Friday, July 12, 2024

පොත් කියවීම්, පොත් පෙරලීම්, සහ ඇබ්බැහිකම් - A Bookaholic's Memory.

         


පොත් කියවීම සහ පොත් එකතු කිරීම ගැන පහුගිය දවස් වල ලොකු සංවාද ගියා. සමහරක් එව්ව ෆේස්බුක් අවකාශයේත් කිහිපයක් බ්ලොග් අවකාශයේ ලියැවුණා. එකක් හෙල්මලී අක්කත් අනික චේජනා ත් තව කොෆී ටේබල් පුස්තකයක කතාවක් සහ අනු කතා කිහිපයක් ගැන පෝස්ටු කිහිපයක් නිමල් අයියත්, තවත් පොත් කතාවක් අජිත් අයියත් ලියල තිබුණ.(මඟ හැරුණ ඒවා තිබේ නම් අමතක වීම නිසාම පමණත් බවත් කිසියම් හෝ ආකාරයකින් තේරීමක් නොකළ බවත් පවසමි.) ඒ පෝස්ට් අතර රසබර කමෙන්ට්ස් බර තොගයක්  තිබුණ.  ඒ දවස් වලම මමත් රැල්ලට වගේ එකක් ලියන්නං කියල හිතාගෙන හිටියත් ඇත්තටම පහුගිය දවස් වල තිබුණ කාර්යය බහුලතාවය නිසා පෝස්ටුවක් ලියන්න තියා පෝස්ටුවක් කියවන්න වත් වෙලාවක් ලැබුණෙ නෑ. ඉතිං රැල්ලෙන් වෙරළ හේදිලා ගිහිල්ල සිප්පි කටුත් මතු වෙලා තියෙන වෙලාවක වුණත් හිතේ තිබුණ දේවල් ටික නොලිව්වොත් අපරාදයක් කියල මට හිතුණ. ලිවීම අතින් මම කම්මැලියෙක් නිසා ලිවීමක් ගැන මම කතා කරන්න යන්නෙ නැතත්, දැං මන්දගාමී වෙලා තිබෙන නමුත් පූර්වයෙන් හොඳ පොත් ගුල්ලෙක් වුණ නිසා  ඒ ගැන යමක් ලියන්න හිතුව.

        මතක ඇති කාලෙ ඉඳලම මම පොත් වලට යම් පමණකට කැමති පුද්ගලයෙක්. ඒ කොයි කාලෙ ඉදංද කියල ලොකු මතකයක් නෑ.ඒත් අහුවුණ තැන, හම්බෙන්නෙ මොකද්ද ඒක කියවන්න පුරුදු වෙලා හිටිය. අම්මල වැඩට ගියාම අල්ලපු ගෙදරට පැනල එහෙ තිබුණ චිත්‍රකතා පත්තර වල ඉඳං කඩේට බඩු ගේන්න ගියාම බඩු ගන්න එක පැත්තකිං තියල කඩේ පත්තරේ කියවල පරක්කු වෙලා බඩු ගෙනත් ගුටි කාපු අවස්ථා වෙනකං අපූරු සහ අමුතු කියවීමේ මතකයක් මට තියෙනව. ඇත්තටම අපි පොඩි දවස් වල උන්නෙ සමාගමකින් පාලනය කරපු වත්තක, ඒ වත්තට අයත් කුඩා ගෙදරක. ඉතිං ඉස්කෝලෙ යනව ඇර ඒ වත්තෙන් එළියට යැවුණෙ කලාතුරකින්. මේ හේතුව නිසා මගෙ කියවීමේ අවස්ථා සීමිත වෙලා තිබුණ. මේ නිසා මම බරපතල කියවීමේ පිපාසයකින් පෙලුණ. ඒ නිසා වෙන්න ඔ්න ලද අවස්ථාවෙ අහුවුණ දේ කියව්ව. ඒකට සාපේක්ෂව අද යම් මට්ටමක රැකියාවක් කරන කියවීමට අවශ්‍ය ඕනෑම දෙයක් අවට තියෙන නිසා වෙන්න ඕන මේ වෙන කොට කියවීමේ පුරුද්ද ඇල් මැරිල ගිහින්. නමුත් අලුත් පුරුද්දක් ඇති වෙමින් පවතිනව. ඒක මම පසුවට සදහන් කරන්නම්. කියවන්න ගිහිං වෙච්ච අලකලංචි නං බොහොමයි. එකක් දෙකක් නොලිව්වොත් අඩුවක් කියල හිතෙන නිසා කුඩා වුණත්  සිදුවීම් කිහිපයක් සඳහන් කරන්නම්.

