Friday, November 14, 2025

විවාහපේක්ෂිත තරුණියන්ගේ මාරයා - Bhagwat: Chapter 01 - Raakshas

 


මෝහන් කුමාර් නැත්නම් සයනයිඩ් මෝහන් කියන්නෙ දාම ඝාතකයෙක්. ඔහුගෙ අවසාන ගොදුරු ප්‍රයත්නය විදිහට සලකන්නෙ අනීතා කියන තරුණිය. 2009 දවසක ඇය හදිසියෙම අතුරුදහන් වෙනව. හුඟක් ඉන්දීය තරුණියන් වගේම ඇයත්.කවුරු හරි සමඟ පැනල යන්න ඇති කියල හිතුවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීන්ට වෙනත් අතුරුදහන් වීම් හා සම්බන්ධ තොරතුරු රැසක් මේ අතුරුදහන් වීම සමග දැනගන්නට ලැබෙනව. ඒ හෝඩුවාවන් ඔස්සේ ඉදිරියට යන පොලිසියට සයනයිඩ් මෝහන් හෙවත් මෝහන් කුමාර්ව හම්බ වෙනව.  

Monday, November 10, 2025

දිනන දවසක් - Whispers Of Desire


මම හිතනවා ඔයාලා තීරු ලිපි කියවලා ඇති කියලා. ඇත්තටම මගේ ප්‍රියතම සාහිත්‍යය ශානරයක් තමයි තීරු ලිපි කියන්නෙ.  රසික ජයකොඩි ගේ ඉඳන් නීල් විජේරත්න වෙනකන් නැත්නම් මහාචාර්ය ධම්මික ගංගානාත් මහත්මයා වෙනකන් මගේ තීරුලිපි කියවීමේ පරාසය සීමාවක් නැතුවම විහිදිලා යනවා. ඒ වගේම තමයි කවදාහරි දවසක මමත් තීරු ලිපියක් ලියන්න ඕන කියලා ලොකු ආසාවක් හිතේ තිබුණා. ඒත් මම වගේ  ලිවීම ගැන ලොකු හැකියාවක් නැති කෙනෙක්ට ඒක ටිකක් දුෂ්කර කාර්යයක්. පුවත්පතකට ලියන්න බැරි උනත් මුහුණු පොතේ මගෙ පේජ් එක වෙනුවෙන්  තීරු ලිපියක් වගේ ලිපියක්, අඩුම වශයෙන් ඒ ආසන්නයට එන ලිපියක් ලියන්න මට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනව. ඉතින් මගෙ මේ වෑයම ඒ වෙනුවෙන්.

Wednesday, November 5, 2025

මහා ගින්නක වියරුවට එරෙහිව : The Lost Bus



2025 අවුරුද්දේ නිකුත් උන තවත්  චිත්‍රපටයක් තමයි The Lost Bus කියන්නේ.  චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ The bourne series, United 93, Captain Philips, Bloody Sunday වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Paul green grass විසින්. මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ 2018 අවුරුද්දේ කැලිෆෝනියාවේ සිද්ධ උන "Camp Fire"  කියන නමින් ප්‍රසිද්ධ ලැව් ගින්න පාදක කරගෙන. මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ Apple TV ඔස්සේ. ඒ වගේම සීමිත දර්ශන වාර කිහිපයක් සිනමාශාලාවලටත් ලැබුණා. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර  සිනමා දත්ත දර්ශකයෙන් වගේම රොට්න් ටොමැටෝස් විචාරක අඩවියෙනුත් ඉහළ පැසසුම් හිමිවෙලා තියෙනවා.

Sunday, November 2, 2025

කෲරත්වයේ මහා පා ගමන : The Long Walk



~Minor Spoiler Alearts~

The Long walk චිත්‍රපටයෙ වෙබි පිටපත පහුගියදා නිකුත් කෙරුණා. ලංකාවෙ සිනමාහල් වල සීමිතව තිරගත වුණ  හින්දා මේක බලන්න වුණේ නං පුංචි තිරේ තමයි. චිත්‍රපටය ගැන කතා කරන්න කලිං ඊට පසුබිම් වුණ පොත ගැන ටිකක් බලල ඉමුද?

