Tuesday, October 24, 2023

සුළු නොවන ප්‍රාතිහාර්යය මවනා දෙපාර්තමේන්තුව

         


හම්බෙන් වගේ මේ අවුරුද්දෙ බුක් ෆෙයාර් එකට යන්න හම්බුණාට කලිං අවුරුදු වල වගේ මොනව ගන්නද, මොනව කරන්නද කියල කිසි අදහසක්, කිසි සැලසුමක් තිබ්බෙ නෑ කියල කියන එක තමා හරි මං හිතන්නෙ. මොකද මේ අවුරුද්දෙ බුක්ෆෙයා යන්න අදහසක් තිබ්බෙම නෑ. ෆේස්බුක් එකෙන් ඉඳ හිටල පොත් ගැන දැක්කට ඒක කවද හරි ගන්නව කියල හිතුවට, හැමදාම වගේ කම්මැලි කම හින්ද ඒ පොත් වල නමක් වත් සටහන් කරල තියා නොගත්ත එකේ බරපතල කම තේරුණේ ප්‍රදර්ශනය පැත්තට ගියාම. ඒ වගේම කාලෙකින් බුක්ෆෙයා එකේ  දැක්ක ලොකුම සෙනඟ කන්දරාව එදා දැක්ක කියල කියන්න පුළුවන්. පුරුදු විදිහට නැතත් පොත් කුටි අතරෙ තෙරපි තෙරපි සැරි සරන ගමං, ගන්නං කියල හිතං හිටපු, ගන්න ඔ්න කියල හිතපු, කාලයක් තිස්සෙ හොයපු සමහර පොත් දැක්කත් කවදාවත් නැතිව ලෙල්ලටම හිඳිල තිබ්බ සාක්කුව නිසා පොත් ගත්තෙ බොහොම පරිස්සමෙන්. ඔන්න ඔය වගේ පොත් කුටි අතර කරක් ගහනකොට තමයි විදර්ශන පොත් කුටියෙ තිබිල හෙල්මලී ගුණතිලක‌ගෙ සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව මුණ ගැහෙන්නෙ. 

        කාලයක් තිස්සෙ බ්ලොග් අතර සැරි සරන නිසා හෙල්මලිය ගෙ ලිවීම් ඇගෙ මැවීම් ගැන දන්න නිසාම පොත ගත්තෙ දෙපාරක් හිතන්නෙ නැතිව. හුඟක් දවසක ඉඳන් බොහොමයක් වැඩ රාජකාරි නිසා කියවන එක පස්සට ගියත් හම්බවුණ පළවෙනි වතාවෙම කියෙව්වෙ සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව.


    හෙල්මලිය ගේ වියුණු අඩවියෙ ලියැවුණ මෙන්ම නොලියවුණ කතා 14 ක් ඇතුලත් සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව අපූරු කියවීමක් ලබා දුන් කෙටි කතා සංග්‍රහයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇගේ සුපුරුදු භාෂා හරඹය කියවන්නාගේ සිත අපූර්ව චමත්කාරජනක මානයක රැඳවීමට සමත් වෙන්නෙ පාඨකයා පොතේ පිටු අතර වෙනමම ලෝකයක තනිකරවමින්. 


🍺කෙටිකතා සංග්‍රහයට නම ලබා දුන් සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව පළමු කතාව ලෙස ඉදිරිපත් වෙයි. අපූරු ෆැන්ටසිමය පරිකල්පනයකින් පාඨකයා මුණගැසෙණ එහි අවසානය පාඨකයා හැඟීම්බර කරවන්නේ එහි චරිත කෙරේ ළතෙත් සහෘද බවක් දනවමිනි. 


🍺පසුගිය සිවිල් යුද්ධ සමය සිහි ගන්වන ගිණිපුළිගු කෙටිකතාව අතීතයත් වර්තමානයත්, ප්‍රේමයත් පවරාගත් රාජකාරියත් අතර දෝලනය වන ශෝකාන්තයකින් කෙළවර වන, කියවන්නා හඳ තුළ කරුණ රසයක් දැනවීමට සමත් වන කතාවකි. එහි එන ජනනි ගැන ශෝක වන්නද නැතහොත් අර්ජුන් ගැන ශෝක වන්නද ඔවුන් හා අප එතැනට තල්ලු කල අය ගැන කෝපවන්න දැයි සිතන්නට කියන, පාඨකයා අතරමං කරවන සුළු කෙටිකතාවකි.