        මතක විදිහට මම තුන වසරෙ වගේ වෙන්න ඕන. ඒ පන්තිවල පොඩි කතන්දර පොත් තිබුණ. ඉතිං ඔව්ව කියවන්න හම්බෙන්නෙත් කලාතුරකින්. නිකං අරුමෝසම් භාණ්ඩ වගේ තමා තිබුණෙ. දවසක් (මම හිතන විදිහට) පරීක්ෂකල ආව දවසක් වෙන්නෝන. මම පොතක් හොරෙන්ම පන්නගෙන ඩෙස්ක් එක යට ගහන් හිටියෙ. අර පරීක්ෂක මහත්තය පන්තියට ඇවිත් මොනවද කියවනව. මට මතක මට ඒ දේශනාව කම්මැලි බව විතරයි. ඊටත් ටීචට අහුවෙන්නෙ නැතිව පොත තියන්නත් ඕන. මම හෙමීට පොත දිගෑරගෙන ඩෙස්කුව යටිං තියාගෙන කියවනව. කෝම හරි පන්ති භාර ගුරුතුමිය මේක දැකල. ළඟට ඇවිත් බොහොම ආදරෙන් ඔළුවත් අත ගාල පන්ති වෙලාවෙ ඕව කියවන්නෑ පුතේ කියල මගෙන් පොත ඇරන් ගියා. ටික වෙලාවකින් අර පරීක්ෂක තුමා ගියා විතරයි ගුරුතුමී ආව නිකං මහසෝන් යස්සනී වගේ, දුන්න දීමක් කොහොමද දන්නවද දවස් දෙක තුනක් ඉස්කෝලෙ නොයා ඉන්න තරං වැදුණ.

           


 අනික් සිදුවීමත් ඒ වගේ. මේක වෙන්නෙ නමය වසරෙදි. අර සෞඛ්‍ය පොතේ පාඩම ආවෙ ඔය වසරට නොවැ. ඉතිං සහසුද්දෙන් මතකයි. සිංහල ගුරුතුමී උගන්නනව. මම පී.බී සේනානායක මහත්තයගෙ "රණරාල" කියවනව. ඒක ෆෙඩ්‍රික් මැරියට් ගෙ පොතක්. අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් තියේ කේ.ජී කරුණාතිලක මහත්මයගෙ "මාස්ටර්මන් රෙඩි" කියල. පොත කොයි තරං රසවත්ද කියනව නං මට මෙලෝ සිහියක් නෑ. ගුරුතුමී ඉන්නව කියල මතකත් නෑ. මම පොත කියවනව. ටික වෙලාවකින් පිට මැද්දෑවට දබෑං දබෑං ගාල වදුණ පාරවල් දෙක තුනකට පස්සෙ අතේ තිබුණ පොත නිකං උඩිං පාවෙලා යනව වගේ විතරයි දැක්කෙ. පොත පංතියෙන් එළියෙ. මම පංතිය ඇතුලෙ. නහයෙන් ගිණිපිඹින දෙකන්සෙං දුම් පිටකරන ඇස් වලින් ගිණිපුපුරු පිට කරන සිංහල ගුරුතුමී විතරක් මං ළඟ. එතකොට තමා පියවි සිහියට ආවෙ. බැණුං කෝටියයි තව චුට්ටයි. පංතියෙ උංට එදා ඉගෙන ගන්නත් නෑ. ඇත්තටම උං නං ඒකට කැමති වුණා. ඒ කාලච්ඡේදය ඉවර වෙනකං පොත එළියෙ.

