේ මේ වගේ වැදගත් දේවල් ලියවෙන්නෙ නම් නැහැ.
ඉරටු ගන්නේ ඉදල් හදන්නද?