Saturday, October 14, 2023

ලොරියක්, උන්මත්තකයෙක් සහ පඹයෙක්

             


          වෙලාවේ වෙලාව හවස පහට විතර ඇති.  මම  වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකට වෙලා බලාගෙන හිටියෙ.  එතකොටම තමයි මම ඒ මනුස්සයව දැක්කේ.   හොඳට දැකලා පුරුදු මූණක් කියලා මට දැක්ක ගමන්ම හිතුනා. ඒත් මම එක පාරටම නිගමනයකට එළඹෙන්න හදිස්සි නොවී නිවිහැනහිල්ලේ වුණත් බොහොම කුතුහලයකින් ඒ මූණෙ අයිතිකාරයා දිහා බලාගෙන කල්පනා කළේ මේ කවුරු වෙන්න පුළුවන්ද කවද්ද මම මේ මනුස්සයාව දැක්කේ කියන එක ගැන.  පාර යන එන මිනිස්සු දිහා බල  බල ඒ අයට අත දික් කර කර අත දික් කරන ගමන් මැණික් කටුව ලඟින් අත හොල්ලමින්  අසරණ බව පෙන්වන ගමනක යෙදී හිටපු ඒ මුහුණුවර මට අමතක වෙන්න විදිහක් නෑ. එතකොටම තමයි මට ඒ මූණෙ අයිති කාරයා මතක් උනේ හරියටම කිව්වොත් කවුද ඒ වයසක මනුස්සයා කියලා අඳුර ගත්තේ. 


***********************************

  වේලාව 10.00 ට විතර ඇති. මම හිටියෙ වැස්සෙන් බේරෙන්න ගොඩවෙච්ච කඩ පිලක හිටගෙන. මාස ගානකට පස්සෙ ගෙදර යන්න කියල හිතාගෙන. පුතාටයි එයාටයි ගත්තු තෑගි ටික හිරිකඩ නොවදින්න පරෙස්සමට පැත්තකට කරගෙන.  ආයෙත් වැස්ස වැටෙමින් තිබ්බා.  එක දිගට එක සීරුවට   වහින්ඩ ගත්ත වැස්ස  මොහොතකට නැවතුනත් පොඩි මන්දාරමක් අවට පරිසරයෙ වැතිරිල තිබුණ. එක පාරටම අහස දෙබෑ කරගෙන ඉර එළිය පදාසයක් ලම්බාකාරව පොළවට පතිත වුණා.. එක මොහොතකට විතරක් පරිසරය එළිය වෙලා තත්පර ගණනාවක් විතර තිබ්බ. එක පාරටම ආයෙ මන්දාරම් කරන්න ගත්ත. තත්පර කිහිපයක් යන්න ඇති. හෝ..ස් කියාගෙන ආව වැස්ස ගස් කොලං ගොඩනැඟිලි මිනිස්සු යාන වාහන තෙමාගෙන වක්කරගෙන ඈතට යන්න පටං ගත්ත. ඒ දුවන වැස්සට අහුවෙච්ච වයසක පහේ මනුස්සයෙක් කඩපිලට දුවං ඇවිත් ගොඩ වැදුණෙ ඔළුව උඩිං විහිදගත්ත අත්ල හෙවණක් කරගෙන. ඒ වුණත් ඒ වෙද්දිත් හොඳටම තෙමිල හිටිය මනුස්සය සාක්කුවෙන් ගත්ත ලේන්සුවකින් අත් දෙකයි මුහුණුයි පිහින ගමං මං දිහත් බලල ආයෙම අහස දිහ බලල කතා කරන්ඩ පටං ගත්ත.


පුදුම වැස්සක්නේ.. අද දවසට තෙමිච්ච තුන් වෙනි පාර..


ඉතිං ඔහෑටි තෙමෙන්නෙ මොකද කුඩයක් ගන්න තිබුණනේ කියල අහන්ඩත් හදල,

හ්ම්ම්… 


කියල මම ආයෙම පාර දිහ බලා ගත්ත.

ඇස් කොණින් වගේ මට පෙනුණ මං දිහ බලල හෙමීට පපුව ගලවල යන්න වගේ හුස්මක් පාත් කරල ඈත ආකාහෙ දිහ බලනව. ඒ හීල්ලුම් ස්වරයේ ප්‍රාශ්වාසය එක්ක මට තව දුරටත් අහක බලං ඉන්න හිතුණෙ නෑ. 