        අපි හය වසරට ආවාම තමයි ඉස්කෝල පුස්තකාලය අපිට විවෘත වෙන්නෙ. ඉතිං සති දෙකකට එක දවසයි එක කාලච්ඡේදයයි  පුස්තකාලයට වෙන් වෙන්නෙ. මට හොඳට මතකයි පුස්තකාලෙට එක්කං යනව කිව්වම තිබුණ ෆීලින් එක. නිකං වෙරි හතම ගහල මල් පාත්තියක ඇවිදිනව වගේ. එච්චර සන්තෝසදායක හැඟීමක් මම අත්වින්දමයි වෙන්න ඇති. කොහොම හරි පුස්තකාලෙට ගියා. කට්ටිය එක්ක පොත් තේරුවා. දැං මට ඕන මේක කියවන්න. මම මොකද කලේ සිහියක් පතක් නැතිව අර පොත උස්සං එනේක. හොඳට මතකයි අදටත් පොතේ නම, "අරාබි නිසොල්ලාසය". සති දෙකකින් තමා වැඩේ පත්තු වුණේ. පොත ආපහු ගෙනිහිං බාර දීල අලුත් පොතක් ගන්න යනකොට එහෙම එකෙක් එහෙම පොතක් ගෙනිහිල්ලත් නෑ. පුස්තකාලෙ ලියාපදිංචි වෙලත් නෑ. පුස්තකාලෙ හිටිය ගුරුතුමී හොඳ නිසා මට පොඩි විහිළුවක් කරල මාව පුස්තකාලෙට බන්දවගෙන පොතක් දුන්න. හැබැයි කරපු මරි මෝල්  වැඩේ පන්තියටම නෝන්ඩි වෙලා ඉවරයි. ඊට පස්වෙ සති ගාණක් යනකං පුස්තකාලෙට ගියාම වෙච්ච දේවල් ගැන කියන්න ඕන නෑනෙ.


        තව කතා තියේ ඒත් දිග වැඩියි ඕන නෑ. මගෙ පොත් පිස්සුව කොයි තරම්ද කියන්න හොඳම උපහැරණයක් විතරක් කියන්නං. ඒ මොකද්ද කියනව නං සාමාන්‍ය පෙළ සිංහල දවසට කලිං දවසෙ බස් එකෙත් එන ගමන් විජයරත්න දොළවත්ත මහත්මය පරිවර්තනය කරපු “හිම බිම” කියව කියව ආව එක.ඒක නෝන්ඩි වෙලා මට වෙච්ච දේවල් කියන්න ඕන නෑනෙ. හැබැයි මම සිංහල වලට ඒ පාස් එකක් එක්ක සාමාන්‍ය පෙළ පාස් වුණා විතරක් නෙවෙයි කිසිම සබ්ජෙක්ට් එකක් ෆේල් වුණේ නෑ. කොච්චර අදක්ෂ වුණත්(විකල්පයක් නැති කමට කරන්න වුණ) චිත්‍ර වලට පවා එස් එකක් තිබුණ. චිත්‍ර ගුරුතුමී මටයි නාමලයටයි කිව්වෙ මොන්ටිසෝරි ළමයි දෙන්න කියල. අන්න එහෙමයි අපි ඉගෙන ගත්තෙ.

        ඉතිං මම පොත් පත්තර කියවල පිස්සු නටල විභාග ලියල රස්සා දෙක තුනකුත් කරන ගමං අර තිබ්බ පොත් පිස්සුවට බේත් ගන්න පටං ගත්ත. අවුරුදු ගාණක් බුක් ෆෙයා ගියා, පොත් අට්ටි පිටිං ගෙදර ගෙනාව. සෙකන්ඩ් හෑන්ඩ් පොත් ගත්ත. එහෙම කරල පොත් දෙදාහකට කිට්ටු ප්‍රමාණයක් එකතු වුණා. ඉන් බහුතරයක් පාසැල් පුස්තකාල වල, තව කොටසක් කියවල ගෙනත් දෙන්නං මචං කියල ගෙනිහිං නැවත නොලැබුණ ලයිස්තුවෙ. කොටසක් මම ළඟ.

        ඒත් කොච්චර බේත් ගත්තත් සනීප නොවුණ මගෙ පොත් පිස්සුවට බේත් දීල නිට්ටාවටම සනීප කරන්න දායක වුණේ මේ මෑතක හිටපු අපේ අතිගරු ජනඋතුමානන් වන ගෝටාබය මහත්තැං තමයි. එතුමාට පිංසිද්ද වෙන්න  මාසෙකට පොත් පහක් වත් ගත්ත මට දැං මට එක පොතක් වත් ගන්න සල්ලි නෑ. මතක ඇති දවසින් පොතක් ගත්තෙ නෑ. ඉතිං දිවා රෑ දෙකේ මං ඒ උත්තමයගෙ ගුණ ගායනා කරන්නැතිව කොහොමද නේද..

