Tuesday, June 18, 2024

ලියාගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් … - ii

 "පසුගිය සතියෙන්…"

….මා වෙත පුරුදු සුවඳ දැඩිවම දැනෙමිනි. ආපසු හැරී බැලුවෙමි.. එකෙණෙහිම ඒ මා පසු කර ගිය ඒ සුවඳ හිමි තැනැත්තියද මා දෙස බැලූවාය..

ඒක තත්පරව.. ඒ ඇස් මා ඇස් සම්මුඛ වූයේ විමතිය මුසු විසල් දෙනෙතක් මා දෙස බලා උන්නීය..

දි..ලූ..

ස‌..හේන් අයියා..


    මා දෑස ආවරණය කර මෙතෙක් වේලා විරාජමානව රැඳී උන් අව් කණ්ණාඩිය මා අතට ආයේ කෙසේ දැයි නිනව්වක් නැතිය..මා ඒ රන් සියපතක් මෙන් ස්වර්ණීකෘත මුහුණ දෙස බලා උන්නේ සිහි සන් නොමැතිව සේය..

“...පාසැල් යාමේ බැඳීලා

මා නෙතු දෑලේ වෙලීලා

පෑ මදහාසේ

ජීවිත කාලේ

මා සිත යාවේ සදා…”

ෂෙ..නූ….

කන අසලම පුපුරා ගිය මිණිගෙඩිමය කණ්ඨීය ස්වරයකින් මා දැහැන් බිඳුණි.. ඈ දෙනෙත් බිමට බරවුණි..

යන්නාය කියන්නාක් මෙන් නොදැනෙන දැනෙන හිස සෙලවුමකි.. නික්ම යාමකි.. දෙසම බලා උන් තත්පර ගණනකි. නැවත හැරුමකි.. ආපසු හැරී බැලුමකි.. ටයිෆූනයකටත් වඩා බර සුස්ම හෙළුමකි.

අව් කණ්නාඩිය නැවත දෙනෙත් යුග වසා ගත්තා පමණි.. සිදුවූ සිදුවීමට ප්‍රේක්ෂකයන් බොහෝ ගණනක් සිට ඇති බව පසක් වූයේ ඒ තත්පරයේදීය..

ඔ්......

පාසැල් පිටිය දෙදෙරවා යන ඝෝෂාවකින් දෙසවන් පිරි යනන්ට තත්පර බාගයක් ගත නොවන්නට ඇත..

පරණ කෑල්ල හම්බුණා වගේ..

අඩෝ.. කැකුළී...

මන්දු කරමුදෝ..

හූ...

සිනහ සෙන්නට හෝ කෝප ගන්නට සිතක් නොවූයෙන් මුදු සිනහවක් පා ළඟම හුන් වරුණයාගේ අතට පහක් දමා බදා වැළඳ ගත්තේ තත්වය සමනය කරන්නට මය.

කාලය බොහෝ වේගයෙන් ඉගිල ගොස්ය.. ආදි සිසු මිතුරු ඇසුරේ රැදෙන්නට හිතක් නොවූයෙන් භාවිතා කළ එකම චන්දය ද ඈ වෙනුවෙන් ම භාවිතා කර මා සභා ගැබෙන් එළියට ආයෙමි. කාටත් නොදැනෙන්නට සභා ගැබෙන් පැන ගන්නට අසීරු වුව ද කිසිවකු හෝ මා කොහේ යන්නේදැයි විමසුවේ නැත. ආගන්තුක හැඟීමක් ගෙන දුන්නද ඒ මා තත්වය තේරුං ගන්නට ඇති සහෘද හදවත්හි ප්‍රතිචාරයන් විය හැකි යැයි සිතා සැනසුනෙමි.

සභා වාරය අවසන් වන්නට තව බොහෝ කාල වේලා ඇත. මා පාසැල් වත්ත පුරා ඇවිදින්නට වීමි. කෙමෙන් කෙමෙන් මා විශේෂ අධයාපන ඒකකය වෙත ළං ව සිටියෙමි.

