Saturday, June 29, 2024

තොරතුරු අවශ්‍යතාවය සහ ජනයා ගොනාට ඇඳගැනීම හෙවත් බොම්බිලි මාකට් වීම.

       
 
හුඟක් අයට අනුව මේ වෙද්දි ලංකාව ඇතුලෙ එක එක  විපරීත දේවල් සිද්ධ වෙනවනේ. ඒත් ඇත්තටම ඒ දේවල් අඩු හෝ වැඩි වශයෙන් අතීතයෙත් සිද්ධ වුණා. නමුත් ඒ ගැන දැනගත්තෙ සීමිත පිරිසක්. හේතුව තමයි කට කතා වලට හෝ කවි කොල වලට යන්න පුළුවන් සීමා සහිත දුර. ඊටත් වඩා අනූව දශකය සහ ඊට පෙර, ඇත්තටම බැලුවොත් දෙදාහ දශකයේ මුල කොටස සහ ඊට පෙර කිව්වත් ලොකු වරදක් නෑ. පත්තර හෝ ගුවල් විදුලියෙන් හෝ රූපවාහිනිය මාධ්‍ය කොට ගෙන ගොසිප් වර්ගයේ පුවත් වල ප්‍රචාරණයේ අවම භාවය. සහ යම් මායිම් ඇතිකරගත්ත සදාචාරාත්මක සලකුණු.

ඉතින් ගොසිප්ස් තිබුණත් ස්ටාර් ක්ලාස් ගොසිප් තමා අපිට අහන්න දකින්න ලැබුණෙ. ඒවත් සති අන්ත ටැබ්ලොයිඩ් වලින් නැතිනම් එක් එක් වයස් කාණ්ඩ හෝ පිරිස් ඉලක්ක කරගත් පත්තර වල කුඩා තීරු වලින්. උදාහරණයක් විදිහට කියනව නං රසාදරී,. ප්‍රියාදරී,බිරිඳ වගේ පත්තර නිර්මල, හිමරෝස, හිරුණි, අරලිය වගේ පත්තර වල. ඒ ඇර මඩ සහ හිතට පොඩි කිතියක් ඇති කරන බහුතරයක් අත නොගැවසුණ A to Z, සෙනුරි, සීදේවි, නවරස, වින්ධ්‍යා වගේ පත්තර වල මේ ප්‍රමුඛ පෙළේ පත්තර වල නොතිබුණ ස්ටාර් ක්ලාස් ගොසිප් වල ඩාර්ක් සයිඩ් එක නැත්තං කුණු රස ගොසිප් තිබුණ. සහ තවත් දේවල් තිබුණ. අපේ විදිහට කියනවනං ළිඳ ළඟ සංගමයේ කතාබස්. එතකොට මේ කාලෙ වෙනකොට දීප ව්‍යාප්තව ළිඳ ළඟ සංගමයේ වටිනා කියන පුවත් පැතිරවීමේ ක්‍රියාකාරී පිළිවෙතක් තිබුණෙ නැහැ.
මේකෙ තිබ්බෙ වැල ගෙඩියක් ගැන ඒත් හෙඩිම..!

        ඉතින් ඔය ගොසිප් මදි වෙන අය ආස කරපු එක තීරුවක්  තිබුණ හුඟක් පත්තර වල. ඇත්තටම මේ තීරුව අර ස්ටාර් ක්ලාස් ගොසිප් වලින් නොසංසිඳුණ බහුතරයක් ලාංකේය කුණු රස ලෝලීන් ගේ ජාගර චිත්තය ආහ්ලාදජනක ලෙස යම් තරමකට සංසිඳුවන්නට සමත් වුණා. නිකමට ගත්තොත් සිරි යහනේ නැහැ සයනේ, අර අක්කාගෙන් අහන්න, නැත්තං දොස්තර නෝනාට කියන්න වගේ නම් වලින් ලියැවුණ මේ වගේ තීරු වලින් බොහොමයක් අන්තර් පුද්ගල සබඳතා වල රහස්‍ය පැතිකඩක් නිර්නාමිකව හෝ නොමැතිව බාහිර සමාජයට නිරාවරණය කරමින් තිබුණා.

        පසු කාලීනව මෙයින් අවසානයට මා සඳහන් කළ කුප්‍රකට පත්තර විශේෂය රහසේම පත්තර තට්ටු වලට ඇවිත් රහසේම සැඟවිල තිබුණ වගේ රහසේම අතුරුදහන් වෙලා ගියා. තව කාලයක් යනකොට අර ප්‍රසිද්ධ මාධ්‍යයේ පත්තරත් එක්කො ඊ පුවත්පත් විදිහට ශේෂ වෙලා හෝ නැවතිලාම ගියා.

සකුන්තලා පත්තර  🙊

        ඒකට හුඟක්ම හේතුව විදිහට මම දකින්නෙ අන්තර්ජාලය ව්‍යාප්ත වීම සහ අන්තර්ජාල පරිශීලකයො ප්‍රමාණය වේගයෙන් වයස් කාණ්ඩ භේදයකින් තොරව ව්‍යාප්ත වීමත්, සමාජ මාධ්‍ය වල පරිශීලකයන්ගේ අධි ක්‍රියාකාරීතවයත්.

එතකොට අර ගොසිප් සෙවීමේ අවශ්‍යතාවයට මොකද වුණේ.

