වැස්ස වහින්නට ඔන්න මෙන්න තිබියදී කඩයට ගොඩවුණා විතරය. ඔළුවට උඩිං ටක ටක ගා කැරකෙන ලොට ෆෑන් කටුව කැරකුණේ හුළං ඕන නං සල්ලි දීපං කියන්නා සේ ය. හරියට කඩේ මුදලාලි වගේය. මුදලාලිත් ඉන්නේය. ඇති වැඩකුත් නැත්තේය. නැති වැඩකුත් නැත්තේය. මුදලාලි ඇතුවත් බැරිය. නැතත් අවුලක් නැත. ෆෑන් එකත් ඒ වගේය. මේ අංග දෙක හෝටලයට නොතිබුණා කියා වෙනසක් වන්නේත් නැති බව නම් විශ්වාසය. වැස්ස හින්දා ද කොහෙදෝ කඩේ ඇතුලේ තිබුණේ අමුතු උෂ්ණයකි. එළියේ සිසිලසක් රැදුණාට හෝටලය ඇතුලට එන්නට බැරිවා වාගේය. නැතිනම් කැමති නැතිවා වාගේය.
මේ ඇල් මැරුණ හෝටලයේ ඒකම ජීවය කොල්ලාය.
හෝටලය කියන පැට්ටේරියේ එකම පණ ගැහෙන යන්තරය කොල්ලාය. කොල්ලා කියා හැමෝම කියන්නේ
කවුරුවත් කොල්ලාගේ නම දන්නේ නැති හින්දා බව දවසක් කණට වැටුනේ නිරන්තර පාරිභෝගික
කුණු ටැට්ටරේ ඩැනියාගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වේටර් රංගයාය. රංගයාගේ කෝමත්
රංගනේ බව දන්නා හැම කෙනෙකුම රංගයාට විහිළු කරන්නේ රංග ඉන්න තිබුණේ හෝටලේ නොව විජේ
කුමාරතුංගගේ පිචෑර් එක්ක සයිඩ් සපෝටර් කෙනෙකු හැටියට බවය. ඒ වචන ඇහෙනා රංගයා තවත්
රඟන්නේ මුදලාලිට මෙන්ම උගේ පඩියටත් පාඩු කරගෙනය. ඒ කිසිත් කොල්ලාට අදාල නැත.
කොල්ලා තමන්ගේ වැඩක් කරගෙනය. හෝටලයෙන් එළියේ හෝටල් පරිශ්‍රයෙන් පඩියක් පමණ පහතට
වෙන්නට අටවා තිබූ ඇළුමිනියම් තහඩු වලින් කොටු කර සාදා කොත්තු තැටියක් රයිස්
චාත්තියක් ආප්ප චාත්ති දෙක තුනක් වටකරගෙන උන් කොල්ලාගේ කන් නිතරම
හෝටලය ඇතුලට හැරවිලා තිබුණා වාගේය. රංගයාගේ පාරිභෝගික ඇණවුම් එකක් වත් නොවරද්දා නිසි
කලට කඩිනමින් ලබා දීමට කොල්ලා සමත්ය.
කොල්ලාගේ හිස තිබුණේ නිරන්තරව බිමට
බරවය. ඒක කොහොමත් එහෙමය. සමහරු කිව්වේ ඌ නිතරම කොත්තු තැටියටම ඔලුව නමාගෙන ඉන්නා
හින්දා කියලාය. තව එකෙක් කීවේ ඒ උගේ උපන් හැටි කියලා ය. තව එකෙක් කිව්වේ කොල්ලා
ඔළුව උස්සන්නට දන්නේ නැති බවය. එහෙත් කවුරුවත් කවදාවත් ඔළුව උස්සාගෙන පාරක හෝ යන
කොල්ලා ව දැක තිබ්බේ නැත. කවුරුන් හෝ පාරක තොටක දී දුටුවත් කොල්ලා ව හඳුනාගෙන කතා
කළා මිස කොල්ලා කාවවත් දැක තිබුණේද නැත. ඉතිං කොල්ලා කාටවත් කතා කොට හෝ හිනා වී
තිබුණේ නැත. කොල්ලාගෙන් කාටවත් කරදරයක් තිබුණේ නැත. දන්නා තරමින් කොල්ලාට හිතවතුන්
හෝ ඥාති සනුහරයක් ඉන්නවා කියා කිසිවකුත් දැන උන්නේද නැත.