 

“...දෙනෝ දාහක් නුවන් අතරේ කවුරුදෝ මා

තනිකලේ.. තනිකලේ පාසැල් බිමේ..

සිනා කෙළිලොල් තෙපුල් රහසේ

දෙඩූ තැන් අද ගොළුවෙලා…”

ඈ අලුතින්ම සැදූ විශේෂ අධ්‍යාපන ගොඩනැගිල්ලේ පසුපස බිත්තයට පිට දී උන්නාය. තවම පිණි වැටෙන උදෑසනය. ඈ පැමිණ සිටින්නේ මා වෙනුවෙනි. මා වමත ඇයට පිටු පසින් වූ බිත්තියට තෙරපා තද කර එයට බර දී ඈ දෙනුවන් දෙස බලා උන්නෙමි. ඒ දෑස් උදෑසන මලක් සිප ගත් පිණි කැට සේ දිස්න මෙින් තිබුණි. ඈ දෑත් වෙව්ලන්නාක් මෙන් පෙනෙයි. මා වයසටත් වඩා ඉතා ලාබාල ඇය හිත බිය වී ඇති බවට මට අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත.ඈ හද ගැස්ම මා සවන් අද්දරම ගැහෙන්නාක් මෙන් ඇසෙන්නාක් මෙනි. මා හිත පුරා පිරි ‌කෝල ගතියකින් යුතුව මා ඒ නෙත් දෙසම බලා උන්නා පමණි. . කියන්නට වදන් සහසක් වූවද මුව ගොළුය. කෝලය.  නෙත් කතා කරමිනි. මා මුහුණට අඟල් කීපයක් පහතින් ඇති ඒ සියපතක් වන් උවන සිපින්නට ආ ආසාවකින් මා දැවී යමිනි. එහෙත් කෝල බවත් ලජ්ජාවත් මා නවතා හරිමිනි. වදන් රහිත විනාඩි ගණනාවක් පසු වෙමිනි.

මම යනව.. හදිසියේම නික්ම  ඈ සියුම් ස්වරීය වදන් මා දෙසවන සිප ගනී.

මම යනව..

ඒ වදන් ඉදිකටු මෙන් පාරවන්නට වෙයි..

ඇයිදැයි අසන්නට නොහැකිය.. පාසැලේ ඈ පෙනි සිටිය යුතු වේලාව ආසන්නය. ඇය කණිෂ්ට සිසු නායිකාවය. මා වැඩකට නැති දොළහ වසරේ කැඩෙට් මානවකයෙකි. ඇයට යා දිය යුතුය. බාලිකාව තවත් එකෙල මෙකෙල වෙමිනි. අවසන බිත්තියට තෙරපා බර දී තිබූ අත ඉවත් කර ගතිමි. මා දෙසම නෙත් අයා බලා උන් රෝස කැකුළ අකමැත්තෙන් මෙන් පිටව ගියාය. පෙම්වත් වදනකුදු දොඩන්නට ඉඩන් නොලබාම. පෙම්වත් වදනකුදු නොඅසාම.

“...සුදු බිත්ති හැඩ කෙරූ කුරුටු ගී සිනාසෙයි

තව කලක් රැඳෙනු ඇත ඔබට මට වද දිදී

පාසල් ප්‍රේමයට නැවතීමේ ලකුණ විත්

ඉතින් අපි සමුගනිමු සදාකාලික නොවී...”

මා එතැනට වී එදා ඇය අන් තැනට වී බිත්තියට පිට දී ආකාසය දෙස නෙත් හෙලුයෙමි. එදා සිහින් රුකක් වූ ඇසල ගස අද මල් පිපෙන්නට අර අදින දැවැන්ත රැක්ෂයකි. මම නෙත් පියා ගතිමි.

මතකයක් හෝ සිතුවිල්ලක් ගලා නොඑන තරමට සිතුවිලි කලබලයෙනි. පටැලැවෙමිනි. එකකට එකක් ලිහා ගත නොහැකි පටැලුණ නූල් බෝලයක් මෙනි. බරැති සුස්මක් හෙලා ළය සැහැල්ලු කරගන්නට යත්න දරමින් කිසිත් නොසිතා ඉසිටින්නට වෑයම් කරමි. නමුදු හිස් තැන් පුරවන්නට ඇය යළිත් එන්නීය.. යළි යළිත් එන්නීය..

