Sunday, October 15, 2017

රෝස පාට - 01

එයා බලන් හිටිය. ඈත අහස දිහ.. ගොඩක් වෙලා.. කොච්චරක් වෙලාවක් බලන් හිටියද කියල මට මතක නැතත්. එයා ගොඩක් වෙලා අහස දිහ බලන් හිටිය. මාත් මුලින් මුලින් එයා බලං ඉන්න ඉසව්ව දිහ බලන් හිටිය. වැඩිම වුණොත් විනාඩියක් නැත්තං දෙකක්. ඊ‍ට පස්සෙ එයා අහස දිහ බලන් හිටිය මුළු වෙලාවම මං බලන් හිටියෙ එයාගෙ මූණ දිහ. ඒක අහස දිහ බලන් ඉන්නවට වඩා ලේසියි. ඊටත් ලස්සනයි. අහසෙ තියෙන වලාකුළු වල හැඩ වෙනස් වෙනව වගේ එයාගෙ මූණෙ ඉරියව් එකින එක වෙනස් වෙද්දි, මූදු හුළගට ඇගෙ කෙහෙරැළි විසිරෙද්දි ඒ මූණ දිහ බලං ඉන්න ආස හිතෙනව.   
හදිසියෙම ඈ හඬ අවදි කරා.. 
ලස්සනයි.. ඒක කාටවත් දෙන්න බැරි මහ අමුතු ලස්සනක්. හැම දෙයක්ම සර්ව සම්පූර්ණ  හරි අමුතු ලස්සනක්… 
මම ඈ දිහ බලං හ්ම් කීව… 
හදිස්යෙම ඈ මං දිහ හැරිල බැලුව…  මට ඒ මූණෙන් ඇස් අහකට ගන්න බැරි වුණා… තත්පර දහයක් විතර එක දිගට ඈ මං දිහ බලන් හිටිය.  
මං කීවෙ මොකද්ද කියල තේරුණාද… 
මම උරිස් ගැස්සුව.. නෑ .. ඒ තමයි ඒකෙ සරල තේරුම.. කොහොමත් මට ඈ කියන දේවල් තේරුණේ නැ.. ඒක හැමදාම එහෙමයි… එහෙමයි කියල මං ඒ ගැන හිතන්න ගියෙ නෑ… මොකද ඒ වගේ දේවල් හිතන්න එක්කෙනෙක් හිටියම ඇති. ඒව අහන්නත් කෙනෙක් ඉන්න එපැයි. නැත්තං දෙන්නම කතා කරන්න ගත්තම දෙන්නම එක විදියට හිතන්න ගත්තම  එපා වෙයි. මට එහෙමයි හිතිල තිබ්බෙ. ඊටත් හිතෙන දේවල් බෙදාගන්නත් කෙනෙක් ඕනි නෙ. දෙන්නම හිතන්න ගත්තොත් කෝ කතා කරන්න කෙනෙක්.  අනික මං කැමති වුණේ ඈ මටත් වැඩිය විසාලෙට දකින්න. එක මහ පුදුම ආසාවක්. ඒ ගැන ඈ එක්ක කිව්ව දවසක ඈ කිව්වෙ,  

පිස්සුද.. පිරිමියෙක් කියන්නෙ උප්පත්තියෙන් ම ගහක්.. ගැහැණිය ඒ වටේ එතෙනව. පිරිමියට ලස්සනක් දෙනව. සවියක් වෙනව. හරියට එක පාරින් හිතට වදින  කවියක් වගේ ජීවිත කාලෙම බඳාගෙන ඉන්නව. ඒ ගෑණුකම. පිරිමින්ට බෑ ඒ වගෙ වෙන්න. හිතක් මුදුව පිරිමදින්න. ඇස් වලින් කතා කියන්න. ඕනම වෙලාවක හිත රිද්ද ගන්න.  පිරිමියෙක් කොහොමද එහෙම වෙන්නෙ.. ගහක් වගෙ ගෑණු නං ඉන්නව… ඒත් උංගෙ කිසිම ලතාවක් නෑ.. නිකං පොල් ගස් වගේ.. පොල් ගහත් හැම දේකටම ගන්න පුලුවං වගේ හැම දේටම ඔට්ටුයි තමයි ඒත එතන ගෑණු කමක් නෑ. ලස්සනක් නෑ.  