උදේ දහයට කොහේ හෝ සිට පැමිණ වැඩ පටන්
ගන්නා කොල්ලා සිය දෛනික රාජකාරියෙන් මදකට හෝ අතුරුදහන් වන්නේ ශරීරකෘත්‍ය කරන්නට හෝ
කෑමට හෝ විතරය. පිටි අනන කෙල්ලා, පිටි පදම් කරනා කොල්ලා, පදම් කළ පිටි ගුලි
කපන කොල්ලා, ගුලි කළ පිටි තැටිය උඩ තුනීයට සකසමින්
ඉහළ පහළ යවනා කොල්ලා, ආප්ප දමන කොල්ලා, රයිස් දමන කොල්ලා, හෝ සිය කාර්යයට
සම්බන්ධ අතුරු රාජකාරි කරන කොල්ලා වාගේ චරිතයන් මෙහෙය වූවා මිස නාහෙන් අඬන කොල්ලා, පැමිණිලි කාර කොල්ලා, කුණු කුණු ගාන කොල්ලා, වලිබර කොල්ලා, යන චරිත කොල්ලාගෙන්
දුරස්ව තිබුණි. රංගයා අනික් පැත්තය. නිතරම මුදලාලිට ද කොල්ලාටද බැණගත් ගමංය. ඒ ගැන
නං කොල්ලාට වගේ වගක් නැත. මුදලාලිට නං වගේ වගක් ඇත්තේ ම නැත. එහෙත් එයිනුත් අවැඩක්
වුණොත් ඒ වන්නේ ද රංගයාටම ය. එක්කෝ උට කන්නට වෙලාවක් නොදී ඉන්නට මුදලාලි වග බලා
ගනී. නැතහොත් රංගයා ලවා යමක් හිතා මතා වරද්දන්නට වගබලා ගනී. අන්තිමේ රංගයා මොන
රංගනය දැම්මද පාඩුව රංගයාගේ පසුම්බියටමය.
හෝටලේ ප්‍රාණ නාලිය කොල්ලාය. මුදලාලි ඒ
බව දන්නේය. නොදන්නා සේ ඉන්නේය. එහෙත් කොල්ලා වගේ වැඩකාරයෙක් ඩැහැගන්නට ඉන්නා
කාක්කන්ගෙන් කොල්ලාව ආරස්සා කරගන්නේය. නොපෙන්නා ඉන්නේය. උට වගේ වගක් නැත්තේය. උදේ
දහයට එන්නේය. රෑ එකොළහට යන්නේය. කොහේ යනවද, කොහේ සිට එනවාද
කවුරුවත් නොදන්නේය. මුදලාලි දැන උන්නේත් අඩමානෙටය.
එදා රංගයා කොල්ලාට බැන්ණේය. නිස්කාරනේ
බැණ වැදුණේය. රංගයාට කොල්ලාට බණින්නට හේතුවක් උවමනා වී තිබුණේ නැත. ඌ බැන්ණේය.
දිගටම බැණ වැදුණේය. අන්තිමේ කොල්ලාගේ අම්මාටද බැන්ණේය. කොල්ලාගේ ඔළුව ඉස්සුණි.