පාසැල් නිවාසාන්තර ක්‍රීඩා සමය අවසන් වූවා පමණි. ඒ මා ද මා සඟයන් දෙදෙනෙකුද සමඟ පුරා සති දෙකක් පාසැල් තහනම්ව සිටි දිනයන් ය. හේතුවද ඇය ම ය. ඇයට නොහොබිනා විහිළු කළ පිටස්තර පාසැල් කොලුවන්ය. ආරම්භය රණ්ඩුවකි. අවසානය පන්ති තහනමකි.  ගෙදරට ඒ කිසිත් කියන්නට ද නොහැක. ඉදින් පුරුදු පරිදිම පාසැල් එන්නා සේ නිවසෙන් පිටත්ව එන්නෙමි. ඒ සෙල්ලමද දින කිහිපයකට වඩා කරන්නට නොහැකි විණ. අප තිදෙනා නගරයෙන් දුරස්ථ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක වූ කුඩා දොළ පාරක් අද්දරදී විදුහල්පති ද විනය භාර ද ඇතුළු නඩයකට හසු ව පාසැලට ගෙන ආවෝය. අතර මඟදි සිදු වූ සිදු වීම් ගැන මතක් කරනට එතරම් කැමැත්තක් නැතද අප පාසැල් භූමියට එන විට ඇච්චාට කෙලින් ඉන්නට තරං පණක් නොතිබුණ වග මතකය. එදින බාලිකාවියන් කිහිප දෙනෙකු පිට්ටනියේ දැල් පන්දු පුහුණු වෙමින් සිටි බව දුටු මා හට ප්‍රින්සිපල්  ට හසු වූවා ට වඩා භීතිකාවක් දැණුනතර, ඒ භීතිකාවට පණ දෙමින් ඊට හේතුව මා අබියස දෑස් මෙන්ම මුවද අයා අනිත් බාලිකාවියන් අතර සිට ගල් ගැසී මෙන් මා දෙසම බලා උන්නාය. මා බිම බලාගත්තෙමි. ඔවුන් පුහුණුවීම් කරන ඒ කාලය පුරාවටම අප තිදෙනාට තද අව්වේ දණ ගසාගෙන සිටින්නට සිදුවිය. සියල්ල දෙදරා ගියේ එතැනිනි. අප පාසලෙන් අස් නොකළා පමණය. ළඟම එන උසස් පෙළ නිසා සිසු දිවිය ට නැවතීමේ තිතක් නොතබන්නට තරම් විදුහල්පති කාරුණික විය. එහෙත් ප්‍රථම ප්‍රේමය එතරම් කාරුණික වූ වා යැයි කියන්නට නොහැක.

ඉනික්බිති සති කිහිපයක් ඈ මුණ ගැසෙන්නට  දැරූ අපමණ වෙහෙසකට පසුව, හඬන්නට උන් සැන්දෑ අහසක් යටක දී අහම්බයකින් ඈ ගමට යන බස් රථයේදී ඇයව හුදෙකලා කරගන්නට සමත් වීමි. ඈ සිත බිඳී තිබිණ. ඒ රිදුම් පිරිමදින්නට හෝ ඈ අවස්ථාවක් නුදුන්නාය. එහෙත් ඈ සියලු පාසැල් ප්‍රේමයන් අවසන දී කියවෙන පොදු වදන් වලින් මා වෙත දමා නොැගැසුවා ය.

ඇයි ආවෙ...

ඇයි මෙච්චර තරහෙන්...

ඇයි හරි ආදරේ හිතෙන වැඩනෙ කරල තිබුණෙ..