අංකල් කොහෙ යන ගමංද..


ඈත අහස දිහ බලාගෙන ඉන්න ඒ මූණ දිහ බලන ගමං මම ඇහුව. එතකොටයි මම දැක්කෙ ඒ මූණෙ තිබ්බ තෙහෙට්ටුව. ‍අළු පාටට හැරීල  අපිළිවෙලට ඔළුව පුරා වැටිල තිබ්බ කෙස් ගස් අගින් වතුර බිංදු වෑස්සෙමින් තිබුණ. ඔහු ඒ වතුර ටිකින් ටික ලේන්සුවෙන් තෙත මාත්තු කරන ගමං හිටියෙ. මම එහෙම ඇහුව විතරයි ඔහු මම දිහ බලල අසරණ විදිහට හිනා වුණා. පෙනෙනවට වඩා වයසක් ඒ හිනාවෙන් මට පෙනුණ. 


අපෙ එක්කෙනා ඉස්පිරිතාලෙ පුතේ. උදේට බලන්න ගියා. ඕන කරන බේතක් ඉස්පිරිතාලෙ නෑ කියල පිටිං ගන්න දුන්න. ටවුම පුරා ඇවිදල ඒකත් ඇරගෙන මේ බලං ඉන්නෙ දවල්ට බලල යන්න. එහෙම්ම ඉදල හවසටත් බලලම ගෙදර යනව. 


මේ මනුස්සය ගැන තත්පරේකට හරි අකරුණාවන්ත වෙච්ච මම ගැන මටම ලැජ්ජ හිතුණ. ඒත් එක්කම ඔලුවට ආවෙ ඇයි ළමයි බමයි නැද්ද දන්නෑ කියල. කිසි සදාචාරාත්මක ගතියක් නැති ඒ වගේ කුණු හොයන ජාතියෙ ප්‍රශ්නෙකිං දමල නොගහ ඉන්න තරං මනුස්සකමක් මගෙ ඉතුරු වෙලා තියෙන්න ඇති.


අංකල් උදේට කාල එහෙමද..


තව පාරක් මම දිහ හොඳට බලල හිනා වුණ මනුස්සය ආපහු පාර දිහ බැලුව. වෙලාව එකොළෙහට කිට්ටු වේගන එනව. 


වෙලාවට අංකල්ව හරි හම්බුණේ.. මාත් බඩගින්නෙ හිටියෙ. මගෙ යාළුව එනව කිව්වට මිනිහ තවම නෑ. මට කෝමත් තනියෙන් කන්නත් කම්මැලි කමට හිටියෙ. අපි මොනව හරි කමුද.. 


පුළුවන් තරං සදාචාරාත්මක වෙන්න හදන ගමං මම ඇහුව. විස්මය වගෙම කුතුහලයකිනුත් පිරුණ ඇස් තත්පර කීපයක් මාව අභ්‍යන්තරයට යනකං පිරික්සනව මට දැණුන. එක පාරටම හම්බෙච්ච කොල්ලෙක් මොකට එහෙම අහනවද කියල හිතනවත් ඇති. කන්න තියා කෑම ගැන කිසිම පිරියක් නැති වුණත් මගෙ ඇතුලතින්ම ආපු මොකද්දෝ හැඟීමක් හිත පුරාම දිය වෙලා ගියා.

 

නැහැ පුතා.. බොහොම ස්තූතියි.. මට බඩගිනි නෑ. මම උදේට සෝටීස් එකක් කාල ප්ලේන්ටියක් බීව. 

අසරණ කම මොකක් වුණත් අභිමානය පාවා නොදෙන තිරසාරස්වරයක්  ඒ කටහඬේ  තිබුණ. 


නෑ..නෑ.. අංකල් ඒ උදේට නේ.. පොඩි ස්නැක් එකක් කාල නෙස්කැෆේ එකක් හරි බොමු.. මං නිසාවත්… මට පට්ට බඩගිනියි… ඕන නම් ඊට පස්සෙ අපි යමුකො ඇන්ටිව බලන්න. තව වෙලාත් තියෙනව නේ.