මුදලාලි දෙස බැලුණි. මුදලාලි වගේ වගක් නැත්තේය. හරිනම් මුදලාලි රංගයාට බැන්න
යුතුය. කොල්ලාට බණින්නට නොදී ආරස්සා කළ යුතුය. මුදලාලිට ඒ ගැන වගේ වගක් නැත්තේය. කොල්ලා
සුපුරුදු පරිදි ඔලුව පහත් කරගත්තේය. මුදලාලි හිතුවේ අවුලක් නෑ කියලාය. රයිස් එක
තාච්චියේ බැදෙමිනි. ඇතුලේ උඩපනින්නට බලා උන් බත් ඇට සනුහරේට තවම උඩ පනින්නට උඩ පැන
පැන ප්‍රීති වෙමින් බැදෙන්නට සුදුසුකම් සපුරා නොතිබිණි. කොත්තු තැටියේ සමචතුරස්‍රාකාර
බිත්තර රොටී කිහිපයක් පිච්චෙමිනි. ඒ ඇතුලේ ෆාම් කිකිළි බිත්තර තවම තැම්බෙමිනි. ඒ
බලමින් උන් කොල්ලාගේ ගත මතු නොව හිතද ගිණි ඇවිලෙමිනි. එගිණි නිවන්නට අයෙක් නැතිවා
මෙනි. ලිපේ ගිණි හිටි අඩියේ නිවුණි. මුදලාලි හිතුවේ ගෑස් ඉවර වෙන්නට ඇති බවය. කඩේ
උන් අය සිතුවේද එහෙමය. රංගයා මුණු මුණු ගාමින් ගියේද අලුත් ගෑස් ටැංකියක් ගේන්නටය.
එහෙත් ගෑස් නැතිවම කොල්ලා උන්නේ
ඇවිලෙමිනි. ඌ සිය අචලතාපී සඟයන්ට පිටුපා ආපසු හැරුණි. සිමෙන්ති පඩියට නැඟුණි.
මුදලාලි දිහා බැලුවේය. කවරදාවත් කවුරුවත් නොදුටු කොල්ලාගේ හිස කෙලින් වී තිබුණි.
ඇස් රක්ත වර්ණයෙන් ගිණි පිට කරමින් තිබුණි. මුහුණේ දාඩිය දළු උතුරා පනිමිනි.
කොල්ලා ආලවකයා වී තිබුණී. මුදලාලි බිරන්තට්ටු වීලාය. කොල්ලාගේ තොල් වලින් ගොත
ගැසෙමින් වාගේ කියවෙන “මගෙ අම්මට බණින්න…මගෙ අම්මට බණින්න…තොපි
කනව මම” යන්න පමණක් ඒ තත්පර ගණනාව තුලදී කියවා
ගන්නට හැකිවිය. කොල්ලා ආපසු හැරුණි. ඒ කොත්තු කොටනා කුටිය තුළට බසින්නට නොවේය.
හෝටලයෙන් එළියටය. මුදලාලිට දොලෝ රත් විය. අඩියට දෙකට කොල්ලා පස්සෙං පාර දිගේ
පැන්නූ මුදලාලිට මහ දවාලේ කොල්ලාගේ අත අල්ලාගෙන පිංසෙණ්ඩු වෙන්නට සිදුවිය. කුණු
ටැට්ටරේ ඩැනියා, නගර සබාවේ අයිරා, ඉස්පිටිතාලේ යසෝමා
පවා විත් කොල්ලාගේ පිටට තට්ටු කරමින් ඌ සනසන්නට විය. කොල්ලා නිවෙන පාටක් නොවීය.
මුදලාලි කොල්ලාට නොවඳිනා වැඳුම් වඳිමිනි. නොදෙනා පොරොන්දු දෙමිනි. ඒ අතරේ රංගයා
පන්නන පොරොන්දුද විය.
ඌව මොකටෑ පන්නන්නෙ.. ඔහේව නේ ගහල
පන්නන්ඩ ඔ්න.. අච්චර කුණු කතන්දර කියවද්දි සද්ද නැතිව හිටියෙ. ඒකාට දෙන පඩියෙං
බාගයක් වත් දෙන්නෑ. තව එකේකාගේ කුණු කතාහාපංකො.. හරි හමං පඩියක්කත් දීපංකො රෙද්ද.
කවදාවත් ඔළුව නූස්සන "කොල්ලා" ඔළුව
උස්සලාය. කතා නොකරන "කොල්ලා" කතා කරලාය. ඉල්ලීම් නොයිල්ලන "කොල්ලා" ඉල්ලීම් කරලාය.
