Tuesday, January 26, 2021

I.D. - මොහාන් රාජ් මඩවල

                               

         මොහාන් රාජ් මඩවලගේ නවතම ප්‍රබන්ධය වන අයි ඩී කියවා හමාර කළෙමි. සිය සුපුරුදු භාෂා විලාසයෙන්ම නවතම ප්‍රබන්ධය ද රචනා කරන මඩවලයන් එක් සුවිශේෂී වෙනසක් සිදු කොට තිබේ. හැටේ දශකයේ අග භාගයෙන් ආරම්භ වේ යැයි සිතිය හැකි අයි ඩී වර්තමානය දක්වාම විසුරුණු කාල පරාසයක පුද්ගලයන් කිහිප දෙනෙකුගේ චරිත සහ ඔවුන් මුහුණ දෙන සිදුවීම් ආශ්‍රිතව කතාවක් අපිට කියයි. 


      එම ඇසළ පොහෝදා උදෑසන පන්සලේ ලවුස්පීකරයෙන් නායක හාමුදුරුවන්ගේ බණ අසන්නට සැදී පැහැදී  සිටි ගම් වාසීන්ට බණ කියමින් සිට හාමුදුරුවන්ගේ මුවෙන් අසන්නට ලැබෙන්නේ මරණයක් පිළිබඳවයි. මියගොස් ඇත්තේ පන්සලේ දායක සභාවේ ලේකම් තැනය. ගමට අලුතින් පැමිණි අයෙක් වුව ගමේ හොඳ හිත දිනා ගත් පොදු වැඩ කටයුතු වලට  සිය නොමසුරු සහය මෙන්ම මූල්‍ය සහයෝගය ද නොඅඩුව පිරිනැමූ දහම් විමලරත්න ය. මෙම මරණය පිළිබඳ විමර්ශනය කිරීමට පැමිණෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට මුහුණ පාන්නට සිදු වන්නේ උභතෝකෝටික ගැටලුවකට ය. ඒ මියගිය අයට අයිතිවාසිකම් කියාගෙන එන දෙදෙනකු නිසා ය. එතැන් සිට කතාව ගලා යන්නේ එම වර්තමාන සිදුවීම් වලට පිළිතුරු සපයන අතීත සිදුවීම් සමුදායක් සමගිනි. 


           කොටස් 4ක් තුළ ඔබට ගෙන එන මෙහි වර්ථමාන කථාව කොටස් දෙකකිනුත් අතීත කතාව කොටස් දෙකක් යටතේ ත් රස විඳීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. එම පරිච්ඡේදයන් කියවමින් එම පිටු අතර මැවෙන ලෝකය තුළ සැරිසරමින් ඒ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට කතුවරයා අපට ආරාධනා කරයි.


             මාගම් සෝලිය ගෙන් පටන් ගත් මොහාන් ගේ නවකතා වික්‍රමය අයි ඩී දක්වාම කියවා ඇති අයකු ලෙස ඔහු කලම්බෝ තුළදී ලබාගත් සාර්ථක ප්‍රවේශය අයි ඩී තුළින් නිෂ්ප්‍රභා වී දෝ යි සිතේ.  පූර්වයෙහි ඔහු විසින් රචනා කරන්නට යෙදුණු ලොවීනා මාගම් සෝලිය වැනි නවකතාවන්හි තිබූ අති අද්භූත කතා ශෛලිය කලම්බෝ සහ අයි ඩී තුළදී අවම මට්ටමකට පත් වී තිබුණද කතාව ගලාගෙන යාමේදී  දී ඔහු විසින් ඇති කරන කතාවේ ගලා යෑමට බාධා කිරීම් හෙවත් බිඳවැට්ටවීම් ඒ ආකාරයෙන්ම අයි ඩී තුළ ද අන්තර්ගත බව සිතමි. බොහෝ දෙනෙකුගේ නිරන්තරව චෝදනාවන්වලට ලක්වූ ලිංගිකත්ව සිදු වීම් ප්‍රතිනිර්මාණය අයි ඩී තුළදී අවම මට්ටමක් දක්වා පැමිණ ඇති බව මට සිතේ. 


            අයි ඩී තුළින් අපට ඉදිරිපත් කරන කතාව ගැන සලකා බලන්නේ නම් පළමු පරිච්ඡේදය තුළින් ඇති කරන කුතුහලය ඔස්සේ අපට ඇති කරන ගැටළු ඔස්සේ දෙවන හා තෙවන පරිච්ඡේද කියවා හමාර කළ ද පිළිතුරු නොලැබෙන ගැටළු කිහිපයක්ම කතාව අවසානයේ පාඨකයා අතරමං කරන බව මා සිතමි. ඉන් එකක් ලෙස දහම් විමලරත්න මරා දැමූ මංජුල යන අය කතාවට සම්බන්ධ වන ආකාරයයි දහම් යනු මංජුල ම බව සිතුවහොත් දහම් ලෙසින් මිය යන්නේ කවුරුන් ද යන්නත් සැබැවින්ම දහම් මියගොස් නම් කවීෂ ලෙසින් නදීගේ දුරකථනයට කෙටි පණිවිඩ එවන්නේ කවුරුන්ද යන ගැටලු අවසානයේ මා හට ඉතුරු විය. කතාව තුළ යම් යම් අනුමාන උපකල්පන ඇති කළ හැකි අවස්ථා සිදුවීම් හේතු ඇස් මට්ටමට ගෙන ඒමට කතුවරයා සමත් වුවත් කතාව අවසානය වන විටත් ඉහත ගැටළු සඳහා නිශ්චිත පිළිතුරක් දීමට කතුවරයා අපොහොසත් වී ඇති බව හැඟේ.


             කෙසේ වෙතත් ඔහුගේ මෙම නවකතාව ද පෙර දී ඔහු රචනා කළ අන් සියලුම කතා මෙන් එක හුස්මට කියවා අවසන් කර හැකි එකසේ රස විඳිය හැකි කථාවක් ලෙස හැඳින්විය හැක. 


කෘතිය - අයි. ඩී

කර්තෘ - මොහාන් රාජ් මඩවල

ප්‍රකාශනය - බිසෝ ප්‍රකාශන

පිටු - 303

මිල - රු. 750.00

ඇගයීම - 4/5

2 comments:

  1. එයාගේ පොත් දෙකක් කියවල තිබෙනවා

    ReplyDelete
    Replies
    1. මම ඔක්කම කියවල තියේ. සාධනීය වෙනසක් නැතත් කියවාගෙන යන්න කම්මැලි කමක් නැති පොත්. කියවීමේ රුචිය වර්ධනය කරගන්න හොඳයි

      Delete