Saturday, February 11, 2023

කාල නදිය දිගේ සුර අසුර යාමයේදී වියැකෙන කුර හඬ සොයා

       



         නෝබට් අයගමගේ නම් සූර කතන්දර කරුවාගේ නවතම ලියමන කියවා අවසන් කළා පමණය. මා විසින් 2023 වර්ෂයට කියවා අවසන් කළ ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව ලෙස “කුර හඩෙකි වියැකෙන” සඳහන් කළ හැකිය. නවකතාවක් ලෙස බිම නොතබා කියවන්නට සිත් දෙන  “කුර හඩෙකි වියැකෙන” කෘතිය වේගවත් කියවීමක් නිරායාසයෙන් ඉල්ලා සිටින "පේජ් ටර්නිං" පන්නයේ ලා අනායාසීව තැබිය හැකි නවකතාවකි.

        සුපුරුදු පරිදි ඔහුගේ කතා කීමේ විලාසයද කතාවද අපූරු බැව් කිව යුතුමය. කතාව අපූර්ව වන්නේ පාදක වන වස්තු විෂයෙහි  වන නැවුම් බවක් නිසා නොව කතාකරුවාගේ දක්ෂතාවය නිසා බවද සිතමි. සිය තෙවන නවකතාව ලියන්නට පළමු කතුවරයා විසින් අදාල වස්තු විෂයය ගැන මනා හැදෑරීමක් කර, ඉවසිලිවන්තව සිය කතාව ගොඩ නැගීම සඳහා පරිසරය සකසාගෙන ඇති බව හැඟේ. නවකතාවට පසුබිම් වන සමයේ උඩරට කුලීනයන්ද, ඔවුනගේ ප්‍රවේණි දාසයන්ද ඒ ඒ දාසයන් විසින් කරන්නට යෙදුණ කාර්යයන් පිළිබඳවද මනා හැදෑරීමක් කතුවරයා විසින් කරන්නට ඇති බව සිතමි. එහෙත් කතාව තුළට තත්කාලීන සමාජ විස්තරයන් ඇතුලත්  කිරීමට උත්සුක වී නොමැති බව කිව යුතුය. එයින් කතාව වේගවත් ලෙස පසුවෙන් හා සුමටව කියවාගෙන යන්නට කැමැත්තවුන්ට වාසි සහගත තත්වයක් නිර්මාණය කර ඇත. නමුත් ඒ නිසාම කතාවේ පැතලි ස්වරූපයක්  මා දකිමි. නමුත් සිදුවීම් සහ අවස්ථාවන් නිරූපණයෙහි ලා කතුවරයා දක්වන සුහුරු බව අපූර්ව රසයක් ජනිත කරන බව නම් පැවසිය යුතුමය. කතන්දරයක් ලෙස සාර්ථක නවකතාවක් ලෙස හැඳින්විය හැකිය.


        ඔහුගේ මින් පෙර පළ වූ කාල නදී ගලා බසී සහ සුර අසුර යාමයට පසුව එන “කුර හඩෙකි වියැකෙන” කෘතිය එක්තරා ආකාරයක බලාපොරොත්තු කඩ කළ නිර්මාණයක් ලෙසද දකිමි. කතුවරයාගේ තුන්වන නවකතාව ලෙස සලකා බලන  විට සැබැවින්ම බලාපොරොත්තු වන මට්ටමට ළඟා නොවූවකි. “කුර හඩෙකි වියැකෙන” එළි දකින්නේ කාල නදිය ගලා ගොස් වසර නවයකට පසුවය. එනමුත් තවමත් සාදිරිස් ඩිංගිරාල තුළින් මතුවී හොල්මන් කරනවා මම දකිමි. අයගමගේ මහතාට සාදිරිස් පරයා ඉහළට මතුවන ඩිංගිරාළ කෙනෙක් මවා පාන්නට නොහැකි වී ඇතැයි දැනෙයි. කාල නදියට පාරු පන්නය වස්තු විශය වී ඇත්තා සේම කුර හඩෙකි සඳහා වස්තු විෂය වී ඇත්තේ තවලම් පන්නයයි. 

