Thursday, December 12, 2013

පින....

හීන් සීතලක් තියෙන සෙලින්කෝ ඔෆිස් එකේ වීදුරු දොර ඇරගෙන මං එළියට ආව. ක්‍රීම් පාටට හුරු දිලිසෙන ටයිල් අල්ලල තියෙන  පඩිපෙල බැහැගෙන ඇවිත් කොන්ක්‍රීට් අතුරල හදල තියෙන මිදුලට බහිනකොටම වගේ ඉස්සරහට හම්බවුණ පරණ යාළුවෙකුටත් හිනාවෙලා පරක්කු උණා යන්නම් මචං... පස්සෙ හම්බුවෙමු කියාගෙන මං පාර දිහාට පල්ලම් බැස්ස. කොළඹ නුවර පාර ගාවට ඇවිත් පාරෙ උඩහ පැත්ත බැළුවෙ ටවුමට යන්න බස් එකක් එනවද බලන්න. ඈතින් හිමීට හිමීට එනව දැකපු රඹුක්කන ඉදන් කෑගල්ලට එන පරණ පාට රෝස වෑන් එක දැකල මම ටිකක් නතර වුණා. ඒක එන වේගෙත් එක්ක බලපුවම ඊට කලින් ටවුමට යාගන්න පුළුවන් කියල හිතුනත් කකුල් දෙක ටිකක් මාව කම්මැලි කරපු නිසා මම නැවතිලා බලන් හිටිය. හිමීට හිමීට ආපු බස් එකට අත දාන්නෙත් නැතුවම එල්ලිලා පුට් බෝඩ් එකේම හිටගත්ත. දම් පාට මහත ඉරි ඇදල සුදු පාට ගාල තිබුණ රෝස එකට වගේම ඒකෙ ඩැයිවර උන්නැහේටයි කොන්දාස්තර තැනටයි තිබ්බෙත් මහ කම්මැලි පෙනුමක්. හිමීට හිමීට ආපු බස් එක හිමීට හිමීටම ටවුම දිහාට පල්ලම් බහින්න ගත්තෙ ආයෙ වෙන වාහනයක් පාරෙ එන් නැතිවෙයි කියල වගේ. රෝස එක එනව දැකල අතේ ගුලි කරන් හිටපු රුපියල් දහයෙ කාසිය මං කොන්දොස්තර උන්නැහේට දීල ආයෙම පාර දිහා බලාගත්ත. එක එක මිනිස්සු යනව උඩහට යනව පල්ලහට හැමතැනම යනව. ඒත් මේ කිසි කෙනෙක් එක වගේ නෑ නේද කියල මට නිකමට හිතුණ. එක එක පාට ඇදගත්තු එක එක උදවිය. හිමීට හිමීට ආපු රෝස බස් එක ඔරලෝසු කණුව ළග ඉර ගාව පාර පනින්න හිටපු වයසක අම්ම කෙනෙක් දැකල වේගෙ අඩුකළා. ලංකාවෙ ට්‍රැෆික් වලදි බයික් ත්‍රීවීල් වගේ වාහන හරියටම මාර්ග නීති පිළිපදිනව කියල දන්න හින්ද කෝකටත් පස්ස බලලම මාත් එතනින්ම බස් එකෙන් පැන ගත්ත. ප්‍රයිවෙට් බස් එක්ක මේ වගේ වෙලාවට යනවට වඩා බර කරත්තෙක යන එක හොදයි කියල දන්න හින්ද මං කහ ඉර මාරු වෙලා සී.ටී.බී බස් නවත්තලා තියෙන තැනට හෙමිහිට  ඇවිදගෙන ආව. කුරුණැගල බෝඩ් එක ගහල තිබුණ ලේලන්ඩ් බස් එක තව විනාඩි 5කින් පිටත් වෙනව කියල කොන්දොස්තර මහත්තය කියපු හින්ද පිටි පස්ස දොරෙන් නැගල බස් එකේ ඉස්සරහ සීට් දිහාවෙ බෙල්ල කරකෝ කරකෝ බැලුවෙ වාඩිවෙන්න පුළුවන් සීට් එකක් හොයාගන්න පුළුවන්ද බලන්න. බස් එකේ මැදට වගේ වෙන්න දකුණු පැත්තෙ සීට් එකක එක්කෙනෙකුට වාඩි වෙලා යන්න පුළුවන් තරමෙ ඉඩක් ඉතුරු වෙලා තියෙනව දැකල කෝකටත් කියල එතෙන්නට ගියා. එක්ස්කියුස් මී... මෙතන කවුරුවත් ඉන්නවද දන්නෑ... සුදු පාට බ්ලවුස් එකක් ඇදල සුදු පාටම දිග සායක් ඇදල සුදු පාටෙන්ම හදපු කොණ්ඩ බෝලයක් දාගෙන හිටපු වයස හතලිහක් විතර හිතෙන ඇන්ටි කෙනෙක්ගෙන් මං ඇහුව. නෑ.. කියල එයා ජනේලෙන් අහක බලා ගත්ත. එතකොටයි මම දැක්කෙ එයා අතේ තිබුණ බෑග් එකත් සුදු පාටයි කියල. මොකක් හරි පිං අතේ වැඩකට ගිහින් එනව වෙන්නැති කියල මට හිතුණ.  ජනේලෙන් එළිය පැත්ත බලල ආයෙත් මං දිහාවෙ බලද්දි මං හිනා වුනත් එයා නිකංම අහක බලාගත්තු හින්ද  මාත් ඉස්සරහ බලාගත්ත.