        කවුරු කොහොම, මොනව කිව්වත් ලංකාවෙ ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව පොත්මිල වැඩියි. වැඩියි කියන්නෙ අනවශ්‍ය විදිහට ඉහළ ගිහින් තියෙන්නෙ. දැං කියන්නෙපා අසවල් රටට සාපේක්ෂව අපේ රටේ පොත් මිල සෑහෙන්න ලාබයි කියල. මොකද ඒ රටේ ජනතාවට තියෙනව වගේ උසස් ජීවන තත්වයක් අපිට නෑනෙ. අනිත් කාරණය තමයි ලංකාවේ අතිගරු තුමා ලා ටික මිනිස්සු දැනුමෙන් උගත්කමින් සන්නද්ධ වෙනවට හරි කැමති වීම.  ඉතිං ටික ටික පොත් වලින් ජනතාව ඈත් වෙන එක ලොකු පුදුමයක් නෙවෙයි. නමුත් ඊට සාපේක්ෂව අන්තර්ජාලය හරහා ඊපොත් සහ වෙබ් නවල් කියවීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් පවතිනව. ඉතිං ඉස්සරහට කින්ඩ්ල්, කෝබෝ,ඔනික්ස්,  වගේ ඊරීඩර්ස් විතරක් ඉතුරු වෙයිද කියලත් හි‌තෙනව. කොහොමත් මම වගේ ඕල්ඩ් ස්කූලර්ස්ල ඉන්නකං පොත් තියෙයි. ඉස්සරහට පොත් කියන්නෙ කෞතුක භාණ්ඩ මමට්ටමට වැටෙයි කියල හිතෙනව.

    මට කියන්න තියෙන්නෙ ඔය වගේ  වල් පල් තමයි. ඉතිං ඒව බැණ බැන හරි කියවපු ඔයාලටත් ස්තූතියි. ඔයාලත් මොනව හරි කියන්නකො ඈ.

    මේ දවස් වල කියවීමේ පුරුද්ද වෙනස් වෙලා ඇල්මැරිල ගිහිං කියල කලිනුත් කිව්වනේ. ඉතිං ඒකට එක හේතුවක් තමා ලොවපුරා මන්ගා කියල හදුන්වන චිත්‍රකතා විශේෂය. මම ඒ ගැන ඊළඟට ලියනව. ඒ නිසා මෙතන ලියන්න අදහසක් නෑ.

 

25 comments:

  1. ඇත්ත කතාව. අලුතෙන් නිකුත් වෙන පොත් දකින කොට කවුරුහරි ගන්නවා ඇති කියලා හිතෙනවා. ඒකට සල්ලි වෙන්කරගන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. අන්තර්ජාලයෙන් නිකං ගන්න පුළුවන් ඒවා බාගත කරගෙන කියවලා නිකං ඉන්නවා. හොඳ වෙලාවට ඉංග්‍රීසි ටිකක් පුළුවන් උනේ. නැත්නම් ඒකත් නෑ.

    ReplyDelete
    Replies
    1. පොත් මිල ගැන නම් කතා කරල වැඩක් නෑ.
      මම සල්ලි එකතු කරනව මේ දවස් වල කින්ඩ්ල් හරි කෝබෝ එකක් හරි ගන්න 🤭🤭

      Delete
    2. පරණ ටැබ් එකක් වුනත් ඇති. ලැප්ටොප් එකේ ඩවුන්ලෝඩ්කරල ටැබ් එක කියවන්න විතරක් පාවිච්චි කරනවා. පේපර් පොත් / ඊබුක්ස් මාරුවෙන් මාරුවට කියවනවා.

      අර කොමික් කලෙක්ෂන් එක දැන් 349 GB විතර(සමහර ඒවා ඕපන් කරගන්න අමාරුයි ඒත්) , අර සයිට් එකෙන් පොත් කලෙක්ෂන් එක 10.7 GB

      Delete
    3. ටැබ් ගන්න බෑ දැං කොහෙ ටැබ් ගන්නද.

