Monday, July 6, 2020

සාගින්න

               ඒ බස් නැවතුම ළඟ වූයේ  මාර  ගසක් පමණි.  කිනම් හෝ හේතුවක් නිසා දින ගණනාවක් තිස්සේ මුළු නගරයම පාළුවට ගිහිල්ලා ය. ඉඳහිට වාහනයක් දෙකක් යනවා ඇසුණත් ඔහු ඒ පිළිබඳ විපරම් කරන්නට නොගියේ ආණ්ඩුවේ මහත්තුරුන්ගේ ගුටියට බය හින්දාය.
කාකි පාට ඇඳුම් ඇද ගත් මහත්තුරුන්ගේ කිසිම මහත්තුරු ගතියක් නැති බව ඔහු ඉගෙනගෙන තිබුණි. මාර ගසේ අත්තක වසා උන් කපුටෙක් මහ හඬින් කරවු කරන්නට  වූයෙන් තවත් කපුටන්ගේ කරවු නාදයන් ඈතින් ඇසෙන්නටත්, එකා දෙන්නා මාර ගස අසලට විත් ලගින්නටත්, කරවු කරමින් කෝලාහල කරන්නට ත් විය. කෑමක ඉවක් වැටී විය යුතුය. දවස් කිහිපයකින් හරි හමන් කෑමක් බඩට වැටී  නැත. පාරේ වාහනයක් යන්නෙත් දෙකට දෙවාරයේ ය. වෙනදා නම් කෑම පාර්සලයක් දෙකක් නොවරදින බව ඔහුට මතකය. ඒ මදිවාට  කකුලේ වූ තුවාලය තවත් විශාල වී ඇතුලටම හැරී ගොස් ඇදුම් දෙයි. ඔඩු දුවා ඇති ඒ දෙස බලන්නට වත් නොහැකි තරම් ය.  කුසගින්න ඉසිලිය නොහැකි තරමටම තුවාලයේ වේදනාව ද ඔහු පෙළයි. අන්තිමට කෑ පාන් කෑල්ල ද බඩ වැඩී දින පහකට වැඩි මිසක් අඩු නොවන බව ඔහුට මතක ය. එකට ලඟිනා  සඟයෙක් ලෙසින් සිටින ටොමියා - උට නමක් නැත. වෙලාවකට ටොමියා තව වෙලාවකට කඩියා ද දිමියා ද වෙයි. - ගෙනවිත් ළඟින් තැබූ ඒ පාන් කෑල්ල ට දින කීයක් වයස දැ යි සිතන්නට නොගියේ නිකංම ගිල දැමුවේ ය. වතුර ටිකක් ගන්නට යා ගන්නට හැකියාවක් නැත. පෙරේදා වට වැස්සෙන් ළඟ තිබූ කෝප්පයට එකතු කර ගත් වතුර බිඳත් අවසාන වී ඇත. මාර ගසට වසා සිටි කපුටා එකවර සිය ගණනකින් වැඩි වූවාක් මෙනි.  කළු පැහැති රෙද්දක් මාර ගස වසා එළා දැමුවා සේ ය. කපුටන් සිය දහස්  ගණනින් වැඩි වී උන්ගේ කාක නාදයන්ද සිය ගුණයකින් වැඩි වී  ඇසෙයි. බස් නැවතුමේ වහලයේ ද යකඩ වැටේ ද කිහිප දෙනෙක් වසා ඇති බව වැසී යන ඇස් පියන් අතරින් පෙනෙයි. එක් වරම පහත් වූ කපුටෙකු  ටොමියාගේ බිරුම් හඬින් නැවත ආපසු හැරෙනුද තවත් එකෙක් ඒ හා ම පහත් වෙනුද  බොඳව ගිය ඇස් අතරින් පෙනී නොපෙනී  ගියේ ය. උඩ පනිමින් උන් පන්නන්නට දුබල වෑයමක් ගත් ඌ විඩාවට පත් වූවේ කූහ්...කූහ්... අඬින් දුක්මුසු ඇඟලුමක් පෑවේය. එසවුන දුබල අත උගේ හිස මතට පහත් වී ඇසිල්ලකින් පොළව මතට කඩා හැලුණි. ටොමියා ගේ උඩු බිරුම් මැඳ සිය ගණනක් වූ කපුටන් බස් නැවතුම වසාගන්නට ද පහත් ව අප්‍රාණික සිරුර වෙත එලඹෙන්නටද විය. මදක් පස්සෙන් පස්සට ගොස් ඔහු වටා කැරකෙන කපුටන් කෙරේ දුබල ප්‍රතිරෝධයක් දැක්වූ ටොමියා ගේ හඬද මොහොතකින් සියුම් කෙඳිරියක්ව නෑසී ගියේ ය.  

               නිමක් නැති ගඳක් ගැන නිමක් නැති දුරකථන ඇමතුම් නිසා වෙහෙසට පත් නගර සභාවේ දුරකථන ක්‍රියාකරු විසින් දමිළ කම්කරුවන් කිහිපදෙනෙක් අදාළ ස්ථානයට යැවූ අතර ඔවුන් විසින් කපුටන් කොටා විනාශ වී ගිය මිනිස් සහ සුනඛ සිරුරු ද්වයක් දක්නා ලදී.

11 comments:

  1. රූප එකින් එක මැවිලා පෙනුනා වගේ. නියමයි +++++++++++++

    ReplyDelete
    Replies
    1. සෑාහන කාලෙකින් ඉතිං.. එන්ජිම තාම කැහැ කැහැ ස්ටාට් වෙන්නෙ.. බලමු ගොඩ ගන්න.
      ස්තූතියි :-)

      Delete
  2. කොරෝනා කාලෙට කලින් ඉඳල කොම්පඥ්ඥවිදිය හරියේ මම ෆලෝ කරගෙන හිටි මෙහෙම මනුස්සයෝ කීප දෙනෙක් හිටියා.. කොරෝනා කාලේ මම සෑහෙන්න වොරි උනා ගෙදර ඉඳන් ඒ මිනිස්සු ගැන. ආපහු ආපු මුල් දවස්වල කවුරුත් දකින්න හිටියේ නෑ. ඒ මිනිස්සුන්ව කොහේ හරි ගෙනියල වෙන්නැති කියල හිතුවත් මෙන්න දැන් ආයේ ඔක්කොම ඇවිත් ඉන්නවා. මට ඒක මතක් උනා මේක කියවද්දී.

    ReplyDelete
    Replies
    1. සෙට් එක පිටිං ගෙනිච්ච නේ කොහට්ට හරි. ආයෙත් ආයෙ ආයෙත් එනව ඒ වුණත්. පුරුදු රස්සාව නැතිව බෑ වෙන්න ඇති 😀
      මටත් ඔහොම දරක්ක මනුස්සයෙක් ගැන මේම වුනොත් කෝමද කියල හිතල ලිව්ව එකක්. :-)

      Delete
  3. ඇත්ත සිද්ධියක්ද

    ReplyDelete
  4. නෑ අජිත් අයියා... මන:කල්පිතයක්..
    කෙටිකතාවක් කියල හිතල ලිව්ව එකක්. (ඒම නොවේ වුණාට) 😁😁

    ReplyDelete
  5. රසවින්දා ..කෙටි උනාට රසවත් .

    ReplyDelete
  6. ඒ මිනිස්සු මිහිපිට අපායක ජීවත් වෙන්නෙ. කරපු කරුම ඉවරවෙනකන්. පව්

    ReplyDelete