🍺අනාවැකි කියන්නා කුඩා දැරියකගේ ළමා සිතුවිලි හා ඇගේ ලෝකය ගැන කියන ඇයට හිමි ආදරය මෙන්ම ළමුන්ගේ සිතුම් පැතුම් වලට කන් දෙන්නැයි අපට කියනකෙටි කතාවකි. සැබැවින්ම අනාවැකියකට කෙතරම් බලපෑමක් කළ හැකිද..?


🍺පතොක් මා කියවන්නට අකමැති පන්නයේ කෙටිකතාවකි. පවුලක දුරස්තර භාවය, සාංකාකූල සිදුවීම්, හුදකලාව පිරුණු ව්‍යාකූල හැඟීම් දනවන එවන් පන්නයේ කතා වලට මාගේ ඇත්තේ බලවත් අකමැත්තකි. එහෙත් හැඟීම් දැනවීම අතින් කතුවරිය ගේ වදන් හැසිරවීමේ දක්ෂතාවය පෙන්වන අපූරු නිර්මාණයකි.


🍺කපුටුස් මිශ්‍ර හැඟීම් ගෙනදුන් නිර්මාණයක් වන අතර කපුටන් ගැන අප හිතන ආකාරය කපුටන්ගේ ඇසින් කියවන්නට තැත් දැරීමක් යැයි සිතුණි. 


🍺ආරාධිත අමුත්තා ආරම්භයේදී යම් කිසි උපහාසී හැඟීමක් ජනිත කරවීමට සමත් වුවද අවසානයට ළඟා වන විට ප්‍රහර්ෂීය සංවේදනාවක් කියවන්නා තුළ ජනිත කරවයි. ශාරදා සමඟින් සිනා සෙන්නට කෝප ගන්නට හෝ ඈතුළ ඇතිවන ආඩම්බරයත් ඔබට දැනෙන්නට හැකි වන අන්දමේ අපූරු නිර්මාණයකි.


🍺වස කෙටිකතාව තමන් කවුදැයි යන්න අමතක කරන්ට තැත් දරණ අතීත වේදනාවක් සඟවාගත් යුවතියක ගේ කතාවක් ඔබට කියයි. වේදනාවක් තුළ අතරමං වනවාද නැතහොත් එයින් ගැලවී එනවාදැයි යන්න තීරණය කළ යුතුයැයි පාඨකයාගෙන් විමසන බවක් හැඟෙයි.


🍺ධර්මජීව මින් පෙරත් පට්ට ගසා ඇති වස්තු විෂයයක් සහිත කෙටිකතාවකි. එහෙත් කියවා අවසන් වූ මොහොතේම ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් කොත් වෙහෙරක් කොහේ ඇතිදැයි සෙවූවෙමි. එවන් හැඟීමක් දනවන්නට එය සමත් වූයේ එහි වූ අපූර්ව බවක් දැනවීමට සමත් කුසලතාවය නිසාම බව සිතමි. 


🍺මිතුරු දුරු රටක තනිවූ කුඩා දැරියක් ඉන්නා මවක ගේ කතාවකි. චමත්කාර හැඟීමක් දැනවීමට සමත් වී යැයි කියන්නට බැරි එකම කෙටිකතාවයි.


🍺ස්පර්ශ කුඩා සයි ෆයි වර්ගයේ කෙටිකතාවකැයි ඔබට තර්ක කරන්නට හැකි පන්නයේ කෙටි කතාවක් ලෙස පෙණුනද මානව බැඳීම් හා අනෙකා කෙරේ ඔබ දක්වන පසන් නොපසන් ආකල්ප ගැන ඔබට කියා දෙන කතාවකැයි මම සිතමි. 


🍺නැවතුණ කාලය සොනාලිගෙයි ප්‍රාණව් ගෙයි ආදර කතාව අපිට කියන සුන්දර හැඟීමක් ජනිත කරවන කුඩා කතා පොඩ්ඩක්. ඇත්තටම කාලය ඔවුන් වෙනුවෙන් නැවතුණාද. නැතිනම් ඔවුන් කාලය වෙනුවෙන් නැවතුණාද.?


🍺සන්ධ්‍යා කියන්නෙත් කාලෙන් කාලෙට එක එක කෙටිකතා කරුවන් අතින් විවිධ විවිධ විදිහට ලියැවුණ වස්තු විෂයක් සහිත කෙටිකතාවක්. ඒත් භාෂාවේ නැවුම් බව කිසිම සංශයකින් තොරව කෙටිකතාව ඉදිරියට කියවාගෙන යාමට බල කරන, අපව සංවේදී කළ හැකි මට්ටමේ පවතින්නක්. 