මට මොහොතකට හිතෙන්න ගත්ත මට පිස්සු හැදීගෙන එනවද කියල. ඒත් වචන ටික තෝරගෙන බේරගෙන මම පරිස්සමෙන් කතා කරන්න හිතුවෙ මගෙ හිතේ ඇතිවුණ අනුකම්පාව ඒ මනුස්සයට පෙනෙයි කියල. ඒ වුණත් හිත ඇතුළෙ පොඩි චකිතයක් නොතිබ්බම නෙවෙයි. මං දිහා තත්පර දෙක තුනක් බලං ඉදල හීනියට හිනාවෙන ගමන්,


හ්ම්ම්.. යමුකො පුතා…


කිව්වහම මට දැනුණෙ රටක් රාජ්ජයක් හම්බුණා වගෙ සතුටක්. වයසක කෙනාවත් ඉස්සර කරගෙන අපි ඒ වෙද්දි වැස්සට හෙවන හදාගෙන හිටිය පෙරේර‍ා ඇන් සන්ස් එක ඇතුලට ගියා. 


විනාඩි කිහිපයකට පස්සෙ මම හිටියෙ කන්න බැරිකමට කාපු පැටිස් එකේ අපුල මැකෙන්න නෙස්කැෆේ එකක් බොන ගමන්. හිමීට හිමීට අතේ තියන මාළු පාන් එක කන ගමන් කල්පනා කරන මනුස්සය දිහ මම ටික වෙලාවක් බලං හිටිය. 


මොකද අංකල්..

නෑ.. මුකුත් නෑ පුතා… මට බඩගින්නක් නෑ වගේ… මේ මම බැලුවෙ පුතත් කන්නෙත්නැති එකේ …


මට එක පාරටම ඔලුව පුරා හීනි කරන්ට් එකක් යනව වගේ දැණුන… මේ මනුස්සය කල්පනා කරල තියෙන්නෙ ඉස්පිරිතාලෙ ඉන්න තමන්ගෙ නෝන ගැන… 


අංකල් කන්නකෝ… ඇන්ටිට මේ පිටි ජාති කවන්ට හොඳ නැතිව ඇති. අපි වෙන මොනව හරි ගෙනියන්න බලමු..


හදිසියෙම මගෙ ඔළුව මේ නොදක්ක මනුස්ස පරාණෙ වෙනුවෙන් වන කරුණාවකින් දයාවකින් පිරෙන්න පටං ඇරං තිබුණ.. වයසක කෙනාගෙ විස්මපත් ඇස් මම මගෑරියෙ හිතා මතාම.. ඒ ඇස් වලින් ඒ වෙද්දිත් පේන්න පටං ඇරං තිබ්බ ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මට තිබ්බෙ නැති හින්දම මම අහක බලාගෙනම නෙස්කැෆේ එක තොල ගෑව.


අපිට එක පුතෙක් හිටිය පුතා. හරියට පුතාගෙ වයසෙ විතර ඇති. 


වයසක එක්කෙනා මම මොනවත් අහන්නෙ නැතිවම එයාගෙ කතාව කියන්න පටං ඇරං තිබ්බ.. මම අහං හිටිය.


ටක ටක ගාල ඔලුවට උඩිං කැරකෙන ෆෑන් එක වගේ බිඳුණ වචන ටිකක් මගෙ කන් දෙක හාරන්න පටං ඇරං තිබුණ.


ඉස්කෝලෙ ගියා.. කැම්පස් ගියා.. හො‍ඳට ඉගෙන ගත්ත. කැම්පස් අවුට් වුණා.. කාලයක් ගියා හොඳ රස්සාවකුත් හම්බුණා..  ඊට පස්සෙ ලේලි කෙනෙකුත් ගෙනාව.. ‍කාර් එකක් ඇරං ගෙවල් දොරවල් හදං හොඳට හිටිය.


ම්ම්ම්.. .තවත් ඉගෙන ගත්ත ඒත් ගෑණි හින්ද වෙනස් වෙච්ච පුතෙක් ගැන කතාවක් වගේ..


ඉතිං ඉතිං අංකල්..


මොහොතකට කතාව නැවතුණ නිසා එහෙම නොඇසිය යුතු වුණත් මඬින්න බැරි කුතුහලය මගෙන් එළියට පැන්න. නෙස්කැෆේ කෝප්පෙ මේසෙ උඩ තියාගෙන ඒකෙ දාරෙ වටේ ඇඟිල්ල යව යව ඒ දිහ බලං හිටිය වයසක එක්කෙනා මොහොතකට මම දිහ බැලුව..


