Tuesday, March 3, 2026

අනවශ්‍ය ප්‍රශ්න නේ.! - The Burden of Borrowed Chaos

              
කල්පනා කරන්න ඕනවට ප්‍රශ්න දාගන්නවද මංද

          අපි එකාකාර ආසාවන් තියෙන මිනිස්සු නෙව. නේද.? අන්න ඒ වෙනස හින්ද සහ මිනිස්සු විවිධාකාර හින්දනේ අපිට එකිනෙක හා සහජීවනය නැත්නම් (community living) (වචනේ හරිද දන්නෑ) interesting වෙලා තියෙන්නේ. ඒත් සමහර වෙලාවට මිනිස්සු කරන සමහර දේවල් ගැන මට තියෙන්නේ, මේ මොන බුල්ෂිටක්ද වගේ හැඟීමක්. I am not being judgemental (මම අනෙකාව විනිශ්චය කරනවා නොවේ) හුදෙක්ම මාගේ මනෝ විකාරී ප්‍රශ්නකාරී හැඟීමන් ප්‍රකාශ කරනවා පමණයි. 

                මේ කියන්න යන දේ කියන්න ඕන කියල මට හිතුණෙ අපේ අසල්වැසියන්, අපේ අවට ජීවත් වෙන අය කෙරේ අප දක්වන ආකල්පය කොයි තරං පුදුමද කියල පෙන්නන්න. මොකද අපි නිතරම අනුන්ට අපේ ඔළුව එයාල පැත්තට හරෝනව එයාලගෙ කුණු අපේ ඔළුවට දාන්න කියල. එයාලගෙ නරක හැසිරීම්, විපරීත ප්‍රතිචාර, එයාල ඇති කරන  විවිධ අවුල් ජාල වලට අපේ ඔළුව අවුල් කරගන්නව.  ඒක නිකං අපි අපේම හිත් (Minds කියන එකට මීට වඩා සුදුසු සමාන වචනයක් කියනවද ) එයාලගෙ නරක පුරුදු එකතු කරන ඩස්බින් එකක් කරගෙන වගේ. (ඇත්තටම මට කියන්න ඕන දේ හරියටම කියවුණාදත් සැකයි)         

                    පහු ගිය දවසක මෙහේ, ඒ කියන්නේ මම මේ වෙනකොට ජීවත් වෙන ප්‍රදේශයේ උපන්දින සාදයක් තිබුණා. ඒ සාදය පැවැත්වුණේ දරුවෙකුගේ උපන්දිනයක් නිමිතිකොට ගෙන. ඒ දරුවාගේ අම්මයි ඒ දරුවයි විතරයි ගෙදර ඉන්නේ. පියා (සුළු පියා) පිටරට. ඔහු තමයි සාදයට වියදම් කළේ. මේ සාදයට ගමේ බොහොමයක් දෙනෙකුට වගේම ‍ප්‍රදේශයේ ප්‍රභූන් කිහිප දෙනෙකුටම ආරාධනා කරලා තිබුණා වගේම, ආහාර මත්පැන් සහ සංගීතයට බොහෝ සෙයින් වියදම් කරලා තිබුණා . එක එක ඕපදූප කාරයෝ කියපු විදිහට බොහොම බර වියදමක්. මත්පැන් උනත් බොහොම හොඳම බ්‍රෑන්ඩ් එකකින් තමයි තිබුණේ. දැන් ඔයා මගෙන් අහයි උඹට පාන්ද බන් කාලා ඇදලා හිටියට කියල. නැත්තං උංට චූන් නං උඹට මොකද කියලා. ඇත්තටම කාර් එක එයාලගෙ නං පෙට්‍රල් ගහන්නෙත් එයාලා නං රියදුරක් එයාලගේම නං මට නං වැඩක්ම නෑ. මට එකම එක ගැටලුවක් ආවා. ඒ තමයි ඒ අම්මයි දරුවයි ඉන්න නිවස නිසි ආකාරව නිම කරපු නිවසක් නෙවෙයි. බ්ලොග් ගල් වලින් අර්ධ වශයෙන් බැඳලා සෙවිලි තහඩු තාවකාලිකව හෙවිල්ලලා තිබෙන ඒ නිවසේ ඉදිරි කොටසෙ බවුන්ඩේසම (Foundation) විතරයි තියෙන්නේ. මට ආපු එකම ප්‍රශ්නේ අර නිවසේ වැඩකටයුතු යම් ප්‍රමාණයක් අවසන් නොකර ලක්ෂ ගණනින් ගණනය වෙන මුදලක් වියදම් කරලා උපන්දින සාදයක් ගත්තු එක. ලංකාව කියන්නේ පළමු ලෝකයේ රටක් නම් මම මේ ගැන නොහිතයින්ට ඉඩ තිබුනා. නැත්නම් මම ඕක දැක්කත් නොදැක්කා වගේ එන්න ඉඩ තිබුන. නමුත් තුන්වෙනි ලෝකයේ රටක් විදිහට ආවස්ථික පිරිවැය බොහෝම ඉහළ රටක් විදිහට ඒ අවස්ථාව මට සැබැවින්ම ප්‍රශ්නකාරී මොහොතක් විදිහට තමයි පෙනුනේ.