🍺මන්සිතා කියන්නෙ කට්ට කටෝර දවාලක සැලැස්මක් නැතිව ඇද හැලුණ සිහිල් වැහි කෝඩයක් වගේ  හිත සිහිල් කරවන ජාතියෙ කතාවක්. ඇත්තටම සීනි මුරුක්කුවක් තරං රහ කතාවක්.‍


🍺දම්පාට මල් ගහ මේ කෙටිකතා සංග්‍රහයෙ එන අන්තිම කතාව වගේම අපූරුම කතාවක්. සංකේතයන් වගෙම ආදරය පිරුණ අපූරු කෙටි කතාවක් විදිහට දම්පාට මල් ගහ හදුන්වන්න පුළුවන්.


        සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව කියන්නෙ නිස්කලංකෙ කියවන් යන්න පුළුවන්,කියවල ඉවර වුණහම සොම්නස් හැඟීමක් ඉතුරු කරවන කෙටිකතා සංග්‍රහයක්. සංකීර්ණ භාෂා රටාවන්, ප්‍රයෝගයන්, නූතන කෙටිකතාවේ නිතර දක්නට ලැබෙන ප්ලොට් ට්විස්ට් ඔබ බලාපොරොත්තු වෙනව නං ඒ සියළු දේ අමතක කරල රසවිඳින්න කියල මම ආරාධනා කරනව. සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව ඔබට ලබා දෙන්නෙ සොම්නසක ප්‍රාතිහාර්යයක්. වැස්ස වෙලාවක නිස්කලංකෙ ඉන්න ගමන් කෝපි එකකුත් හදාගෙන වැස්ස රස විඳින ගමන් රස විඳින්න පුළුවන් සැහැල්ලු කෙටි කතා පොකුරක්. හිත පිරිමදින සැහැල්ලු සංගීතයක් පසුබිමින් වාදනය වෙද්දි රස විඳින්න පුළුවන් කෙටිකතා අහුරක්. 


සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව - හෙල්මලී ගුණතිලක.

ප්‍රකාශනය - ප්‍රෝග්‍රස් පබ්ලිෂර්ස් (පුද්ගලික) සමාගම

මිල - 650.00

පිටු - 112

ඇගයීම - 3.5/5


21 comments:

  1. ඒක අගෙයි.

    පුලුවන්නං සුරාබදු දෙපාර්තමේන්තුව කියන පොත හොයාගෙන කියවන්න.
    හැබැයි ඒකට කෝපි හරියන්නෑ. කූල් බියර් එකක් වගේ තමයි තියෙන්න ඕන. හැක්..

    ReplyDelete
    Replies
    1. @ප්‍රසන්නයියා
      ඒ පොත තාම කවුරුවත් ප්‍රින්ට් කරල නෑ.
      කූල් බියර් බොන්ට හොඳනෑ. සෙම හැදෙනව.

      @ප්‍රා
      සිල්වා.....??

      Delete
  2. මේ පාර තමා මමත් කිසිම සැලසුමක් නැතුව පොඩි ගානක් අරගෙන බුක්ෆෙයා ගිය පලවෙනි පාර.වෙන,සැරවල් වල පොත් 30,40 උස්සන් ආවා.මේ පාර පොත් හතයි 😭😪 මේ වෙනකොට හතම කියවලත් ඉවරයි.දුකයි.පොතේ නම තමයි මරුම.මේක බලලා ඒක ගන්නත් ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. මේ පාර තමා මාත් අඩුවෙන්ම පොත් ගත්තු පාර.
      මේ පොත ගන්න පුලුවන් විදර්ශන බුක් ෂොප් ඔන්ලයින් සයිට් එකෙන්. 😊

      Delete
    2. ඉස්සර කපුටා ඩොට් කොම් වලින් පොත් දහයක් විතර ඕඩර් කලාම, සාධාරණ ගාණකට ෂිප් කලා. පස්සෙ ඒව නැතුව ගියා.
      මේ සයිට් එකේ ෂිපින් ගැන වැඩි විස්තර නෑ. පොත් වල ගාණ කිසිම අවුලක් නෑ, අපට අවුල ෂිපින්.

      Delete
    3. ජනක ඉණිමංකඩට ෆේස්බුක් ඒකෙන් මැසෙජ් ඒකක් දාල අහන්ට.
      නැත්තං ග්‍රන්ථ කේබුක්ස් දෙක ෆොරීන් ෂිප් කරනව.

      කඩදාසි පොත්ම කියවනව ඒ් හොඳම ඔප්ෂන්.
      නැත්තං ඉතිං දෙයියනේ කියල ගුරුළුගෝමී හරි කේ බුක්ස් හරි ඇප් දෙක තමා. හොඳ කලෙක්ෂන් ඒකක් තියේ දෙකෙම

      Delete
  3. මේ විස්තරාත්මක විචාරයට බොහොමත්ම ස්තූතියි මහේෂ්!