ටික වෙලාවකින් මට වඩා ටිකක් බාල පෙනුමක් තියෙන පිටිපස්සෙන් ලොකු බෑග් එකක් එල්ල ගත්තු පිරිමි ළමයෙකුයි ඒ වගේම බෑග් එකක් එල්ල ගත්ත ගෑණු ළමයෙකුයි ඉස්සරහ දොරෙන් බස් එකට නැග්ග. බස් එක දිහා තත්පර තුන හතරක් ව්තර බලාගෙන හිටපු පිරිම් ළමය කතා කරන්න පටන් ගත්ත. ආදරණීය අම්මේ තාත්තේ අය්යේ අක්කේ නංගියේ මල්ලියේ අපි.............. උසස් තාක්ෂණ විද්‍යාලයේ සිසුන් පිරිසක්... අපේ විද්‍යාලයට මෙතක් කල් අඩුවක් වෙලා තිබුණ බුද්ධ මන්දිරයක් හදන්න අපි අදහස් කරල තියෙනව...... ඒ සදහා අපිට වියදම් කරන්න වෙන පිරිවැය රුපියල්.............. කියල ගණන් බලල තියෙනව. අපිට තනියෙන් ඒ තරම් වියදමක් දරන්න අපහසු නිසා අපි තීරණය කළා මේ වගේ ගමක් ගමක් නගරයක් නගරයක් ගාණෙ ගිහින්  අපිට උදව් කරන්න කැමති අයගෙන් පුංචි ආධාරයක් එකතු කරන්න. අපි අතේ තියෙන මේ කාඩ් 1 ක පුංචි කොටුවක් කපල පුංචි රුපියල් දෙකක ආධාරයක් කරල අපිට සහයෝගයක් දෙන්න කියල මං ඔයාලගෙන් බොහොම කාරුණිකව ඉල්ලා හිටිනව. මෙහෙම කියල එයා අර ගෑණු ළමයටත් මොනවද කිව්ව. ඊට පස්සෙ දෙන්නම එයාල අතේ තිබුණ කාඩ් මිටියත් අරන් සීට් එකක් ගාණෙ එන්න පටන් ගත්ත. මං හිටියෙ පැත්තෙන් ආවෙ පිරිමි ළමය. කවුරුත් කාඩ් කපන්නත් ඒ තරම් සැලකිල්ලක් දැක්කුවෙ නෑ. එයාලට රුපියල් 2 ක් කාගෙන්වත් ලැබෙනවත් මම දැක්කෙ නෑ. හැම කෙනාම අඩුම තරමෙ රුපියල් 20ක් වත් දුන්න. ඒ කවුරුවත් කාඩ් එක කපන්න කියල කීවෙත් නෑ. පිරිමි ළමයටවත් ගෑණු ළමයටවත් කාඩ් එක කපන්න වෙලාවක් නැති වුණ තරම්. එයාලට ලැබෙන ආධාර එකතු කරගන්න එයාල සෑහෙන්න කාර්යබහුල වුණා. ඒ අතරෙ ස්තුතියි අම්මෙ...... ස්තුතියි තාත්තෙ .....ස්තුතියි අක්කෙ ..... වගේ වචනත් ඇහුණ. මං ළග හිටපු ගෑණු කෙනත් බොහොම උවමනාවෙන් රුපියල් 50 ක්ම දුන්න. නොදී බැරි හින්ද මමත් අතේ තිබුණ රුපියල් 10 ක් දීල නිකං හිටිය. ඒ වෙලාවෙ අර ගෑණු කෙනා මං දිහා බැළුවෙ අනේ මෙහෙමත් එකෙක් පින් කරගන්නත් තියෙන් කුණු කම කියන්න වගේ. ඒ වෙලාවෙ නම් මට ටිකක් ලැජ්ජ හිතුණත් ලද හැටියටනෙ පුද කියල කරබාගත්ත. ආධාර එකතු කරගත්ත ළමය් දෙන්නත් බස් එකටම පොදුවේ ආයෙමත් සැරයක් ස්තුති කරල ආපු දොරෙන්ම බැහැල ගියා. එයාලට බැහැල ගියාට පස්සෙ, ලිතයි පොතයි දෙකටම විස්සයි කියාගෙන ආපු වයසක මනුස්සයෙකුයි, ගන්න කූල් එක තිබහට කූල් එක....... කියාගෙනආපු කෙනෙකුයි පොඩි අයට කතන්දර පොතක් හයම සීයයි... හයම සීයයි... කියාගෙන ආපු කෙනෙකුත් ආව වගේම කිසිම වෙළදාමක් නැතුව ආව වගේම බැහැල ගියා.

