Wednesday, January 27, 2021

බාණ කුසුම් - කත්‍යානා අමරසිංහ


           ගන්තුකයා ගමට එන්නේ හදිස්සියේම ය. පිටගංකාරයෙක්  වශයෙන් ගමේ මිනිසුන් ඔහු හැඳින්වූ අතර ගමේ මිනිසුන් හා පයුරු පාසානයක්  ඔහුට තිබුණේ නැත. ගමට ආ  දවසේ  සිටම පන්සලේ හාමුදුරුවනුත් පසුව අහම්බෙන් ඔහුගේ ප්‍රේමයෙ හි බැඳෙන  නිබ්බුතා ත් හැරෙන්නට ගමේ මිනිසුන් සමඟ පයුරු පාසාන ඔහුට අවශ්‍ය වූයේ ද නැත. හදිසියේ ආ ලෙසින්ම නොකියාම නික්ම යන ආගන්තුක යා නිබ්බුතා දෙස බලාගෙන මැවූ ලී කැටයමක් හැරෙන්නට ඔහුගේ මතක මාත්‍රයක් පමණක් ඇගේ හද තුළ රෝපණය කර නික්ම යන්නේ  පරම්පරා කිහිපයකට කතා බීජ වපුරමිනි. 

                   මව ගේත් පියා ගේත් වෙන්වීමෙන් තමන්ගේම ලෝකයක හුදකලා වෙන තාන්‍යා සිය මිත්තණිය ගෙන් උරුම වන නිරුවත් නාරී දේහයක ලී කැටයමක් හේතුකොටගෙන සිය ජීවිතය උඩු යටිකුරු කරගනී. පවුලේ අතීතය පිළිබඳ කුහුලකින් සිය ගම බලා යන ඇයට  අහම්බෙන් හමුවෙන විදේශීය තරුණයෙකු ට ප්‍රේමයෙන් බැඳුණ ද සිය සිතැඟි ඔහු හා ඉටු කරගන්නට නොහැකි වූ තැන ඇය ඇය ඔහු හා බැඳෙන්නේ කැමරාව හරහා ඔහු ට ඇයව අවැසි අයුරු හසුරවන්නට දෙමිනි. 


                කත්‍යානා අමරසිංහගේ බාණ කුසුම් නව කතාව   කියවා නිම කළා පමණය. මේ සටහන ලියා අවසන් කරන්නට ඒ නිමාව ම හේතුභූත වූ බව මම සිතමි. මහනුවර රාජධානි සමයේ ජීවත් වූ නිබ්බුතා ද නූතන ශ්‍රී ලංකාවේ ජීවත් වන තාන්‍යා ද යන දෙදෙනාගේ ජීවිත කතාව හිස් කඩදාසියක ඇඳී සමාන්තර රේඛා දෙකක් පරිද්දෙන් එක හා සමාන යැයි කියා කියන්නට පුළුවන. ආගන්තුකයෙක් නිසා ජීවිතය උඩු කරගන්නා නිබ්බුතා මෙන්ම ආගන්තුකයකු නිසා වෙනස්වන තාන්‍ය ද උරුමකම් කියන්නේ එකම ආකාරයේ කතාවකට ය. ආගන්තුකයා ගෙන් උරුම වන ලී කැටයමක් සමගින් තනිවන නිබ්බුතා ද ආගන්තුක විදේශීය තරුණයාගෙන්  ලැබෙන පෙන් ඩ්‍රයිව් එක තුළ ඇති ඇගේම සේයාරූ ද  සහිතව තනිවන තාන්‍යා ගේ ද කතාවන් හැඩතල වර්ණ රටා වෙනස් වුවත් දෙකක් නොව  එකක් බව මා සිතමි. නිබ්බුතා උරුමකර යන ලී කැටයම් හේතු  කොටගෙන ජීවිතය වෙනස් කරගන්නා තාන්‍යා ද  ඒ ලී කැටයම මැවූ අය නිසා ජීවිතය වෙනස් කරගන්නා නිබ්බුතා ද යන දෙදෙනාම දෙදෙනෙක් නොව එක් අයෙක් බව කතාව කියවා ගෙන යාමේ දී සිතෙ යි.  මේ දෙදෙනාගේම ජීවිත කතා එකට ගැට ගසන හුය  නිරුවත්  ලී කැටයමයි.

