Monday, November 10, 2025

දිනන දවසක් - Whispers Of Desire


මම හිතනවා ඔයාලා තීරු ලිපි කියවලා ඇති කියලා. ඇත්තටම මගේ ප්‍රියතම සාහිත්‍යය ශානරයක් තමයි තීරු ලිපි කියන්නෙ.  රසික ජයකොඩි ගේ ඉඳන් නීල් විජේරත්න වෙනකන් නැත්නම් මහාචාර්ය ධම්මික ගංගානාත් මහත්මයා වෙනකන් මගේ තීරුලිපි කියවීමේ පරාසය සීමාවක් නැතුවම විහිදිලා යනවා. ඒ වගේම තමයි කවදාහරි දවසක මමත් තීරු ලිපියක් ලියන්න ඕන කියලා ලොකු ආසාවක් හිතේ තිබුණා. ඒත් මම වගේ  ලිවීම ගැන ලොකු හැකියාවක් නැති කෙනෙක්ට ඒක ටිකක් දුෂ්කර කාර්යයක්. පුවත්පතකට ලියන්න බැරි උනත් මුහුණු පොතේ මගෙ පේජ් එක වෙනුවෙන්  තීරු ලිපියක් වගේ ලිපියක්, අඩුම වශයෙන් ඒ ආසන්නයට එන ලිපියක් ලියන්න මට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනව. ඉතින් මගෙ මේ වෑයම ඒ වෙනුවෙන්.

 මම ඉස්සර ඉඳලම කැමතියි මොනවා හරි ලියන්න. ඇත්තටම ලියන එකට මගේ ආසාව ආවේ නිරන්තරයෙන්ම මගේ තිබුණ කියවීමේ පුරුද්ද නිසා. මං ඒකට පුරුද්දක් කියලා කියන්නේ,  සාමාන්‍යයෙන් කවුරු හරි ඔයාලගේ විනෝදාංශය මොකක්ද කියලා අහනකොට මටත් ඉස්සරෝම ආපු උත්තරේ තමයි පොත් කියවනවා කියන එක. ඒත් පොත් කියවන එක මට විනෝදාංශයකටත් වැඩිය  නිකං ජීවිතේ කොටසක් වගේ.  මගේ හිතේ  හැමදාම තිබුණ හීනයක් තමයි  අකුරු අමුණලා වචන එකතු කරලා වාක්‍යය ඡේදවලට ගලපලා ඡේද පරිච්ඡේද කරලා පරිච්ඡේද පොතක් දක්වා පරිවර්තනය කරපු මහා ලේඛකයෝ වගේ, ලේඛිකාවො වගේ කවදා හරි පොතක් ලියන එක. මම ඒකට සෑහෙන වතාවක් උත්සාහ කරලා තියෙනවා. උත්සාහ කරන තරමටම මගෙ ඇතුළෙන්ම මම අසමත් වෙලා තියෙනවා. පරාද වෙලා තියෙනවා. ඒ උනාට අද වෙනකන් මට මේ ලිවීම ගැන තියෙන දැවෙන ආශාව නැති කරගන්න බැරි වුණා. ඇත්තටම කිව්වොත් ඒ මගේ ලිවීමේ ආශාව අසමත් කරන්න මගේ අසමත් වීම අසමත් වුණා. ඉතින් මම කාලයක් තිස්සේ මොනවා හරි කුරුටු ගානවා. කප - කපා කොට - කොටා ආපහු ලිය - ලියා අකුරු වෙනස් කරලා, වචන වෙනස් කරලා, වාක්‍ය  වෙනස් කරලා, ඡේද වෙනස් කරලා ගලපලා දිගින් දිගටම අසමත් වෙවී සමත් වෙන්න උත්සාහ කරමින් ඉන්නවා.  