ටික වෙලාවකින් කොහේදෝ ඉදල හදිස්සියෙන් හදිස්සියෙන් වගේ ආව ඩැයිවර තැන ඒ හදිස්සියන්ම බස් එක පණගන්න ගත්ත. පොඩ්ඩක් කැහැ කැහැ ඉදපු බස් එකේ එංජිම එක පාරම බ්ර්රාං... ගාල මහ සද්දයක් දාල ස්ටාට් වෙලා සැර දාන්න ගත්ත. සැර දානව මිසක් ගමනක් නැති හිංද මං ටිකක් වම් පැත්තට ඇල වෙලා ඩැයිවර් උන්නැහේ දිහ බැළුවෙ මොකද මේ යන්නැත්තෙ බලන්න. එයා සුක්කානං රෝදෙට වැලමිටි දෙක තියාන බරවෙලා ඉස්සරහ පැත්ත බලාගෙන ඇගිලි තුඩු වලින් සුක්කානම් රෝදෙට තට්ටු කර කර ඔළුව හොල්ල හොල්ල ඉන්නව. තාම නම් මෙයාට යන්න ඕන නැ වගේ මට  එහෙම හිතුණ. එතකොටම කොන්දොස්තර මහත්තෙය ඇවිත් ටිකට් කඩන්න ගත්ත. මාත් බහින හන්දියෙ නම කියල ටිකට් 1ක් ගත්ත. කොන්දොස්තර මහත්තය ටිකට් කඩාගෙන සීට් දෙක තුනක් ඉස්සරහට යනකොට වයස අවුරුදු හතලිස් පහක් විතර විතර පේන මනුස්සයෙක් දාඩිය පෙරාගෙන කළුපාට ටියුලිප් බෑග් එකකුත් දකුනතිං එල්ලගෙන ඉස්සරහ දොරෙන් බස් එකට නැග්ග. වම් අතේ දාඩියට පෙගිච්ච කුණු තැවරුණ කඩදාසි කොල ටිකක් අල්ලගන හිටිය. එකත් එකටම මෙයා අළුත් මොඩල් එකේ වැදගත් හිගන්නෙක් කියල එක පාරටම මට හිතුණ. එයත් එක්ක පොඩි පිරිමි ළමයෙකුත් ආව. ඒ පොඩි ළමය එයාගෙ පුතා  වෙන්නැති කියල මට හිතුන. අනෙත් ආධාර කාරයන්ට වඩා මෙයාගෙ පිරිසිදු කමකුත් තිබුණ. බස් එක දිහාවෙ එක පාරක් බලපු එයා කතා කරන්න පටන් ගත්ත. අර පොඩි ළමය බෙල්ල හරෝ හරෝ බස් එකේ ඇතුල හොදට බලනව. එයාගෙ තාත්ත කතා කරනව. මගෙ ගම කළුතර... මට මේ ඉන්න පුතාට අමතරව තව පුංච් දුවක් ඉන්නව.. එයාගෙ කන් දෙකම පොඩි කාලෙ ඉදලම ඇහෙන්නෙ නෑ. අපි කියන කසිම දෙකට දුව කිසිම ප්‍රතිචාරයක් පෙන්නන්නෙ නැති හින්ද  අපි දුවව කළුතර ඉස්පිරිතාලෙට අරන් ගියා. එහෙ දොසතර මහත්තුරු දුවව බොරැල්ලෙ ගෙනියන්න කීව. බොරැල්ලෙ දුවව බලපු ................. දොස්තර මහත්තය දුවට