මුදලාලිට හැමදේටම කං දෙන්නට සිද්ද වෙලාය. නැත්තං එහෙම ඉන්නට සිද්ද වෙලාය. "කොල්ලා" නැත්තං වෙන්නේ හෝටලේ වහන්නටය. එහෙම වුණොත් වෙන එකෙක් "කොල්ලා"ව උස්සන එක නවත්තන්නට
සක්කරයාටවත් බැරිය. "කොල්ලා" නැති හෝටලයක් ද නැත. හෝටලයක් නැත්තං මුදලාලියෙක් නැත. මුදලාලියෙක්
නැත්තං බඩ ගෝස්තරේ රැකෙන්නේද නැත. ඉදින් ප්‍රථම වතාවට වැඩ කරන
පංතියේ කොල්ලා දිනලා ය (ද.?) පාලක පංතියේ "මුදලාලි" පැරදිලා ය (ද.?)
-පිංතූර අන්තර්ජාලයෙනි. (Image Credits should go to their respective owners)
https://maruads.lk/vacancy-for-cooks-kottu-bass-athurugiriya-50181
ReplyDelete45000 මදි මේ දවස් වල. කොත්තු ගහන්න බෑ අනික 😏😏
Deleteහෙට උදෙම්ම එන්නං කියවන්ඩ ඈ...
ReplyDeleteඕව වෙන වැඩ නෙවේ.. ඕක හරියන්නෑ 🤭🤭
Deleteකොත්තු බාස් කෙනෙක් ඔච්චර ගැම්බර් මොකද?
ReplyDeleteඅ.පාදෙණිය කෘෂි විශේෂඥ තුමා ගෙදරදීම පොල්තෙල් සාදාගන්නා අන්දම කිව්වා වගේ විශේෂඥ වෛද්‍ය ලක්ශාන් අබේනායක තුමා ගෙදරදීම කොත්තු සාදාගන්න අන්දම FB එකේ කියල දීල තියෙනවා.
ජයවේවා!
Myself Hattor
කොත්තු බාස් කෙනෙක් ගැන කතාවක් නොවෙන හින්ද ගැම්බර් ඉතිං 😂😂😂
Deleteඅබේනායකගෙ පෝස්ට් එක මාත් දැක්ක. ඒක ට්‍රොල් කරල මාතෙ දැම්ම එකත් දැක්ක.
විකාර නේ මෙයා
පව් අසරණ කොල්ලා..හැමදාම ඔලුව පාත් කරන් ඉන්ට පුලුවනෑ.හොදවැඩේ මුදලාලිට 😊
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහැමදාම සද්දෙ දාන එකාට වැඩිය සද්ද නැතුව ඉඳල ඇවිස්සෙන එකා භයානකයි.
ReplyDeleteරංගය ඉල්ලං කාල තියෙන්නෙ.
රංගයව... නයාම කන්න ඕන 😁
Deleteඔය හෝටල්වල ජරාව කන එවුවො කන්න බෑ බං.
Deleteකතාව නං හොඳයි.
ReplyDeleteලගදි කෞත්තුවක් කෑවෙත් නැ බම්.
ReplyDeleteකතාව මරැ!
කතාවට දහයෙන් දහයක් දෙමි. හැබැයි මේකෙන් ඇඟවෙන්නේ විප්ලවය කරන්ට නොවේ කියා හිතමි. ඉස්සෙල්ලා තමන්ගේ අගය දන සිටීම වඩා හොඳය
ReplyDeleteඔව් අපි ඔළුව උස්සාගෙනය!
ReplyDeleteඅපේම එවුං ඊට එකෙක් වචන කියති.
ඕඅක හරියන්නේ නෑ.
අරෙහෙත් ඔහොම උනා
මෙහෙත් එහෙම කරා
ඒත් හරි ගියේ නෑ කියති.
වේදනාව දන්නේ තුවාලය තියෙන එකාය.
ලෙඩා කියනවා නං දත රිදෙනවා කියා දොස්තරට; රිදෙන්නේ නෑ කියන්නට නොහැක.
ත්වමතෙ හෙම කියනා දොස්තරලාගෙන් වැඩි හරියක් මේ පරිප්පුව කන්නේ නැත!
නැතිනම් හොර දොස්තරලාය!
ඔහොමම යං!
හැමදා නියං එකදා වැහි වලාවේ
ReplyDeleteකීමය, කතාවෙන් මගෙ සිහියට ආවේ
නිඳා උන්නු කොටියෙකුවය කීද්දුවේ
එතකොට ඔහොම වෙනවා නෙව ඇන්නෑවේ!