පොඩි එකත් ඔයා වගේ පුතා... මට පුතාව දැක්ක ගමං හිතුණෙ මගෙ පුතා ව‍ගේ කියල… 


මම මොහොතකට හිර වෙලා ගියා වගෙ දැනුණ. එහෙනං ඒකයි දැක්ක ගමංම මා එක්ක කතා කරන්න හැදුවෙ.. 


එදා පෝය දවසක්.. පුතයි දුවයි දෙන්න කැළණී පන්සල් යන්න කියල ගියා… ගිහිං එන ගමන්..


මද නිහැඬියාවක් ඇතිවුණි… වැස්ස තුරල් වෙමින් පවතී.. වැසි බිඳු පොළවට පතිත වන බොල් ශබ්දය හා එක් ව එන විදුලි පංකාවේ කට කට හඬ නොකියා කියන්නේ  මා අසන්නට යන්නේ දුක්ඛදායක පුවතක් බවද..


උං දෙන්න ආයෙ ආවෙ පෙට්ටියක පුතා.. ඒ දුකටමද කොහෙද අපේක්කෙනත් ලෙඩිං වැටුණ.. ඉඳ හිටල ලොරි පස්සෙ පන්නන්ට පටං ගත්ත. ඉතිං මම ළඟමයි ඉන්නෙ. ඒත් දවස් තුන හතරකට විතර කලිං මම ළිඳ ළඟ ඉද්දි මට ඇහුණ කොල්ලො ටික කෑ ගහනව.. මම ගිහිං බලද්දි කොල්ලො ටික එයාව උස්සගෙන එනව.. ලොරියක් පාරෙ යනව දැකල දොඩව දොඩව ඒ පස්සෙං දුවල.. පාර අයිනෙ වැටිල.


මම ඔහු දෙසම බලා හිඳිමි.. ලොරියක් පසු පස පිහියක් ලෙන දුවන්නට නම් ඈ මානසික ආබාධයක් ඇති කාන්තාවක් විය හැක.. නොඑසේ නම්.., 


එවිට මා හ‍ට සියල්ල අවබෝධ වන්නට විය.. සිය පුතු කෙරේ වන සෙනෙහස අරඹයා ලෙඩින් වැටුණ ඈ ගැන  මා සිතූ වැරදි අයුර ඔහුට නොපෙනීම පිළිබඳ මා සතුටු වන්නටද නැතිනම් දුක් වන්නටදැයි නොතේරෙයි..


අපි යංද පුතා… 

යමු අංකල්…


මා හිතවත් අවන්හලක මිතුරෙකු ට අමතා සකසා ගත් එළවළු සූපයක් සමඟ මා ද ඔහු සමඟ රෝහල කරා පිය නගමි. ඔහුගේ ප්‍රියාදරිය රෝහල් සයනයක් මත වැතිර සිටින්නීය. ඔහු දෙස බලා මඳ සිනා නැගූ ඈ මා දෙස බැලුවේ යළි ඔහු දෙස බැලුවාය. ඔහු ඈ කරා පහත් වී යමක් මුමුණන්නට විය. ඈ මා දෙස බලන්නීය. ඇගේ අතකින් මා අත අල්වා ගත්තීය. ඒ් අතේ මුදු උණුහුම මා හදට දැනෙන්ට විය. 


මගෙ පුතාට පිං මේ අම්මව බලන්න ආවට.. 


මා ඇය හා සිනාසුණෙමි. කියන්නට යම් වදනක් මුවට නොනඟී. මුව ගොළුව ගියාක් සේය.. මා අතකින් ඈ අත අල්වා මුදුව පිරිමැදි මා ඈ හා සිනාසුණෙමි. මොහොතකට පසු නික්ම ආවේ බලහත්කාරයෙන් මෙන් බෙහෙත් ගන්නට යැයි කියා සුළු මුදලක් ඔහුගේ, ඒ් වයසක මනුස්සයාගේ සාක්කුවට එබීමෙන් පසුවය. වාට්ටුවේ දොරකොඩදී ආපසු හැරී බැලූ මා දුටුවේ මා දෙස බලා ඉන්නා යුවලයි. ඔවුන් වෙත මඳ සිනහවක් පෑ මම වාට්ටුවක දෝමනස්සයෝ සිත මත තබාගෙන නික්ම ආවෙමි.