        වෙනද පත්තරවලින් හම්බුණ ස්ටාර් ක්ලාස් ගොසිප්ස් ඊට වඩා වැඩියෙන් කුණු රස වැඩි කරමින් ෆේස්බුක් වගේ සමාජ ජාලා වල සංසරණය වෙන්න ගත්තම කලියෙන් සීමිතව ජනතාව අතරට ගියපු තොරතුරු  අසිමිතව පැතිරෙන්න ගත්ත. ඊටත් වඩා ළිඳ ළඟ සංගමේ දි කලා  වගේ අවශ්‍ය විදිහට ලුණු ඇඹුල් එකතු කරමින් ප්‍රචාරය කරන්නත් පටන් ගත්ත. එතකොට අර තමන්ට අවශ්‍ය තොරතුර දීප ව්‍යාප්තව පැතිරවීමේ සේවයට ඉබේම එකතු වෙන්න ලාංකිකයන්ට හැකියාව ලැබුණ. ගොසිප් ලංකා වගේ ඕපදූප ප්‍රචාරය කරන බ්ලොග්ස් හතු පිපෙන්නාක් වගේ ඇති වෙන්න ගත්ත. තරඟකාරීත්වය වැඩි වෙන කොට පරිශීලකයො තමන් කරා අද්දව ගන්න නොමඟ යවන සුළු හෙඩින් වලින් පරිශීලකයො අද්දව ගන්න පටං ගත්ත. ඒත් මේ වෙන කොට ගොසිප් බ්ලොග්ස් වලටත් පත්තර වලට ලබපු දසාව ලබමින් තියෙනව. ඒ වෙනුවට ඊට වඩා වැඩිපුර නිර්මාණශීලි විදිහට පරිශිලකයන් ආක්‍රමණය කරන්න පටං ඇරං තියෙන්නෙ යූටියුබ් චැනල්ස්.

        මට හිතෙන විදිහට රටේ ජනතාවගේ අවශ්‍යතාවය හරියටම හදුනාගත්ත පිරිස තමා මේ යූටියුබ් චැනල් සෙට් එක. අර ගොසිප් බ්ලොග්ස් වලට වඩා ඉස්සරහට ගිහින් තමන්ගෙ නිර්මාණශිලීත්වය පාවිච්චි කරල අදාල ඕපාදූපය බොහොම කුණු රහට රහ කර කර කියන්න මෙයාලට හැකියාව ලැබිල තියෙනව. යම් විඩියෝවකින් කියවෙන දෙයින් (මෙව්ව නිව්ස් නෙවෙයි) ඉලක්ක වන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායමට වන අලාභය හෝ අවැඩ ගැන පවා මොවුන්ගේ තැකීමක් නොමැති හැසිරීමක් සහ ඒ හැසිරීම අගය කරන පිරිසක් මේ වන විට බිහි වෙලා ඉන්නව.

බලන්න ඒ් විනීත භාවය

        ඇත්තටම මේ ගොසිප් යූ ටියුබ් සෙට් එකටත් අභියෝගයක් වෙන අලුත් ධාරාවක් බිහිවෙමින් තියෙනව. ඒ වෙන මොකක් වත් නොවෙයි. ඔබත් මමත් හොඳටම දන්න ප්‍රසිද්ධ රූපවාහිනී චැනල. ඇත්තටම මෙයාලගෙ නිර්මාණශිලීත්වය ගැන කතා කරන්න තරං අපි සුදුසුකම් ලබාපු අය නොවෙයි කියලමයි මට හිතෙන්නෙ.


ප.ලි - මේක ලිව්වෙත් රීච් වැඩි කරගන්න කියල හිතනව නං. 

ඔව්... ඔයා හරි නෑ. මට ලියන්න කම්මැලි. 

 

7 comments:

  1. මේක ලියල තිබ්බ එකක්. පබ්ලිෂ් කරන්න අවශ්‍යතාවයක් නැතිව. අර ලේ මාපිලාගෙ සැටඩේ 10 අටමඟලට මොනා හරි ලිව්වෙ නැත්තංංහරි නෑ නෙ. ඒකයි මේක පෝස්ට් කරන්නෙ.

    මේ වෙද්දි ඉන්නෙ මඩු. ඩියුටි. මෙහාට දයාටෙල් සිග්නල් නෑ. මේක පබ්ලිෂ් කරන්නෙ මිත්‍ර සමාගමයක හොට්ස්පොට් කනෙක්ෂන් එකකින්.

    අඟහරුවාදා එන්නෙ. එදාට එද්දි බැණල තියපල්ල.

    නැත්කං හිතට හරි නෑ.

    ReplyDelete
    Replies
    1. හිතට හරි නැතිවුනාම මොකද වෙන්නෙ?

      Delete
  2. ඒ කාලේ අපිත් පත්තර යට තට්ටුවේ සාමාජිකයො තමයි.

    ReplyDelete
  3. ගොසිප් එදත් තිබ්බා, අදත් තියනවා. මගෙත් අකැමැත්ත නෑ. අහලා රසවිඳිනවා, ඒත් කාවවත් පාච්චල් නොකර ඉන්න උත්සහා කරනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද අපි මහේෂයව පාච්චල් කරන්න අවශ්‍යමයි.

      Delete
    2. උත්සහ කරනවා, ඒත් සමහර වෙලාවට.........😋🤣

      Delete
  4. පත්තර තට්ටුවල හංගල තියෙන ඒව ගෙනහල්ල හංගගෙන බලනව වගේ ආතල් එකක් දැං තියෙනව වගේ ඕපන් ගොසිප් බලල ලබාගන්න බෑ.

    ReplyDelete