මට ඒ කිව්ව දේ වලින් බාගයක් වත් තේරුණාද මංද. මං මෝඩයි. මහම මහ මෝඩයි. ඒත් මට බෑ ඇගෙ හිත රිද්දන්න. ඉතිං මම කට වහගෙන ඈ කියන ඒවට එකඟ වෙනව වගෙ හ්ම් කියනව හා කියනව.. ඈ මන්දස්මිතයකින් මට දමල ගහනව. ඒත් මට ඕන ඇගෙ හෙවණෙ ඉන්න. ඒ සුවඳ විඳින්න.  
ඇයි පිරිමියෙක් ට බැයිද ගෑණු හිතක හෙවණැල්ල යටට වෙලා ඉන්න. ඒ උණුහුමට පූසෙක් වගෙ ගුලි වෙලා ඉන්න.  
මම එහෙම හිතුව විතරයි 
කියන්න ගියෙ නෑ.. මට ඕන වුණේ නෑ එහෙම විකාර කියවල එයාගෙ අර ලොකු වෙන ඇස් දිහ බලන්න. මට ඕන වුණේ අර නිදහසේ හීනි ඇස් වලින් හිනාවෙන ඇයව බලන්න. එයාගෙ ඇස් ලොකු වෙනවට මම හරිම අකමැතී. එතකොට එයා ජපන්  බෝනික්කෙක් වගේ.. මං ජපන් බෝනික්කන්ට කැමති නෑ. උං හරි කැතයි කියලමයි හිතුනෙ. පොඩිකාලෙ මට හි⁣ටියෙ බෝනික්ක විතරයි. ඒත් මට විස්වාසයි එතන එක ජපන් බෝනික්කෙක් වත් හිටියෙ  නෑ. හරිම ඈලි මෑලි සුදුමැලි ඒත් ලස්සන බෝනික්කො හිටිය. හුගත් වෙලාවට අනික් අයට හරි කැත. ඒ්ත් මට උංව හරි ලස්සන වුණා. ඒ මම. 
මම කොල්ලෙක්.. 
ඇයි මට බැයිද බෝනික්කො නළවන්න  
කෙල්ලන්ට විතරද බෝනික්කො නළවන්න පුලුවන්.. ඇයි එහෙනං කෙල්ලො පිස්තෝල ඇරං සෙල්ලං කරන්නෙ.. කෙල්ලන්ට පිස්තෝල ඇරං සෙල්ලං කරන්න හොදයි.. අපි බෝනික්කෙක් ඇල්ලුවොත් විකාරයක්.. ලැජ්ජාවක්.. පුදුම ලෝකයක් නේ මේක.. 
මං මොනවද මේ හිතන්නෙ .. එයා  මම ළඟ ඉද්දි කොහෙවත් යන බෝනික්කෙක් ගැන හිතන්න මට පිස්සුද... 

ඒක නෙමෙයි.. ඇයි ඔයා රෝස පාටට ඔච්චර ආස.. ඒක මහ ගෑණු පාටක් නේ... 
එයා හදිසියෙන්ම මගෙ දිහට්ට විස පොවපු   ‍තෝමරයකින් දමල ගැහැව්ව... ඒ පාරෙ සැරට වෙන්න ඇති මගෙ ඇස් දෙක නිලංකාර වෙලා  ගියා... 



ඉතිරි පාට පස්සෙ ගාමු...

Saturday, June 3, 2017

එයා මැරුණෙ නෑ.

                                              මං යනව... කොහෙ හරි අන්තර්ධාන වෙලා වගේ ඉදල එක පාරටම හුඟ දවසකට පස්සෙ මාව හම්බ වුණ පළවෙනි දවසෙම ඔහු කිව්ව වචනය. ඒත් ඒ ගැන හිතන්නෙ නැතිවම  කොහෙද..? මං ඇහුවෙ එච්චරයි. දන්නෙ නෑ තාම. ඒත්  මාව එක්ක යන තැනට... කවුද.. ? ඔහු හිනාවුණා. ඒක හරි ගුප්ත හිනාවක්.. ඔයාට තේරෙන්නෙ නෑ... ඒත් මං යන්න ඕන.. ඔයාට ඕන මාව අතාරින්නද.. එහෙම ඕන නං කියන්න.. ඔයා වෙනුවෙන් මගෙ හිතේ අනන්ත ආදරේ තියෙනව ඔව්.. ආදරේ වෙනුවෙන් ආදරේ අත්අරින්ඩ තරම් ආදරේ තියෙනව.. ඔයා කවදාවත් තේරුම් නොගත්ත තරං. එහෙනම්... ඔහු මං දිහාවෙ බැලු‍වෙ පුදුම බැල්මක්.. ඒ විදියට මං දිහ කවදාවත් බලල නෑ ඒක මට කියන්න පුලුවන් ඕන තැනක.. අත්අරින්න... ඔහු කිව්වෙ එච්චරයි.