              අනිත් කාරණාවත් ඊට ටිකක් සමානයි ද කියලා මට හිතෙනවා. ඔයාලා දැකලා ඇති සාදයකට, බණ ගෙදරකට, නැත්තං වෙනයම් ආකාරයේ සුවිශේෂී අවස්ථාවකට, ඒ කටයුත්ත සිදුවන අදාල නිවසට අහල පහළින් එන හිතවතුන්ට, නෑදෑයන්ට ආහාර පිළිගන්වනවා. මේ වෙනකොට ඒ ආහාර පිළිගැන්විල්ල එක්තරා ආකාරයක තත්ත්වය පෙන්වීමේ වේදිකාවක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් බුෆේ එකක් දාලා තමයි තමන්ගේ හිතවතුන්ට, ඥාති හිතමිත්‍රාදීන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්නේ. මේ වගේ වෙලාවක මම දැකලා තියෙන දෙයක් තමයි තමන්ට අනුභව කරන්න බැරි තරමේ කෑම පිඟානක් බෙදාගෙන නොකාම විසිකරල දානෙක. මේ ළඟදි, මම සහභාගී වුණ මංගල උත්සවයකදි මම මේක උදේ තේ මේසයේ ඉඳලා අත්දැක්කා. කිරිබත්, කේක් ඒ වගේම ලොකුම කෙහෙල් ගෙඩියෙ ඉඳලා ආස්මී වගේ විසිතුරු කෑම වර්ග බොහොම පොඩි තසිමක තියෙගෙන ගිහිල්ලා මේසවල වාඩිවෙන හිතමිත්‍රාදීන් මේ ආහාරපාන වලින් බොහොම කුඩා කොටසක් පමණක් අනුභව කරලා අර සම්පූර්ණ කෑම ප්‍රමාණයම ඉතුරු කරනවා. සමහර වෙලාවට ඒ බෙදාගන්න කැවිලි පෙවිලි සමහරකට අතවත් තියල නෑ. ඊට පස්සේ ඔන්න එනවා දිවා ආහාර වේලාව. ඒ වෙලාවටත් බුෆේ එකේ තියෙන සියලූම කෑම වර්ග හැකිතාක් තමන්ගේ පිඟානට කොත ගහලා බෙදාගන්නවා. ඒ බෙදා ගන්නේ කන්න පුළුවන් කමකටම නෙවෙයි. ඒ බෙදාගන්න ආහාර ප්‍රමාණයෙනුත් කටවල් කිහිපයක් කාලා අර ඉතුරු කොටස එහෙම්මම මේසය උඩ ඉතුරු කරලා නැගිටලා අත සෝදන් කරල dessert table එකට යනවා. ඒ ඩෙසර්ට් මෙනු එකටත් අර සන්තෑසියම තමයි.  