කන් ඇහෙන්නෙ නෑ කියල කිව්ව. ඒ ලෙඩේ සනීප කරන්න කර්ණ සංඛ බද්දෙ කියල ඔපරේසං එකක් කරන්න ඕන කියල ඒ දොස්තර මහත්තය කීව. බුදු මහත්තයො මට දැනුනෙ හරියට ලෝකෙම කඩා වැටෙනව වගේ. මගෙ අසරණීව සනීප කරන්න ලස්ස තිස් දෙක හමාරක් ඕන බුදු මහත්තයෝ.. මං මගෙ ලොකු පුතත් මගෙ තනියට ඇරං මේ ටවුමක් ටවුමක් ගානෙ යන්නෙ ඒ ඔපරේසං එකට ඕන ඉතුරු සල්ලි ටික හොයාගන්න  බුදු මහත්තයෝ..  එහෙම කියල එයා අතේ තිබුණ කොල ටික පෙන්නන්න ගත්ත. මේ තියෙන්නෙ ළමා රෝහලේ ........... දොස්තර මහත්තය දීපු මගෙ පුංචි එකීගෙ ලෙඩේ ගැන කියල තියෙන ලියුම. එතකොට මේ ගමේ ග්‍රාම සේවක මහත්තය දීපු ලියුම.... මේ කලුතර පොලිසියෙ ඕ.අයි.සී මහත්තය දීපු ලියුම.. මේ ඒ.ජී.ඕ මහත්තය දීපු ලියුම..මේ අපේ පංසලේ හාමුදුරුවන්නෙ ලියුම.. කියල එයා ගොඩක් ලියුම් පෙන්නුව. අපේ ගමේ අය මහත්තයො මට ලස්ස පහමාරක් හොයල දුන්න. ඒ.ජී.ඕ. මහත්තයය් ඕ.අයි.සී මහත්තයයි ග්‍රාම සේවක මහත්කයයි එකතු වෙලා මට ලස්ස හයක් විතර හොයල දුන්න... ජනාධිපති අරමුදලෙනුත් අපිට ලස්ස තුනක් හමුබ වුණා. මගෙ තිබිච්ච ඉඩං කෑල්ලක් විකුණල හිටල්ල මම ලස්ස නමයක් හොයාගත්ත. ඉතුරු ලස්ස නමය හොයාගන්න තමය් මහත්තයෝ මං මගෙපොඩි එකත් ඇන්න මේ හැම තැනම ඇවිදින්නෙ. තව ලස්ස තුනක් විතර ඕන බුදු මහත්තයෝ... මට ඒකත් හොයාගන්න මට පුංචි ආධාරයක් කරන්න මහත්තයෝ මහත්තෙලට නිවන් යන්න ඒ පිනම ඇති මහත්තයෝ... එහෙම කියල ඉවර වෙන කොටම මෙච්චෙල්ල බස් එකේ ජනේලෙන් එළිය බලාන හිටපු මට එක පාරටම ඒ මනුස්සය දිහ බැළුන. සාමාන්යෙන් මෙහෙම බස් වල ආධාර එකතු කරන්න එන අය ඒ තරං හැගීම් බර නෑ. ඒත් ඒ තාත්ත තමන් කියපු දේ කියල ඉවර වෙනකොටම එයාගෙ කට හඩ මුක්කන් වෙනව වගේ මට දැනුන. පුපුරල එළියට පනින්න හදන කදුළු කැටයක් ඒ තාත්තගෙ ඇස් බෝල වල තැවරිල දිස්නෙ දෙනව. මං කවදාවත් මේ වගේ ආධාර කාරයො ගනන් ගන්නෙ නෑ. මොකද ඒ හැම කෙනෙක් ළගම තියෙන්නෙ එක සමාන කතා වස්තු. ඒත් ඒ වෙලාවෙ මට ඇත්තටම දුක හිතුණ. එයා මේ කියන්නෙ ඇත්ත වෙන්නැති කියල මට එක මොහොතකට හිතුණ. එයාගෙ කතාව ඉවර කරල එයා සීට් අතරින් ඉස්සරහට එන්න පටං ගත්ත. .