        

        මෙම කෘති ද්විත්වය වස්තු බීජ දෙකක් ලෙස සලකා කියවාගෙන යා හැකි වුවද සමාන්තර රේඛා දෙකක් මෙන් මේ නිර්මාණයන් සමාන මඟෙක සමාන ලක්ෂණ දරමින් ඇදී යයි. මේ කෘති දෙකක් සංසංදනය කරමින් ලියැවෙන ලියවිල්ලක් නොවේ. එහෙත් අනවරතයෙන්ම ඒ කෘති ද්විත්වය සංසංදනය වීම නොවැලැක්විය හැකි කාරණාවකි. එසේම කතාව නිර්මාණයෙහි ලා වෙහෙස වීමේදී සිනමාරූපී නවකතාවක් නිර්මාණය කිරීමට අවැසි වීම නිසාම නිර්මාණය වි යැයි සිතිය හැකි ප්ලොට් හෝල්ස් කිහිපයක් දැකිය හැක. මා හට තදින්ම දැනුනේ ගජසිංහ අප්පෝ තවලම හඹාගොස් නැවත එන විට ඔහු හසුවන ධාරානිපාත වර්ෂාවයි. (පොත කියවන්නෙකුට එම අවස්ථාව කුමක්දැයි මතක් වනවා ඇතැයි සිතමි) අවස්ථානුකූලව වර්ෂාවක අවශ්‍යතාවක් ඇති වූවා ම නම් එයින් එක ළඟ යෙදෙන සකල සිදුවීම් වලට බලපෑමක් විය යුතුය. එනමුත් කතුවරයා එම අවස්ථාව හිතා මතාම මඟ ඇර ඇතැයි සිතමි.


        මෙහි එන ප්‍රධාන චරිතය ඩිංගිරාල ද කාල නදියේ සේදිරිස් වාගේම යැයි මා ඉහත කීවෙමි. ඩිංගිරාළ ගේ චරිතය අප මනස තුළ සේදිරිස් ගේ ඡායානුවාදයක් නිර්මාණය කරයි. ඩිංගිරාල තෙමේ  වීර පුරුෂයෙකි. සියල්ල මනා කොට දන්නේය. පෞර්ෂවත් ය. අනෙකුන් කෙරේ නිරන්තර කැප වෙන්නෙකි. නිර්භය ය. වැඩි කළබල නැත. කොටින්ම සාදිරිස් සේම ඇල්ෆා මේල් කැරැක්ටරයකි. සාදිරිස් ගේ ප්‍රේමය මෙන්ම ඩිංගිරාළගේ ප්‍රේමයත් අපූරුය. එනයින්ම සමානය. 


        වීරයන් තනි සුදුය. දුෂ්ටයන් තනි කලුය. පැතලිය. අලු චරිත නැත. එක්දහස් නවසිය ගණං වල මුල් භාගයේ කන්ද උඩරට ශ්‍රී විභූතියද ගර්වයද දියැවෙමින් යන සමයක් පසුබිම් කරගත් නවකතාව තත්කාලීන සමාජීය සිදුවීම් වලට සෑහෙන තරමකින් සංවේදී වීමට උත්සාහ ගෙන ඇත.

    

        සාධනීය චරිත මැවීමක් යම් තරමින් හෝ දුටුයේ කීරාල ඇත්තා ළඟය. පබසරාව හෝ තැන්නෙ අප්පෝ අවශ්‍ය ලෙස පාවිච්චි කර නැත. ගජසිංහ අප්පෝ චරිතයක් ලෙස යම් තාක් භාවිත කර ඇතද ඔහුගේ චරිතය නිර්මාණය වීමේදී ගජසිංහවහව දුෂ්ටයෙකු ලෙස අසාධාරණයට ලක්ව ඇති බවක් සිතමි. සිරිබෝහාමිලා අංචිරාලලා එමලිනා ලා සුවඳිනා ලා සේතුහාමි ලා සොමිනෝනලා කතාව තුල ඇතිව නැතිව යන සියුම් ආලෝක පුංජයන් ය. ඇතැම් සිදුවීම් හි ඇතැම් චරිතයන් අයාලේ යන්නට හැර අතහැර දමා ඇති අවස්ථාද නැතිවාම නොවේ.