දන්නවද.? තෝමස් අල්වා එඩිසන්ට වුනත් දස දහස් වාරයක් උත්සාහ කරන්න වුණා නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන විදුලි බල්බයක් නිපදවාගන්න. වතාවකදී ඔහු කියනවා "මම දස දහස් වතාවක් අසමත් වූවා නෙවෙයි. මම අසාර්ථක වීමේ ක්‍රම දස දහසක් පමණ සාර්ථකව සොයා ගත්තා පමණයි." කියලා. තෝමස් අල්වා එඩිසන් පසුව වාර්තා කරන ආකාරයට ඔහු එකිනෙකට වෙනස් න්‍යායන් තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් සිය තාප දීප්ත විදුලි බුබුල නිපදවීම සඳහා භාවිතා කලා.  විද්‍යාඥයන්ට එහෙමනං මං වගේ සුහුඹුල්  දුහුණෙක්ට කොහොම වෙන්න පුළුවන්ද.? මම දැනුත් මේ ලියනවා වගේ හෙටත් ලියයි. හෙට ලියනවා වගේ ඉදිරියටත් ලියයි. 

සමහර විට මම අසමත් වෙයි. සමහර විට එක දවසකදි හරි මම දිනයි. අන්න ඒ දිනන දවස වෙනුවෙන් මම ලියනවා. පුළුවන් තරම් ලියනවා. රණතුංග කරුණානන්දට පුළුවන් වුණා නම් හොඳම පරාජිතයා විදිහට 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසාන කරන්න, මම හිතනවා මේ ජීවිතේ අවසන් කරන්න එක විනාඩියක් හරි තියලා  අඩුම ගානේ මොනයම්ම හෝ ආකාරයක දිනුමක් දිනා ගන්න පුළුවන් වෙයි කියලා. ඔබට තර්ක කරන්න පුළුවන් ඔයා ලියන්න ඕනේ දිනන්න නෙවෙයි. ඔයාව තෘප්තිමත් කරන්න කියලා. ඒ උනත් මම එක දෙයක් දන්නවා මම ලියන දේවල් වලින් මම තෘප්තිමත් වෙන්නේ කවදා හරි දවසක මේවා කියවලා ඔයා තෘප්තිමත් වුන දවසට විතරයි කියලා. අන්න ඒ ඔයා තෘප්තිමත් වෙන දවස තමයි මගේ දිනන දවස. ඉතින් කවදාක හරි උදාවෙයි කියල මම හිතන ඒ දවස වෙනුවෙන් මම තවදුරටත් උත්සාහ කරමින් ඉන්නවා.


25 comments:

  1. මමත් හරි ආසයි තීරු ලිපි ලියන්න.ඒත් අමාරුයි

    ReplyDelete
  2. මුලින්ම කියල හිටින්කො තීරු ලිපි කියන්නෙ මොකක්ද කියලා. තීරු ලිපි වල විශේෂත්වය මොකක්ද? කෙටි ලිපියක් තීරුවක ලිව්වොත් "තීරු ලිපියක්" වෙනවද?

    ReplyDelete
    Replies
    1. https://share.google/images/3y7sgpovPy7grQnbv

      Delete
    2. @බසූ..
      ගූගලය කියන්නෙ මේම

      A column is a recurring article in a publication, usually written by the same author (a columnist), who expresses their personal opinion, analysis, or commentary on a specific topic.
      ​Unlike a news article, which is objective and fact-based, a column is subjective and often uses a conversational or informal tone.

      Delete
    3. තෑන්ක්ස්. මේකයි, ඩ්‍රැකියගෙ උදාහරණෙයි බැලුවාම, දැන් යම් අදහසක් තියනවා.🙏

      Delete
  3. කියවන එක නං හොඳ දෙයක් තමයි. පොත්ම නං නෙමෙයි මමත් කරන්නෙ කියවන එකම තමයි, මේ බොලොග් එකත් ඇතුලුව.