Friday, August 30, 2024

උත්පත්ති - GENESIS

         


සුගිය දින කිහිපයම ගත වූයේ පොතක් කියවීමට නොහැකි වීමේ සාංකාවකිනි. ඊට ඉසිඹුවක් නොලැබීමේ සෝතාපයෙනි. ඉදින් ලද පළමු අවස්ථාවේම අතට හසුවූ පොත කියවන්නට සිතීම අහම්බයක් නොවන බව සිතමි. පොත අතට ගත්තේ බොහෝ බලාපොරොත්තු පෙරැදිරිව බව කිව යුතුමය. හේතුව නම් ස්වර්ණ පුස්තකය සඳහා මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා ද දෙවර්ෂයක දී කෘතීන් ද්වයක් සඳහා සුදුසුකම් ලැබීම මෙන්ම ප්‍රවීණ කතුවරයෙක් ලෙස සැලකිව හැකි වීමද විය යුතු බව සිතමි.

Saturday, August 17, 2024

පා ගමන් වන්දනාව, දන්සැල්, ඇබ්බැහිකම් සහ නොහොබිනාකම්.

        

ඉටිපහන් දැල්වීම පිණිස

ඒ.
. මගේසා.. මගේසා.. අංගේ.. අංගේ .. අර.. අර නඩන්ද වාර ආකල්.. (පයින් එන අය) අපේ රියදුරා පෙන්නුවෙ අපහසුවෙන් වගේ ඇවිදන් එන කිහිප දෙනෙක්. පාවහන් නැතිව රිටක වාරුවක් විතරක් අතේ තියාගෙන, සියලු බඩු බර බැක් පැකයකට භාර දීල ඒ බරිනුත් හෙම්බත් වෙලා කොරගහමින් වගේ බොහොම වෙහෙසට පත් වුණ මුහුණින්, ඒත් සිනහවෙමින් හරියට රටක් රාජ්ජයක් දිනුව වගේ, සතුටින් සුරුවම දිහාට ඇදෙන අය දිහාවෙ බලපු මට ඒ මිනිස්සු ගැන ඇතිවුණේ ගෞරවයක්.

Tuesday, August 13, 2024

වෙහෙස නිවන දේශීය ඖෂධ, කටගැස්මට මාලු සහ අතිහිතේෂීවන්තයෝ

   

මරඳ මඩු සිද්ධස්ථානය

මේ
දවස් ටිකේම අපි ඉන්නෙ මඩු සිද්ධස්ථානයෙ තාවකාලික නවාතැනක. හරි විදිහට කියනව නං තාවකාලික කාර්යාලයක. අවුරුද්දෙ අනිත් දවස් වල මන්නාරම ඉදන් අපේ රාජකාරි කරන අපි මන්නාරම කාර්යාලය එක් නිලධාරියෙක් ට පමණක් සීමා කරල මඩු සිද්ධස්ථාන භූමිය වෙත විතැන් වෙලා ඉන්නෙ. හරි විදිහට බැලුවොත් මන්නාරම කාර්යාලයෙ එදිනෙදා රාජකාරි නිසි පරිදි සිද්ධ විය යුතු වුණත් නිලධාරීන් ගේ හිඟය නිසා වඩාත් වැදගත් සහ අත්‍යාවශ්‍ය ලෙස සලකලා මඩු සිද්ධස්ථාන භූමිය වෙත පැමිණිලා අපේ රාජකාරි සිද්ධ කරනව. (මඩු භූමියේ කටයුතු ගැන වෙනම ලිවිය යුත්තක් සහ මේ වගේ දුවන ගිරි සටහනකින් එය කළ නොහැකි නිසා ඒ ගැන පසුවට)

Saturday, July 27, 2024

පරිවර්තන - සන්තෘෂ්ටියේ ඉසිඹුව - A moment of happiness - By Mewlana Jalaluddin Rumi


සන්තෘෂ්ටියේ මොහොතක්ය,

ඔබ හා මම, ආලින්දයෙහි වාඩි ලා සිටින

දැකුමෙන් දෙදෙනෙක්ව හඟින, එක් ආත්මයක් හිමි

ඔබ සහ මම,

Friday, July 12, 2024

පොත් කියවීම්, පොත් පෙරලීම්, සහ ඇබ්බැහිකම් - A Bookaholic's Memory.