      ඒ කලෙක්ෂන් එක තාම මංලග තියේ. ඉද හිටල කියවනව 🙈🙈

      Delete
  2. //ගුරුතුමී ආව නිකං මහසෝන් යස්සනී වගේ, දුන්න දීමක් කොහොමද දන්නවද දවස් දෙක තුනක් ඉස්කෝලෙ නොයා ඉන්න තරං වැදුණ//
    // නහයෙන් ගිණිපිඹින දෙකන්සෙං දුම් පිටකරන ඇස් වලින් ගිණිපුපුරු පිට කරන සිංහල ගුරුතුමී...// කොච්චර හොඳ තිබුණත්, මේක තමයි පරණ ක්‍රමයේ නරක පැත්ත.

    හෙහ්,හෙහ් ඒ දවස් වල ඉස්කෝල ගුරුකම් කරල තියෙන්නෙ මකරු නෙව?😋
    ලස්සනට ලියලා. මගේ ලමා කාලයත් මතක් වුනා.💐👌🙏

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල එහෙමයි. දැං පොත් කියවපල්ල කියල පස්සෙං දුවනව 😂😂😂
      කාලය මැව් වෙනසක අරුමේ 😂😂

      Delete
  3. මේකෙ තියෙන ලින්ක් වලට ගියාමයි තේරුනේ, මේ අර ලියනවයි කිව්ව පොත් කතාව බව. 😁💐🙏 හහ්, අපි නොදන්න මොණරතැන්න:

    https://www.youtube.com/shorts/T9xcwOxObGs

    ReplyDelete
    Replies
    1. 😁😁😁😁

      ාමානවම හරි ලියන්නත් එපැයි. නේත..

      ඒ ඇනිමේෂන් එක බැලුවද

      Delete
    2. බැලුව, බැලුව. සම්භාව්‍ය නං නෙමෙයි, ඒත් කම්මැලි නැතුව එක පාරක් විතරක් බැලුවෑකි.

      Delete
    3. සම්භාව්‍ය වෙන්ටම ඕනයෑ. 😂😂
      ආතල් නං එච්චරයි නෙව.

      අයි ඩෝ පුපවල් ඉඹින්නෙ 🙈🙈

      Delete
  4. මහේෂ්, මම අපේ ආච්චිටයි සීයටයි ඇහෙන්න- දිනපතාම 'ලංකාදීප' පත්තරය කියවන්න පටන් ගත්තේ කියවෙන දේ ගැන කිසිම තේරුමක් නැතිව, හෝඩියේ පන්තියට යන්නටත් කලින් ඉඳලා.
    එතන හිට ඉතිං කඩෙන් බඩු ඔතලා දෙන පත්තර කෑල්ලක්වත් නොකියවා ඇරියේ නෑ.
    ඊළඟට අහුවෙන ඕනිම පොතක්. ප්‍රංශ රස- මකුණා වගේ අන්තිම ශ්රුන්ගාරාත්මක පොතුත් කියෙව්ව පාසල් යද්දීම.
    ඔය විස්තර ඔක්කොම මගේ බ්ලොගයෙදී වරින්-වර ලියලා තියෙන්නෙ. ලිව්වේ නැත්තේ එකයි- ඒ කියැවීමේ පුරුද්දට පිං අයිති වෙන්න මම අපොස සාපෙ විභාගෙන් සමත් වුණේ සිංහල විෂයයට D / අති විශිෂ්ට සම්මාන සහිතවයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලියන එකත් මහ කම්මැලි වැඩක්. නැද්ද.
      අපි කියවපු කියවිල්ල නිසා ඇත්තටම ඒ අතිං සෑහෙන්න ඉස්සරහට ආව ඒත් මම නං ඒකෙන් කරගත්ත දෙයක් නෑ. ආසාවෙන් හිටිය ටීචිං ගියෙත් නෑ.
      නිමල් අයිය නං අඩුම ළඟින් යන රස්සාවක් හරි කරනව.
      ඒ ගැන සතුටුයි. ☺️

      සාපෙ. වගේම උපෙත් සිංහල ගොඩ. ඒ කියවිල්ල නිසා. පාඩං කරපු ලබ්බක් නෑ. එතනයි වැරදුනේ. පාඩං කලා නං වඩාත් ඉස්සරහට යනව. ඩිග්‍රියෙත් සිංහල වලට ඒ අකුරක්ති යෙන්නෙ 😁😁😁

      Delete
    2. //...මේ වෙන කොට කියවීමේ පුරුද්ද ඇල් මැරිල ගිහින්. නමුත් අලුත් පුරුද්දක් ඇති වෙමින් පවතිනව//