ළඟ ළඟම ඇසුණ සලං සලං හඬ මගේ මතකයන් මා ඔසවා වර්තමානයට විසි කළෝය. මා හට අඩි කිහිපයක් නුදුරින් හිඳ සිඟා ඒන්නේ ඔහු නොවේද.. මා ගල් ගැසී ගියෙමි. මා අබිමුවට ආ ඔහු මා දෙස බැලුවේය. හඳුනා ගත් බවක් නොපෙනේ. මා අතින් කිසිවක් නොලැබීම නිසාදෝ ඔහු මගෙන් දුරස් ව අන් අයෙක් වෙත ගොස් අත පාන්නට විය. 


ඒ්..ඒ්.. මනුස්සය.. මට කියැවිණි…


හිටපු ඉස්කෝල මහත්තයෙක්.. ළමය ඇක්සිඩන්ට් වෙලා මැරුණ.. ලේලි එක්කම.. පස්සෙ මිනිහගෙ නෝන ඒ් දුකට බාගෙට පිස්සු හැදිල වගේ ඉඳල මොකක් හරි කරගෙන ඉස්පිරිතාලෙ ගෙනාවට පස්සෙ ඉස්පිරිතාලෙදි මැරුණ.. මිනිහටත් ඒ්කෙන් පස්සෙ පිස්සු හැදිල. නෝනගෙ මිනිය ගෙනියන්න තරං වත් සිහියක් තිබිල නෑ.. ගමේ අය එකතු වෙලා තමයි බොඩි එකත් ගෙනිහිං අවසන් කටයුතු කරල තියෙන්නෙ. හත් දවසෙ දානෙං පස්සෙ මිනිහ ගමෙං ගිහින්. දැං පාරවල් ගාණෙ යනව හිඟා කකා. ලොරි දැක්කම මිනිහට පිස්සුව වැඩිවෙනවලු. ගල් මුල් උස්සං ලොරි පස්සෙ පන්නනව..


ටයිම් කීපරගේ සංකාකූල හඬ මා සවන් පාරා දමමින් තිබේ.. මා සෙනඟ අතර ඔහු සිටීදැයි සොයන්නට වීමි. එක වරම මදක් දුරින් මිනිසුන් කෑ ගසනවාත් වාහනයක් තදින් තිරිංඟ තද කරනවාත් ඇසුණි. කිසියම් අසුභ සිදුවීමක සාංකා සහගත හැඟීමක පෙළඹීමක් ඔස්සේ මා ද ඒ් දෙසට දුවන්නට වීමි.


ලොරි රථයකට යටවී ගිය මිනිස් සිරුරක අතක් ලොරි රථයේ බෆරය අතරින් පෙනෙන්නට තිබුනි.. අතට සමාන්තරව ගලා ආ රුහිරු දහරාවක් කෙමෙන් කෙමෙන් තාර පාර වසා ගන්නට විය..


අර ලොරි පිස්සා නේ… ලොරියක් එනව දැකල ගලකුත් උස්සං ඒ පස්සෙං දුවල ගල විසි කරද්දිම පස්සෙං ආව ලොරියට යටවුණා.. කාලකණ්ණියෙක්.. ෂික්..


දෑස මොහොතකට නිලංකාරව ගියා සේ ය. මම තවමත් හුන් තැනම සිටගෙන අසිහියෙන් මෙන් අවට බලමිනි. අනෙක් අය කියනා කිසිවක් නෑසේ. තවත් ඒ දර්ශනය දරාගත නොහුණු මම සෙනඟ පොකුර අතරින් ඉඩ සාදාගෙන එලියට ඒ්මට යත් දරමි. මොන මොනවාදෝ කියවන මිනිසුන්  මා වෙත එබෙන්නා සේ මට දැණෙයි. ඔවුන් කියන්නකට සවන බිහිරිව ගියාක් සේය.. පොදි කන මිනිස් පොකුරෙන් මිදුණ මා හුස්මක් ගතිමි. පියවි සිහිය මා කරා එළඹෙන්නට වෙයි.  කෙමෙන් අවට පරිසරයේ ගෝසාවන් මා සවන් තෙරපා ගන්නට විය.


පිස්සු යකෙක් නේ..

කාලකණ්ණියෙක්..

පව් කාරයෙක්..

මී හරකෙක් නේ..


ඔහු අරඹයා නැඟෙන විවිධාකාර අපහාස වදන් වලින් දෙසවන් දෝංකාර දෙයි..