         


පොත් කියවීම සහ පොත් එකතු කිරීම ගැන පහුගිය දවස් වල ලොකු සංවාද ගියා. සමහරක් එව්ව ෆේස්බුක් අවකාශයේත් කිහිපයක් බ්ලොග් අවකාශයේ ලියැවුණා. එකක් හෙල්මලී අක්කත් අනික චේජනා ත් තව කොෆී ටේබල් පුස්තකයක කතාවක් සහ අනු කතා කිහිපයක් ගැන පෝස්ටු කිහිපයක් නිමල් අයියත්, තවත් පොත් කතාවක් අජිත් අයියත් ලියල තිබුණ.(මඟ හැරුණ ඒවා තිබේ නම් අමතක වීම නිසාම පමණත් බවත් කිසියම් හෝ ආකාරයකින් තේරීමක් නොකළ බවත් පවසමි.) ඒ පෝස්ට් අතර රසබර කමෙන්ට්ස් බර තොගයක්  තිබුණ.  ඒ දවස් වලම මමත් රැල්ලට වගේ එකක් ලියන්නං කියල හිතාගෙන හිටියත් ඇත්තටම පහුගිය දවස් වල තිබුණ කාර්යය බහුලතාවය නිසා පෝස්ටුවක් ලියන්න තියා පෝස්ටුවක් කියවන්න වත් වෙලාවක් ලැබුණෙ නෑ. ඉතිං රැල්ලෙන් වෙරළ හේදිලා ගිහිල්ල සිප්පි කටුත් මතු වෙලා තියෙන වෙලාවක වුණත් හිතේ තිබුණ දේවල් ටික නොලිව්වොත් අපරාදයක් කියල මට හිතුණ. ලිවීම අතින් මම කම්මැලියෙක් නිසා ලිවීමක් ගැන මම කතා කරන්න යන්නෙ නැතත්, දැං මන්දගාමී වෙලා තිබෙන නමුත් පූර්වයෙන් හොඳ පොත් ගුල්ලෙක් වුණ නිසා  ඒ ගැන යමක් ලියන්න හිතුව.

Saturday, June 29, 2024

තොරතුරු අවශ්‍යතාවය සහ ජනයා ගොනාට ඇඳගැනීම හෙවත් බොම්බිලි මාකට් වීම.

       
 
හුඟක් අයට අනුව මේ වෙද්දි ලංකාව ඇතුලෙ එක එක  විපරීත දේවල් සිද්ධ වෙනවනේ. ඒත් ඇත්තටම ඒ දේවල් අඩු හෝ වැඩි වශයෙන් අතීතයෙත් සිද්ධ වුණා. නමුත් ඒ ගැන දැනගත්තෙ සීමිත පිරිසක්. හේතුව තමයි කට කතා වලට හෝ කවි කොල වලට යන්න පුළුවන් සීමා සහිත දුර. ඊටත් වඩා අනූව දශකය සහ ඊට පෙර, ඇත්තටම බැලුවොත් දෙදාහ දශකයේ මුල කොටස සහ ඊට පෙර කිව්වත් ලොකු වරදක් නෑ. පත්තර හෝ ගුවල් විදුලියෙන් හෝ රූපවාහිනිය මාධ්‍ය කොට ගෙන ගොසිප් වර්ගයේ පුවත් වල ප්‍රචාරණයේ අවම භාවය. සහ යම් මායිම් ඇතිකරගත්ත සදාචාරාත්මක සලකුණු.