      හෑ, ඒ මොකක්ද?🤔😯

      Delete
    3. ලියන්නං ලියන්නං. ඉවසා හිටින්

      Delete
  5. මගෙ පොත් පිස්සුවට බේත් දීල නිට්ටාවටම සනීප කරන්න දායක වුණේ මේ මෑතක හිටපු අපේ අතිගරු ජනඋතුමානන් වන ගෝටාබය මහත්තැං තමයි//
    same here, not only books people dont have money to by daily needs.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපි නිතරම ගෙවල් වල යැවෙන හින්ද දකිනවනෙ. මිනිස්සු මාර කට්ටක් කන්නෙ වේල් දෙකක් ගැටගහගන්න.
      ආණ්ඩුවෙ සේවකයො කියල අපිටත් මහ ලොකු වෙනසක් නෑ . මාසෙට හම්බෙන පඩිය සති දෙකට ඉවරයි. මොනා කරන්නද ඉතිං.

      Delete
  6. හෙ හෙ ගහපු ඒව නම් හරි නෑ මොනවා උනත් 😂

    ReplyDelete
    Replies
    1. ඔව්ව නං මොනවත සනා..කාපු කෑම් වල හැටියට

      Delete
  7. ‍පොත් කියැවිල්ල ගැන මාත් සෑ‍හෙන්න ලියලා ඇති. උපන්දිනේට ඇඳුම්-සෙල්ලං බඩු-අරුමෝසං වෙනුවට වය‍ස ගාණට පොත් ඉල්ලපු ළමයෙක්‍ මං. ‍දැන් ඒ පොත් පොතක් පතක් ගන්න බැරි ළමයින්ට බෙදලා ‍දෙනවා. හැබැයි තාම වයසෙ ගාණට ‍පොත් ඉල්ලන පුරුද්ද නැති ‍ව‍ෙලා නෑ. අම්මයි තාත්තයි ස්වාමිපුරුසයාට කියනවා මට අවුරුදු පනහක් හැටක් ‍‍ව‍ෙද්දි ‍හරි වැඩේ තමා ‍‍කියලා!

    ReplyDelete
    Replies
    1. අප්පා.. හරි වාසනාවන්තයි..
      🥰🥰🥰
      එතනම කොයි තරම් පොත්ද
      ඉරිසියයි වගේ 🙈🙈🙈

      ගත්තු පොතක් මමම ගත්ත ඇර ඇත්තටම තෑගි ලැබිල නං නෑ අද වෙනකං. ලැබීම සීරෝ.. හැමදේකින්ම 😂😂

      ඒ අතිං නං ලක් එකේ පත හිලක් තියේ 🙈🙈

      Delete
  8. පොත් කියවනකොට ගහන ගුරුවරු නම් පාපයක්. හොඳ වෙලාවට එහෙම අත්දැකීමක් නැහැ. මම ඩීමන් ආනන්දගේ පොත් කියවනවා කියල කවුද තාත්තට කියල.'ඔන්න ඔහේ කියවපුදෙන් කියල තාත්ත කියල. කේලම් කියපු එකා නෝන්ඩි . -පොත් නම් දැන් ගණන් වැඩි තමා

    ReplyDelete
  9. මම මේ ඊයේ ගත්තා කින්ඩල් එකක් .. පොත් කියවන එක වෙන්නේ නැහැ .. බලමු කින්ඩ්ල් එකවත් කියවන්න උදව් වෙයි ද කියල .. Audible එකේ මාස තුනක් නොමිලේ දෙනවා දැකල Dune ගත්තා .. පොත් අහන එකත් නරකම නැහැ .. නමුත් අවධානය තියාගෙනම ඉන්න ඕනේ

    ReplyDelete
  10. මේ කාලේ හැමෝගෙම කියවන පුරුද්ද ඇල් මැරිල තියෙන්නේ
    මට පොතක් ගත්තොත් මාස දෙකකට වඩා යනව දැන් කියවල ඉවර කරන්න

    ReplyDelete
    Replies
    1. අපි පොත් නොකියවන රහස මොකක්ද කියල දැන ගන්න ඕන උනොත් මේක කියවන්නකො
      https://jonelemon.blogspot.com/2024/07/blog-post_17.html

      Delete