ඒ කිව්ව කිසි දෙයක් අපි කලේ නෑ. ගෙදරට කියාගන්න බැරි කම නිසා ගෙදරින් ඇවිත් ආපහු ගෙදර ගියා විතරයි. කවුරු හරි ඉස්කෝලෙට කෝල් කරල කියල තිබ්බ ඉස්කෝල ළමයි ටිකක් ස්කූල් කට් කරන් ඇවිත් නානව කියල... ඒක තමා එදා වුණේ. මා හඬ පරාජිතයෙකුගේ තත්වයට පත්වෙමින් තිබුණි

මට අහන්න ඔ්න නෑ.. බුද්ධිනී මට සේරම කිව්ව..

ඔහ් එහෙනං ඒකයි මේ කතාව ඒ පට්ට ..සි අතිනුත් එක්ක දාල කියවන්න ඇති. කොහොමත් ඒකිට මාර අමාරුව් තිබ්බෙ මම දිලූ එක්ක සෙට් වුණ එකට..

බුද්ධිනී කිව්ව හැම දෙයක්ම ඇත්ත කියල පිළිගන්නවද.. ඒ මොනව වුණත්..

ඈ නිහඬතාවයම රැක්කාය...

කල්පයක් තරං ගත වී යැයි සිතුණ මොහොතක් ගත විය.

යන්න..

ම්ම්.. මොකක්ද..

යන්න.. ආයෙ මගෙ දෑහැට වත් පේන්න එන්න එපා..

එවන් ළපටි සිතකට ඒසා වදන් නපුරු වැඩි බව කියන්නට උවමනා වු නමුත්,

ඔයාටනෙ බැරි... මම යන්නං..

අවශ්‍ය නෑ.. එච්චරම අකමැති නම් මම යන්නං.. එක දෙයක් අහන්නද...

ඈ කිසිත් නොකියාම උන්නීය.. දෙකම්මුල රක්ත වර්ණයට හැරී තිබිණ. දෙතොල් පෙති පොපියමින් තිබිණ. ඈ බෙහෙවින් කෝප ගැන්වී සිටියාය.

කවම දා හරි.. ඔයා මට සමාවක් දෙන්නෙ නැතිද..??

ඉසිලිය නොහැකි ශුන්‍ය යයි හැඟි ගිය නිහඬතාවයකට පසු කිසිත් නොලබාම මම බසයෙන් බැස ආමි. ඒ වන විට හඬන්නට අර අදිමින් උන් අහස මහ හඬින් හඬන්නට පටන් ගෙන තිබිණ. දරාගත නොහැකි තරම් වේදනා බරක් සමඟ ඒ වැස්සට යටින් මා පිය නැඟුවෙමි. ඒ මා ඈ දුටු අවසන් දවසයි. ඉන් පසු මා පාසැල් නොගොස් නතර වූ අතර තාත්තාද සමඟ රබර් කට්ටියේ කිරි කපන්නට වීමි. උසස් පෙළ පැවැත්විණ. මා උසස් පෙළට මුහුණ දුන්නා පමණි.. ප්‍රතිඵල එනතෙක් නොසිටම, ඒ දිනවල නොනැවතී පැතිරෙමින් පැවති සිවිල් යුද්ධයේ කොටස් කරුවෙකු ලෙස මා ද නාවික හමුදාවට බැඳුණෙමි. මා පාසැලෙන් ඉවත් වූවා ට ත් වසර කිහිපයකට පසුව පාසලෙන් ඉවත් වූ ඈ නොබෝ කලකින්ම ඇය හා සම වයස් එක්තරා ක්‍රීඩා ගුරුවරයෙකු හා විවාහ වූවාය. අසන්නට ලැබුණ බොහෝ දෑ මා නොසලකා ඉන්නට උත්සාහ කලද බොහෝ ආරංචි ආවේ මී මැසි දෂ්ටනයන් මෙන් සියුම් පෑරවීම් සමඟය.