                මේ වගේ කරපු කෙනෙකුගෙන් මම නිකමට ඇහුවා ඇයි ඒ තරම් කන්න බැරි ප්‍රමාණයක් ඔයා බෙදා ගත්තේ ඇයි කියලා. එතකොට එයා මට දීපු උත්තරෙන් මම ඇත්තටම හෙල්ලිලා ගියා කියලා කිව්වොත් හරි. මගේ ප්‍රශ්නයට පිළිතුරක් විදිහට බොහොම සැහැල්ලුවෙන් හිනා වෙවී එයා දුන්න උත්තරේ තමයි, මේ වගේ වෙඩින් එකකට දවසකුත් නාස්ති කරගෙන ඇවිල්ල පුද පඬුරු විදිහට බොහොම ඉහල මුදල් ප්‍රමාණයකුත් දීල මේ තරම්වත් අලාභ හානියක් නොකර ගියොත් ඒක එයාගේ හිතට හරි නෑ කියලා. උතුර දකුණ මාරු වෙන්නැතිද ඉතිං.

                 මෙතනට අදාල නොවුනත්, මීට සමාන ඒත් බොහොම පිළිකුල් සහගත කතාවක් කියන්ඩ මට හිතුනා. එක දවසක මත්පැන් සාදයකට මට ආරාධනාවක් ලැබුණා. එහෙම අවස්ථාවල් ඒ තරම් සුලභ නොවන නිසා මාත් බොහොම කැමැත්තෙන් ම එම අවස්ථාවට සහභාගී උනේ, මත්පැන් කියන දේ මට ආගන්තුක නොවුනත් අර වගේ අවස්ථාවක සහභාගී වන යම් පුද්ගලයන් දැන හඳුනා ගන්න, ආශ්‍රය නිස්‍රය කරන්න ලැබෙන අවස්ථාව දුලබ නිසා. කොහොම හරි මේ සාදයෙන් මම බලාපොරොත්තු වුණ දේ නොලැබුණා වගේම ම කවදාවත් නොහිතපු ආකාරයේ අප්‍රසන්න සිදුවීමකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතන පුද්ගලයෝ කිහිප දෙනෙක් හිටියා වගේම බොන්න තිබුන බ්‍රෑන්ඩ් එකත් විදේශීය මත්පැන් කියන කැටගරි එකට අයත් වෙන බොහොම උසස් වර්ගයේ මත්පැනක් කියලා අපි කියමුකෝ. සාදයේ අවසාන අර්ධයේ අවසාන මොහොතට ළං වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක එක්තරා පුද්ගලයෙක් බීම මේසයෙන් නැගිටලා පැත්තකට ගිහිල්ලා තමන්ගේ ඇඟිලි ආධාරයෙන් බලහත්කාරයෙන් ම වමනය කරලා ස්වල්ප වේලාවකින් ආපහු ඇවිත් අර බීම මේසේම ඉඳගෙන ආපහු බොන්න පටන් ගත්තා. පස්සෙ දැනගත්ත විදිහ⁣ට ඒ බොන්න තියෙන ඕනකමටම හිතා මතා කරගන තියෙන්නෙ. ඇත්තටම මට ඒ වගේ ඇටිටියුඩ් එකක් ගැන හිතාගන්නවත් තවම බෑ. ඒ වගේම ඒක මට එදා දවසෙ දි පළමු වතාවට අත්විඳින්න ලැබුණට සමහර අයවළුන් අතර සාමාන්‍ය දෙයක් බව දැනගන්න ලැබුණා. 

              මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න රාශියක් මගේ ඔළුවේ පැත්තක ගොඩගැහිලා තියෙනව ඇත්තටම ලිපියක් නෙවෙයි ලිපි සීරීස් එකක් ලියන්න තරම් මේ වගේ විකාර දේවල් තියෙනවා කියලා කියන්න පුළුවන් 

        දැන් ඔයාලට වගේම මටත් හිතෙන දේ තමයි කරන්න අච්චර වැඩ තියදදි මේ වගේ කුණු කන්දල් ගැන කල්පනා කර කර කාලෙ කන්නෙ මොටද කියලා. ඇත්තටම මටත් ඕකම හිතුනා. ඔයාලට මොකද හිතෙන්නේ. කමෙන්ට් එකක් දාගෙනම යන්න.


1 comment:

  1. එක හුස්මට කියෙව්වා. විකාර කියල හිතුනෙම නෑ, හොඳ සමාජ නිරීක්ෂණයක්. කෙමෙන්ට් වැටුනාම ආයෙ ඉන්නම්.

    ReplyDelete