    ReplyDelete
  4. කියවමු ලියමු උගනිමු ඒ හැම දෙයකින්
    අභ්‍යාසයෙන් හැකි වෙයි රචනය ලියමන්
    ඕනාවට වඩා නොහිතා පසුතැවෙමින්
    අදම අරඹන්න 'ජය කණු' කරා ගමන්!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියා.. ලියනව දිගටම. ජය.

      Delete
  5. හානේ... ඔයා ලියනවැයි. කමක්නෑ ඔහොම යං.

    ReplyDelete
  6. මම දැකපු ලස්සන ම තීරු ලිපිය ලිව්වෙ පත්‍ර මිත්‍ර කියල කෙනෙක්. දිවයිනේ ද කොහෙ ද ගියෙ, මං අට වසරෙ දි විතර. ලිව්වෙ, පරණ දඹදෙණි යුගයේ සිංහල ශෛලියෙන්. හරියට මේ වගේ...

    පත්‍ර මිත්‍රයෝ උදාසනක් හි ම පදික වේදිකාව දිගේ වෝකයක් දැමූහ. එකල එක්තරා කොලු ගැටයෙක් දුටුවමෝ "එම්බල කුමක් කරවු දැ"යි ඇසූහ.
    කොලුවා ද, "එම්බල අංකලය, තොප බයිලා ගසන්නේ හැයි?" දැයි ඇසූ...

    ReplyDelete
    Replies
    1. ඒක මරු.
      මට සෙට්ම නීල් විජේරත්න, මානි වගේ අය. මට ඒම ලියන්න බැරි වෙයි. එච්චර එක්ස්පීරියන්ස් නෑ නෙව හැබැයි මාත් ට්‍ර යි කරනව

      Delete
  7. Replies
    1. ලියන්ට. ලියන්ට!
      දිගටම යමක් කරනකොට ඒ දේ ගැන හැකියාවත් වර්ධනය වෙනවා නෙව හිටං.

      කෝ බොලා අහල නෑනෙ 'කොන්සිස්ට් නැන්සි' ගැන 😂😂

      Delete
    2. ඔව්ව අහන්ඩ හොද දේවල් නෙවී. 😂😂 වස් වදිනව

      Delete
  8. තෝ එතකොට අපේ තීරු ලිපි කියෙව්වේ නැහැ . යකෝ තීරු ලිපි ලියල පොතකුත් ගැහුවා පොල්කට්ටෙන් මගුලට කියල . 😀 ඔන් සීරියස් නෝට් , සුබ පැතුම් උත්සාහයට

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වල දේශපාලන ලිපි වලට තීරු ලිපි කියලත් කියනවනේ 😆ඒවා එකතු කරල ගැහුවම තීරු ලිපි පොත් තමා . මේ උන්නැහේ මොනව කියනවද මන්ද , දැන් ඔය ලියපු විචාර ටික එකතු කරලා ගැහුවත් විචාර තීරු ලිපි තමයි https://kolambagamaya.blogspot.com/p/1.html

      Delete
    2. https://kolambagamaya.blogspot.com/p/blog-page_18.html

      Delete
    3. @ අජිත්තයියා
      පොල්කට්ටෙන් එපිටට මා ළඟ තියේ. කියවලත් තියේ. ඔබ එය මට ලබා දුන්නේ නෙළුම් යාය සම්මාන උළෙලකදී. ඒ දවස් වල තීරු ලිපි ගැන කියවා යමක් ලියන්න දැනුමක් නොතිබුණ කාලයක්. ඉදිරියේදී පොල්කට්ට ආපහු කියවන්න හිතා ඉන්නවා. එතකොට ඒ ගැන කතා කරමු 😃😃
      අජිත් අයියා ලියන එව්ව නං ඩිරෙක්ට්ලිම තීරු ලිපි නැත්තං Column Article විදිහට ගන්න පුලුවන් නේ. අපිට තාම එච්චර පන්නරයක් වත්, අත්දැකීම් වත්, ලියවිල්ලෙ මෝරපු බවක් වත් නෑ. බලමු. ලියමු. 🥰🥰

      Delete