“...කොහේ හෝ නුඹ නතර වී

කාට හෝ ජීවිතය වී

තුටින් නම් මට ඒ ඇතී

මගේ නොවුනට කම් නැතී නුඹ

මගේ නොවුණට කම් නැතී…”

හුරු පුරුදු සුවඳක් මා නැහැ පුඬු අතර දැවටෙන්නාක් මෙන් දැණුනි. කිසිවකු හෝ පැමිණ මා වම්පසින් බිත්තියට හේත්තු වූවා සේ ඉවකින් මෙන් හැඟුණි. ඇය පැමිණ සිටියා ය. මා කතා කරන්නට හදිසි නොවීය. මෙතරම් වර්ෂ ගණනනාවකට පසුව හමු වූ ඈ සිත එක් වැරදි ප්‍රවේශයකින් නැවත බිඳ හෙලන්නට වුවමනා නොවිණ. මා සිටි ලෙසම දැස පියා බිත්තියට පිට දී උන්නෙමි.

අවුරුදු කීයකට පස්සෙද...

මම මඳක් නිහඬව උන්නෙමි..

අවුරුදු දාහතයි යි මාස හතයි දවස් දහයයි..

පිළිතුරු දී මා ඈ දෙස හැරී බැලීමි.. බිත්තියට පිට දී උන් ඈ නෙත් විසල්ව මා වෙත රැඳී තිබිණ. ඇය මෙවන් පිළිතුරක් අපේක්ෂා නොකල වග මා දනිමි. මා මන්ද හාසී වීමි. ඈ හැඳ උන් කහ පැහැ කර නොමැති ටීෂර්ටය සහ නිල් පැහැ ස්ලිම් ෆිට් ඩෙනිමද ඊටම ගැලපෙන්නට දමා සිටි නිල් පැහැ ඩෙනිම් බේස් බෝල් තොප්පිය ද ඈ පෙනුම මා හට මතක තිබූ කුඩා කෙල්ලගේ හුරුබුහුටි දඟකාර පෙනුම ම මවා පෑවාය.

ඔයා ඒ දවස් වගේමයි..

ඈ සිනා සුනාය..

ඔයා වයසට ගිහිං.. කොණ්ඩෙත් ගිහිං.. ටිකක් මහත් වෙලා.. ඒත් කූලිං ග්ලාසස් දැම්මම පොඩි ලුක් එකක් තියේ..

මම සිනාසී නිහඬ වීමි.

ඉස්සර හොරෙං මෙතනට ආව දවස් වල වගේ නිස්සද්දව ඉඳලම යන්නද ඔ්න.

ඇගේ පැනයෙන් නිරුත්තර වූ මා ඈ දෙස බැලීමි. මොහොතකට අනතුරුව ඈ උන් තැන දක්වා වූ හිස්තැන පියමැන ඈ වෙතට ළං වීමි. පෙර දවස් වල දී මෙන්ම ඈ බිත්තියට පිටුපා එයට බර දී උන්නාය. මා බිත්තියට අත තබා බර වී ඈ උවන දෙස බැලීමි. එදවස් වල දී මෙන්ම ඈ සුන්දරව උන්නාය. බොහෝවිට ඊටත් වඩා.. ඈ නෙත් හා මා නෙත් යාවී මදක් තත්පර විණ. මා මුව ඈ උවන වෙත සෙමෙන් පහත් වන්නාක් මෙන් දැණුණි. මා හිත මටම අවසඟව යමිනි. ඈ සුසුම් පවා මා කොපුල් තල වල උණුසුම්ව දැවටෙමිනි. ඈ දෙනෙත් කෙමෙන් අඩවන් වෙමිනි.

ඒ උවනට මා මුව ළං වන්නට තව තිබුනේ මිලිමීටර් ගණනක් තරම් වන්නට ඇත. හදිසියේම කොහේදෝ සිට ආ හැඟීමක් මා වෙතින් එම මොහොත උදුරාගනු ලැබීය. ඇයට ළං වූවාට වඩා වේගයෙන් ඈ වෙතින් ඈත් වීමි. ඈ වෙතින් මුහුණ හරවා ඉවත බලා ගත්තෙමි. තත්පර කිහිපයක් ගත වන්නට ඇත. ඈ මා කෙරෙන් නික්ම යන පියවර හඬ මුදුව සවන් සිප හදවත පාරවන්නට විය.

දිලූ...

ඉවතට ඇදුණ පියවර හඬ නැවතිණ.. පා පොළවේ ඇතිල්ලෙන ශබ්දයෙන් ඇ ආපසු හැරුණ බව හැඟුණි.