ඒ කාලකණ්නියෙක් වත් පිස්සෙක් වත් පව් කාරයෙක් වත් නෙවෙයි යකෝ.. තමන්ගේ ගෑණිට දරුවට ආදරේ කරපු මිනිහෙක්..


මට එසේ කියා කෑගසන්නට ඕනෑය. එහෙත් සුපුරුදු සේම මා ගොළුවී ගොසිණි. එදා පළමු හමුවේදී වුව  ඔහු කවුදැයි අසාගන්නට මට නොහැකි විණි. අද ඔහු මියගොස් ඇත.


එහෙත් අද මා කවුදැයි මා හට සිතාගන්නට නොහැකිව සිටිමි.



ප.ලි. - මේක තව පාරක් කියවලා එඩිට් කරලා පබ්ලිෂ් කරන්න හිතපු එකක්. මෙච්චර හදිසියෙන් පබ්ලිෂ් වෙන්නෙ අර තට්ට ගෙඩියගෙ හදිසියට පින් සිද්ධ වෙන්ඩ. ඉතිං ඔයාලා මේ වගේ අසංස්කරණිත පිටපතක් කියවන්න ූලිකම හේතුව පොර තමයි. ඉතිං මට බනින්න එපා අර තට්ට ගෙඩියට බැනපල්ලා ස්තූතියි.








26 comments:

  1. දෙයියනේ ඇයි බං ඒතරම්ම හිත කකියවන කථාවක් ලිව්වේ!?
    ඔව් බං අපේ ජීවිත හැම එකක් එක්කම ඔඅය සහකම්පනය කියන දේ බැඳිලා තියෙනවා.
    මම: මිනිහෙකුගේ අගය කරණ උතුම්ම ගති ගුණයක් "සහකම්පනය" කියන එක.
    "ආගම්" ලේබල් වලින් ඈත් වුනු අපි පිළිබඳව භාහිර මිනිසුන් නිකං වත් එක මොහොතකටවත් හිතන්නේ නැතිව ඇති අපේ හිත පුපුරන්න අනුන් කෙරෙහි සහකම්පනයෙන් පිරිලා කියලා!

    කථාව කෙසේ වෙතත් උඹ හොඳ එකෙක්!
    එහෙම කියන්නේ මේ පෝස්ට් එක දැම්මාටම නෙවෙයි.
    "ඇස්කොට්" වලට ඇති ඇල්මත් නෙවෙයි.
    උඹ් හරි නිර්ව්‍යාජ එකෙක් බං!
    ඇත්තටම මම් උඹට කැමතියි
    ඔව් උඹ හොඳ එකෙක්!!

    ReplyDelete
    Replies
    1. ඇස්කොට් කියන්නෙ රතු ඇස්කොට් වෙන්න ඇති නේද?
      නැත්තං මේ මනුස්සය බොනවයි කියන්න බෑනෙ. හැක්..

      Delete
    2. ස්තූතියි මංජුල අයියා... මේක ඔයාගෙ හදිස්සිය නිසා පබ්ලිෂ් කළා විතරයි. ආයෙ එඩිට් කරන්න නං කම්මැලී. මතක් වුණ වෙලාවක බලමු. හෙහේ.
      ඇස්කොට් එක්ක නං මළාකට සෙට් වෙන්ට වෙන්නැතිවෙයි. මේ යන විදිහට.

      @ප්‍රසන්න අයියා. අපිව නරක් කරන්න මයි නේ හදන්නෙ ඉතිං බලහංකො. හෙක් හෙක්

      Delete
  2. හ්ම්ම්ම් දුක හිතුනා.

    ReplyDelete
    Replies
    1. දුකත් කොයි තරම් සැපයක් දෝ...

      Delete
  3. කියවීමි පෝස්ටුව
    ඇසේ කඳුළකි තවම
    දුක අස්සෙ කැටි කරල
    ලොකුම ලොකු පාඩමක්!

    අනුන්හට ගරු කරමු!
    ඔවුන් හිත නොරිද්දමු!!
    නොසිඳ අබිමන ඔවුන්
    අවැසි විට පිහිට වෙමු!!!

    ReplyDelete
    Replies
    1. අපි කතා ලියනව විතරයිද මංද නිමල් අයියා... ක්‍රියා කරවය මදිද
      ස්තූතියි මෙහෙ ආවට.

      Delete
  4. අපි ගනංගන්නෙවත් නැති මිනිස්සුංගෙ ඇතුලෙ අපි නොහිතන විදියෙ දිග කතාවක් තියෙන්න පුලුවං. නමුත් ගොඩක් මිනිස්සු ඒ බව පිටට පෙන්නන්නෙ නෑ.