තැනින් තැනිං එයාට දහය විස්ස හම්බෙනව. මට එක පාරටම මතක් උනේ මං බස් එකෙන් බැහැල යන ගමන් හන්දියෙ කඩෙං ඇරං යන්න හිතාන හිටිය රටකජු මුල. රටකජු මුලක් හතලිහක් වෙනව. බස් එකට දුන්නට පස්සෙ මගෙ අතේ ඉතුරු වෙලා තිබුණෙ ඒ හතලිහ විතරයි. මට කෙදිරි ගෑවුණ. මං හිමීට අර ඇන්ටි දිහාවෙ බැළුවෙ එයා කීයක් දෙන්න හදනවද බලන්න. එයා වගේ වගක් නැතිව බස් එකෙන් එළිය බලන් ඉන්නව. අර තාත්ත මං ළගටම ඇවිත් අත දික් කරා. මට ඉබේටම වගේ ඒ මූණ දිහ බැළුණ. අසරණ කම පුරෝල තියෙන ඒ මූණ දැක්කම මට අහක බලා ගන්න මොකද්ද වතේ හිතුන. රටකජු පැත්තකින් තියල මං සන්තකේටම කියල අතේ තිබුණ රුපියල් හතලිහම එයාට දුන්න. පිං සිද්ද වෙච්චාචෙ රත්තරනේ.. ඒ ඒ තාත්ත කියපු වචන ටික මගෙ පපුව පුරාවටම දැනුන. මට ආයෙත් අර ඇන්ටි දිහාවෙ බැළුනෙ අර තාත්ත එයා දිහාට අත දික්කරනකොට. හුක්... එයා ගස්සගෙන අහක බලන ගමං බොරුකාර හිගන හැත්ත.... කියල සැරෙන් වගේ කිව්ව. මොකුත් නොකියම අර තාත්ත මං දිහාවෙ ආයෙත් බලල අසරණ පාටින් හිනා වෙලා පස්සෙන් හම්බ වෙන සල්ලිත් එකතු කරං බැහැල ගියා.

පිං සිද්ද වෙච්චාචෙ රත්තරනේ.. ඒ වචන ටික මගෙ පපුව හාරගෙන වගේ ආයෙමත් ඇහුණ. මං දීපු හතලිහට වඩා වටින දෙයක් මට හම්බුණා කියල ඒ වෙලාවෙ මට හිතුණ.



2 comments:

  1. Paragraphs are like heavy sacks. Difficult to read out

    ReplyDelete
    Replies
    1. ම්... මං බලන්නම් ඊලග පාර මීට වඩා අඩුවෙන් ලියන්න. ඒත් ලියවෙන කොට මොනව කරන්නද. ඒ ගානම වගේ එනව

      Delete

Related Posts Plugin for WordPress, Blogger...