        පරම්පරාවක බිඳ වැටීමද පරම්පරා ගණනක් මුළුල්ලේ පැවතුන කර්මාන්තයක බිඳ වැටීමද අපට කියන “කුර හඩෙකි වියැකෙන” සමස්ථයක් ලෙස ගෙන බැලුවහොත් කතුවරයාගේම නවකතාවක් වන “සුර අසුර යාමය” නිර්මාණය වූ කාලයටත් වඩා වඩා පසු පසින් තිබෙන නිර්මාණයක් ලෙස මම දකිමි. 


කුර හඩෙකි වියැකෙන

කර්තෘ - නෝබට් අයගමගේ

ප්‍රකාශනය - සුරස

මිල - රු. 1700.00

පිටු - 427

ඇගයීම - 3.5/5




24 comments:

  1. පස්සේ දවසක හොයාගෙන කියවන්නම් අයගමගේ ගේ පොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. පොත් හොඳයි සහ කතාවත් හොඳයි. නමුත් තුන්වෙනිි පොත විදිහට හොඳටම මදි. ශිල්පීය පක්ෂය දුර්වලයි 😊

      Delete
  2. අපිට කොයින්දෑ පූසො මාලු. කියන්න ලැබෙන එකක් නැති වුනත් හොඳ විචාරයක්.

    ReplyDelete
    Replies
    1. ඇයි කියවන්න නොලැබෙන්නෙ. බසුට අවැසි නම් ඔය ඉන්න අහටම ගෙන්න ගන්න පුලුවන්. නැත්තං අපේ අජිත් මහතා වගේ ලංකාවට ආවහම රොක්කරං යන්න පුලාං.

      නැත්තං කියාන්. මම එවඥ්ඥං

      Delete
  3. හුම්.... කොම්ලුව ලියම්ල නේ.
    බස්පා කීව සේ මටත් කියවන්න හම්බුවෙන එකක් නෑ. ඒකට මොකදෑ ඕන් ඔහෙගෙ විචාරය කියෙව්වා හිටං.

    ReplyDelete
    Replies
    1. සුර අසුරත්, ඉතිහාස කතාවක්ද... මහේසො

      Delete
    2. නමිත් ඉන්නෙ විප්‍රවාසීව ව ද.
      මට කොමෙන්ට් කරන්න පෝස්ට් දාන්න දුන්නෑ. දැනුත් ඉද හිටල පොඩි පොඩි කින්ඩි දානව. ඒකයි ඈත් වෙලාම හිටියෙ කෝමත් මේක වැහෙයි. මම වර්ඩ්ප්‍රෙස් යාවි.


      සුර අසුර ඉතිහාස කතා නෙවී. ඒක වෙනම ලෙවල් එකක්. මේකට වඩා හොඳයි.

      Delete
    3. පිම්ස්හුද බොල... සිරිලම්කාවෙන් පිට මං කොයි යන්ටද 😂

      ඔව් බම්. ගූගලායා දෙන පැසිලිටි අඩුකරනවා හිට. වර්ඩ්ප්‍රෙස් හොඳායි. ඒත් ගූගල් ඈයෝ වෙච්ච අපිට අඩුසැලකිලි... වර්ඩ්ප්‍රෙස්. ඒ නිසා බලලා යන්ට. කියෝන/කොමෙන්ට් දාන ඈයො අඩුවෙයි... ගෙහුං.

      වෙන ඇඩ්ඩියෙක් ඇඩ් කරලා බලන්න

      Delete
    4. //වෙන ඇඩ්ඩියෙක් ඇඩ් කරලා බලන්න//
      ඒක තමයි එකම තාවකාලික පිලියම.

      Delete
    5. ඕක නොකර ඉන්නෙ මේ. වෙන ඇඩ්ඩියෙක් කියන්නෙ ඉතිං මමම වෙන ඊමේල් එක්කිං එන්නෙපෑ. කරගන්න බෑ. අනික දෙක්කට මාරු වෙවී ඉන්නත් බෑ. බලමු පුලුවන් පුලුවන් විදිහට කරනව. නැත්තං දමල ගහල මක බෑ වෙනව.

      මොට්ස්... අනේ මංද.. බලමු

      Delete
  4. ඔය තවලම් පන්නය සහ පාරු පන්නය දෙකම, වෙනම උප සංස්කෘති දෙකක්. හිතූමතේ ජීවිතේ, මඟ දිගටම කෑම සහ "ටීක්" ලෑම දෙකම තිබිල තියනවා. අතේ-මිටේ යහමින් මුදල් තිබිලත් තියනවා.

    https://www.youtube.com/watch?v=dF_X41qZESI

    ReplyDelete
    Replies
    1. ඔව්. මේකෙත් එහෙම විස්තර තියේ. ඒ පැත්ත ගැන හොඳට ස්ටඩි කරල ලියල තියෙන පොතක්.