මට සමාවෙන්න... හැම දේකටම...

මෙපමණ වසර ගණනාවකට පසුව ඈ හට එවදන් කියාගනන්ට හැකිවීමෙන් මා හට අපමණ සැහැල්ලුවක් දැනෙතැයි මා නොසිතුවෙමි. හදවතේ තිබූ කුමක්දෝ බරක් එක් වනම අතුරුදන්ව ගියා සේය..

ඈ පිය හඬ ඇසෙන්නට විය.. වේගයෙන්.. මා ඈ එන දෙසට හැරුණෙමි ඈ දිව ආ වේගයෙන්ම මා බදා වැළඳ ගත්තීය. තදින්... බෙහෙවින් තදින්. මුත් වඩාත් ආදරණීයව.. මොහෙතකට වික්ෂිප්තව උන් මා දෑත් සෙමෙන් ඈ බඳ වටා එතිණි. කවරදාක හෝ සිතා සිටියාට වඩා තදින් මා ඈ මා පපුතුරට තද කර ගතිමි.  මා හට ඈ සිරුරෙහි ගැස්මන් දැනෙන්නට විය. ඈ හඬමින් උන්නාය.. උණුසුම් කඳුළු බිඳු මා සිරුර සිප ගන්නට විය. උණුසුම්ව සහ වඩාත් ළතෙත්ව. ඈ මට අහිමි බව ඇත්තය. එහෙත් මේ මොහොත ජීවත් වන්නට ඒ මහා පවුර බාධාවක් නොවන බව මා අභ්‍යාන්තරයේ සිට කිසිවෙක් කියනවා ඇසුණි....

 

"...අතීතේ මතකය දරාගෙන

නුඹව සිහිකර යළි හිනාවෙමි

තවත් රිදවිලි මොටද, එබැවින්

මෙහෙම මෙතැනම මඟ නතර වෙමි…"



***************** ඉවරයි**************

11 comments:

  1. වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ...

    ReplyDelete
    Replies
    1. සදා.. මේ සංසාරයේ... අපේ හමුවීම නොවේ... 🙈

      Delete
  2. මන්නාරං කවි

    ReplyDelete
    Replies
    1. මං-නාරං බෂ්ෂෙක නෑ තවමත් ආවේ
      දෙකක් නමලා නිහඞ වුනා රජරට සේවේ

      Delete
    2. @ ප්‍රා උතුමනි. කවි ලියවෙන්නේ නැත. යූ ටියුබයෙන් උස්සන ලද.ගීත කෑලිය. ලිංකු ඒ ගීත වලටම අමුණා ඇත.

      @මන්නාරං බස්සෙක එන්නෙම නෑ වාගේ..
      දෙකක් නමන්නට ආසයි රා බී දැං ඇති වාගේ.. 😁😁

      Delete
  3. අනේ තෝ වගේ හරකෙක් මෝඩ මූසලයෙක්

    ReplyDelete
    Replies
    1. කිමද මිතුර මේ කලබල. 🙈🙈
      මෙතරම් දෝසාරෝපණ කිම 🤭🤭

      Delete
  4. අප්පා..! තව දිගට ලියන්න එපැයි!

    ReplyDelete
    Replies
    1. කොටස් දෙකකට එක කෙටි කතාවක්.ලියවුණාම..
      තව ලියන්න කියපු එකම කෙනා..

      Warmly welcome to awanhala ❤❤❤🥰

      Delete
  5. ඒ ඉස්කෝලේ පැත්තේ හොටෙල් එකක් හෙම තිබ්බේ නැතෙයි

    ReplyDelete
    Replies
    1. හොටෙල් කිව්වෙ..
      කෑම කඩද
      නැත්තං ඔය ගෙස්ට් හවුස් ද..??

      මට මතක විදිහට කෑම කඩකීපයක්නං තිබුණ.
      ගෙස්ට් හවුස් තිබ්බෙ පොල්ගහවෙලටම දෙකයි හෝ තුනයි.
      මොකෝ සීන් එක

      Delete