    මේ පොතට එකතු කළේ මම කලින් පොත පළ කලාට පස්සේ- ඒ කියන්නේ 2019 න් පස්සේ වගේ ලීව කෙටිකතා. කාලෙන් කාලෙට එක එක උත්තේජන වලට ලියවුණු නිසා තමයි විවිධ රස වල කතා තියෙන්නේ. පොත මහන්සි වී හොයාගෙන කියවීමත්, නොපමාව ප්‍රතිචාර දීමත් ගැන මගේ ප්‍රණාමය.
    මේ වගේ ප්‍රතිචාර තව තවත් ලියන්න උත්තේජනය දෙනවා. නැවතත් ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. වෙනස් නොවුණා නං ඒකාකාරියි කියල බණියි. 🙈🙈🙈

      විවිධ රස තියෙන්නෝන නේ. මේ මට දැනෙන විදිහට. සමහර විට මට වඩා අනිත් අයට හොඳ විදිහට දැනෙයි.

      කෝමත් මම අක්කගෙ ලිවීම් වලට කැමති නිසා පොතක් මගෙ එකතුවෙ තියන එකම මට සතුටක්.

      ඊළඟ පොතත් ඉක්මණට කරමු 🙈🙈🙈

      ❤❤❤

      Delete
  4. සවිය පිරිහීමත්
    නිදහස අඩුව යාමත්
    හින්දමයි
    ඈතට ගියේ පොත්!

    එහෙමයි මං කියන්නේ
    ඇත්තෙන් බාගයක්නේ
    කොම්පීටරේ ඉන්නේ
    මගෙ නං සිරස මුඳුනේ

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඇවිත් දඩෙං බේරෙන්ට කියන කතා නෙව 🙈🙈🙈

      Delete

  5. හෙල්මලීගේ සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව කෙටි කතා පොත කියවන විට මටත් බොහෝ දුරට ඔය වාගේ හන්ගීම් ඇති වුවා. ඒ සියල්ල ඉතාමත් අව්‍යාජ ලෙස අපූරුවට ඉදිරිපත් කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තෙන්ම. මම කොහොමත් ඇගෙ ලිවිලි වලට මනාපයි. ඉතිං මේ පොත මගෙ එකතුවට එක් වෙන එකම සතුටක්්❤❤

      Delete
    2. මහේෂ්- මේ කමෙන්ට් එක මගේ තාත්තාගෙන් කියලා දන්නවා නේද? :) ගොඩක් අයඅපි දෙන්නව වෙන වෙනම දන්නවා වුණාට නෑකම දන්නේ නැහැ.
      පොතේ පිටපත් කීපයක් මෙල්බර්න් වලට ලැබුණ නිසා තාත්තාටත් මුලදීම පොතක් දෙන්න ලැබුණා.

      Delete
    3. හත්තිකයි.. නෑ කියන්නකො..
      දැං නං දුවන්න හිතෙනව... 😁😁😁

      Delete
  6. කතාවෙන් කතාවට... බියර් වීදුරැත් හිස්කරාද හිටං 😁

    ReplyDelete
    Replies
    1. නෑ හිටං... බියර් එකක් බොන්නත් ආසයි.. කොහෙද ඉතිං උඹලගෙ නෑනෙ කිසිම උනන්දුවක්

      Delete
  7. මේ පාර අපි ගත්තු පොත් වලින් සීයට අසූවක්ම මගේ හක්බෙල්ලාවක මිළ මුදලින් දුප්පත් එහෙත් හිතවත් කමින් පොහොසත් ඥාතීන් දෙන්නෙකුගේ දරුවන්ට පොත් ගත්තා.
    ශාන්ති අක්කාගේ පොත් වගයක් බිරිඳ ගත්තා.
    මම ගත්තා නන්දන වීරරත්නගේ "යාපනය ගිණිලෑම" යි "සිංහල අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය" යි!
    බරට බරේ ගත්තේ අර දරුවන්ට පාඩම් පොත්!

    ReplyDelete
    Replies
    1. මම ගන්නම හිටිය 71 කැරැල්ල යාපනය මට මිස් වුණා. ඒකෙ ෆෝට් හැමන්හිල් කතාව තියේ

      Delete
  8. මේක හොඳ වැඩක්. මම මල්ලිට කියල තමයි පොත් ගෙන්න ගන්නෙ. උන්දැට කියන්න ඔ්නෙ මේ පොත ගැන.

    ReplyDelete