      බසූට හම්බුනොත් දවසක කියවන්න. අපූරු පොතක් මොනව වුණත්.

      ලිංකුවට ස්තූතියි. නිදහසේ බලන්න ඕන

      Delete
    2. පොත් ගන්න එකනෙමෙයි ශිපින් වලයි අවුල. ශිපින් වලට ගෙවන්න, මයෙ තටුදෙක උගස්තියන්න වෙනවා. ඉස්සර කපුටා.කොම් එකෙන් පොත් දහයක්, සාධරණ ගාණකට එව්වා. දැන් ඒවා සුම්මා. ;(

      Delete
    3. ඒකත් ඒමද. ග්‍රන්ථල ඒම හොඳ ඇති කියල හිතුවෙ. කවුරු හරි මෙහෙං ඔහාට විතැන් වෙනව වගේ දන්නව නං කියාන්. පොත් ටිකක් ඇන්න එවඥ්ඥං

      Delete
    4. ඒක නෙවී අර දාපු පෝස්ට් එක ඩිලිට් කරල ඇයි 🤔🤔🤔

      Delete
    5. ඒකෙ බලන්න දෙයක් නෑ. ඔහොම වංචා පෝස්ට් දානවට වඩා හොඳයි ඩිලීට් කරන එක.

      Delete
    6. ඔන්න දැම්මා. පරිවර්තනය නොකර ඒකෙ අගයක් නැති නිසයි, එහෙට මෙහෙට ඇද්දෙ.

      Delete
    7. ඒක පුලුවන් විදිහට කියව්ව.
      ඒත් ඉතිං නොකෙරෙන වෙදකමට කෝදුුරුතෙල් හත්පට්ටයක් තිබ්බත් අැතෑ කියන්නැහෙ තේරුන අන්දකයිප්පුවක්නෑ. 🙈🙈🙈


      හැබැයි වටින කෙනාට වටිනව. ඒක සෑහෙන මහන්සයක් දරන්න ඕන වැඩක් පරිවර්තනය කරන්න.
      ඉතිං ඒ හරි මදෑ.

      @මොට්ස්. 🤭🤭😁😁😂 පව් නේහ් බස්ස

      Delete
    8. ප්‍රේමකීර්ති රණතුංග ලියපු මීට සමාන පොත් කියවල තියනවද?

      Delete
    9. නෑනේ. එනි සජෙෂන් පීස් ප්‍රා..

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. https://www.booksbay.lk/index.php?route=product/manufacturer/info&manufacturer_id=192

      Delete
  5. නෝබට් අයගමගේට ඇයි එහෙම උනේ? කාල නදිය ඉතාම ආසාවෙන් වෙහෙසක් නැතුව කියවපු කතාවක්. පෙරපර සන්ධි අපූරුවට ගැලපිලා තිබ්බා.. සමහරුන්ට කාලෙකට එනවා 'පොතක් ලියලා ඉවර කරන්ට'වගේ උවමනාවක්.. එහෙම උනාද මන්දා.

    ReplyDelete
    Replies
    1. කාල නදිය එක්ක බලද්දි මේක තනිකරම ශිෂ්‍යත්ව පංතියෙ ලියවිල්ලක්. සුර අසුර යාමයත් මේකට වඩා සෑහෙන්න හොඳයි.
      ප්ලොට් දෙක සමාන පාරක යනේක, ප්‍රධාන චරිත එක සමාන වීම විතරක් නෙවී ශිල්පීය පක්ෂයත් මට අනුව දුර්වලයි.

      ඒත් උඩිං ම කියල තියෙනව වගේ එක උස්මට කියවං යන්න පුලුවන්.
      මගෙ.සජෙෂන් එක මේක තව වර්ධනය කළ යුතු කතාවක්.

      හරියට නොදන්නා එකෙක් බොන්සායි කලා වගේ. ලස්සනට පෙනෙයි. බට් සජ්ජ වගේ එකෙක් දකිනකං විතරයි. ඊට පස්සෙ ඉතිං 🥱🥱🥱🥱

      Delete