    තට්ටයට බැනපු එකනං කැතයි ඈ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රසන්නයියා. උහුලගන්න බැරි වුණාම පිට පයිනව. එතකොට ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්.

      ස්තූතියි දෙන බැකප්පෙකට

      Delete
  5. අැයි යකො මෙව්ව මෙහෙම ලියන්ෙන?

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මේ බෝල බෝල

      Delete
    2. වෙන කෝම ලියන්නද මිතුර.. ස්තූතියි දෙන සහයට.

      @ප්‍රසන්නයියා බෝල බෝල සබං බෝල ඩිගි ඩිගි

      Delete
  6. ආන්න ජංසං. මම කැමතිම ජාතියෙ කතාවක් ලියලා. හ්ම් පපුව උඩින් කලු ගලක් තිබ්බ වගේ දැණුනා. මමත් පොඩි කාලෙ දැක්ක ගෝනියක් ඇඳගත්ත පිස්සු මනුස්සයෙක්ව මතක් වුනා.🥲😒

    ReplyDelete
    Replies
    1. මේ ජංසං එක පැත්තෙ එනවට සතුටුයි. හැකි විට ඒ අහ ඇවිත් යන්න එන්නං.
      ස්තූතියි බසූ...
      මටත් මේ කතාව ලියන්න හේතු වුණේ පිස්සු වගේ මනුස්සයෙක්. උගත් පොරක්. අවාසනාව මිනිස්සුන්ට උරුම කරන්නෙ හිතා ගන්න බැරි දුක්.

      Delete
  7. අඩෝ නුගේගොඩත් ඉන්නව ඩෑල් එකක්... අපි දන්න ෂොප්වල උන් මස්සිනා කියල කතා කරන්නෙ.
    දවසක් ඒ මිනිහට කෙනෙක් බත් එකක් දුන්න, බිම හලල පස්සෙ තමා කෑවෙ බම්.
    මාරම ජීවිත...!

    ReplyDelete
    Replies
    1. එව්ව මාර ජීවිත නමියා. පව් බං. අපි පිටිං ඉදල හැමදේම තීරණය කරනව. ඒ අපේ හැටි.
      අර ලෝන්ලියස් කියන්නෙ

      අපි පොතට කලිං හැමදාමත් පිටකවරෙන බැලුවේ

      Delete
  8. අති සංවේදී කතාවක් මහේෂ්, කඳුළු පිරුන ඇස් දෙකට

    ReplyDelete
  9. මහේෂ් එඩිටින් වල අවුලක් නෑ වගේ . මදි කියල හිතෙනවා නම් පර්කල්පන කොටස් දාල හෙමිහිට ලස්සන කෙටි කථාවක් ලියන්න. වෙනස් , දුක හිතෙන අපූරු කථාවක් .

    ReplyDelete
    Replies
    1. ආපහු ලියන්න ඕන කෝමත්. මේක එක පාරටම ලායල දැම්ම විතරයි.

      ස්තූතියි 😊

      Delete
  10. ඉඳලා ඉඳලා ලීවා නේද එකක් පපුව ගලවන් යන්න මහේෂ් අයියෙ...
    අපි හැමෝම එක එක විදිහට අසරණ උණ මිනිස්සු. වෙනස තියෙන්න සමහර මිනිස්සු දරාගන්න සීමාවත් ඉක්මවලා ගිහින් අන්ත අසරණ වෙලා. ජීවත් වෙන්න බඩ ගින්දර නිවාගන්න අරගල කරන අතරෙ මෙහෙම උනාම මිනිස්සු පිස්සු වැටෙන එක සාධාරණයි. ඒ මනුස්සයා ලොරියට යට වෙලා මැරුණ එක ඛේදණීයයි තමයි. ඒ උනාට දැන් ඒ ජීවිතේ විඳවන්නෙ නෑ... ඒක සැනසීමක් වෙන්න ඇති (සමහරවිට).

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් ගැන අපිට තියෙන්නේ⁣ වෙනම දැක්මක්. හරි දැක්මක් නෙවී. ඒකයි අවුල.

      ස්තූතියි මලේ මේ අහ එනවට

      Delete
  11. Replies
    1. ස්තූතියි ඉයන් අයියා.. ❤

      Delete