                     අතීත සහ වර්තමාන කතා දෙපුවත ක්  ලෙස ගලා යන බාණ කුසුම්  හි නිබ්බුතා ගේ ඉරණම වර්තමාන කතාවේ අනුලා මැණිකේ ගේ හඬින් අපිට අසන්නට ලැබුණත් වර්තමාන කතාවේ තාන්යාගේ ඉරණම කෙසේ වී දැයි ඉඟියක් හෝ කතාව තුළ සපයා තිබුණා නම් අගනා බව සිතමි.  අතීත කතාව එයටම සරිලන මටසිලිටි  බස් වහරකින් ගලා යන අතර නූතන කතාව වර්තමානයට ඔබින ආකාරයේ විසිරී ගිය කතා රටාවකින් සමන්විත ය.  භාවනාවක් ලෙසින් කියවාගෙන යා හැකි අතීත කතාව වර්තමාන කතාව බිඳෙන තැන දී පාඨකයා ව උස්සා පොළොවෙ ගැසීමක් වැනි හැඟීමක් දැනෙන්නේ එක්වරම සිදුවන භාෂා රටාවේ වෙනස් කම නිසාය. එය අතීතයෙන් වර්තමානයට පාඨකයා ගෙන ඒමට කතුවරිය විසින් සිදුකළ හොඳම උපක්‍රමයක් බව සිතමි.

                    අතීත සහ වර්තමාන කතා දෙක කියවාගෙන යාමේදී එහි යටිපෙළෙහි  සැඟවී ඇති ඒ ඒ කාලයට උචිත දේශපාලනය, කුල වාදය, සමාජීය හැසිරීම, ආගම ආදී සියුම් කරුණු පිළිබඳව කතුවරියා විසින් පාඨකයා හට සියුම් ධාරණාවක් ලබාදෙන්නේ කතාවේ රසයට හානියක් නොවන පරිද්දෙනි. කුලවතුන් බලවතුන් දුප්පතාට කුලහීනයා ට අනුකම්පාව යම් අවස්ථාව ක දක්වයි නම් ඒ තම පැලැන්තියේ හෝ තමන් ගේ වාසියට පමණක් ම මිස  අනුකම්පාවෙන් හෝ කරුණාවකින් නොවන බව කතුවරිය අපිට කියයි.


                 අතීතයේ දවසක නිබ්බුතා ද වර්තමානයේ දවසක තාන්‍යා ද පිරිමින් අභිමුවේ හැකිලී යන්නේ ඔවුන්ගේ හද තුළ නැතහොත් ඔවුන්ගේ සන්තානය තුළ නිර්මාණය වී ඇති පිරිමියා හමු නොවූ නිසා  නැතහොත් අධිපතිවාදී පුරුෂ වාදයට එරෙහිව ඔවුන්ගේ ඇති  නිහඬ  විරෝධය කියාපාන්නට යැයි සිතේ.  


                    බෙහෙවින් ඉවසීමකින් අවැසි තොරතුරු ද නිසි ලෙස සපයා ගෙන අපූරු ලෙස රචිත ප්‍රබන්ධය ක් ලෙස කත්‍යානා අමරසිංහ ගේ  බාණ කුසුම් හැදින්විය හැක. 


කෘතිය - බාණ කුසුම් 

කර්තෘ - කත්‍යානා අමරසිංහ

ප්‍රකාශනය - සූරිය ප්‍රකාශකයෝ

මිල - රුපියල් 650 

පිටු 230

ඇගයීම - 4.5/5

No comments:

Post a Comment