Monday, January 13, 2014

මෝහිණී.... මගෙ නංගියේ....

                                                   හීනියට අන්ධකාරෙ  මෝදුවෙන ගොම්මනේ මං වෙසක් එකට වට්ටාරමෙන් ගත්තු බටනලාව පිඹින්න පටං ගත්ත. පිඹින්න මහලොකු දැනීමක් තිබුණෙ නැති උණත් ඇගිලි එහෙ මෙහෙ කර කර මං බටනලාව පිඹිනව. තත්පර ගෙවිල විනාඩි වලින් වෙලාව මයින කොට පිට පුපුරු ගහන පත කොසු පාරක් පිට පුරා වැදුන. මෝහිණි ගෙන්න ගන්නද හදන්නේ බොල. කිරි අම්ම මගෙං බටනලාව උදුරං ගේ ඇතුලට ගියා. එදා රෑ මගෙ කොන්දෙ තෙල් ගාන්න උනේ කිරිඅම්මට ම තමා. ඒ වගේම එදා තමා මං ඉස්සේස්සෙල්ලාම මෝහිණී ගැන ඇහුවෙ. පස්සෙ මේ ගැන සිහිසෙම්පත් ඇති වෙලාවක මං කිරි අම්මත් එක්ක කතා කරපු වෙලාවක තමා උන්දැ මට මේ ගැන කීවෙ.
                                                      මෝහිණී කියන්නෙ බොහොම ලස්සන යකින්නක්. එයාට දරුවෙකුත් ඉන්නව. දරුව වඩං ඉන්න ඈ තනි පිරිමි පරාණයක් දැක්කාම ඒ පිරිමි කෙනා ළගට ගිහිං දරුව වඩා ගන්න දීල අනෙක් පැත්ත හැරෙනවලු. ඉස්සරහ පැත්ත ලස්සනට තිබුණට පිටිපස්ස හැරුණාම මෝහිණී කියන්නෙ සම්පූර්ණ යකින්නක්ලු. මෙයාට අහුවුනොත් නං ගැලවීම අපාසුයි කියල තමා කිරියම්ම නං කියල දුන්නෙ. තව ගොඩක් දේ කියල දුන්නත් මේ වෙනකොට ඒව මතකෙන් හැලිල. එදා ඉදන් අද වෙනකං එක එක වෙලාවට මං මෝහිණී ගැන අහල තියනව. මතකයක් විදිහට හැමදාම හිතේ කොණක මේ අපහැදිලි අමනුස්ස ස්ත්‍රියාව හොල්මං කළා. ඒත් ඒ හැම වෙලාවෙම හිතට ආවෙ ඇයි මෙයා යකින්නක් උණේ කියල අදටත් ඒ ප්‍රශ්නෙට නං උත්තරයක් මට නෑ.

                                                      කොහොම හරි පහුගිය දවසක මං මෝහිණී කියල සිංදුවක් ඇහුව.. හරි අපූරු සංගීතයක් අපූරු පද ගැලපුමක් එක්ක සිංදුවටම හරියන වොයිස් එකක්. ඒ අහපු වෙලාවෙම ඉන්ටනෙට්ටුව කාල් ගාල මේ සිංදුව අහනව දැනට විසි තිස් පාරක් අහන්න ඇති ඒත් හරි අපූරු කරුණා රසයක් විනා එපා වීමක් නං දැනුන්නෑ. මේ තියෙන්නෙ ඒක.

ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
දොළ හඩන තුං මං හන්දියේ
කවුරු එනතුරු මග බලනවද
මෝහිනී මගෙ නංගියේ
මෝහිනී ආදර නංගියේ......

උඹේ දරුවා ගන්න කවුරුත්
නොඑන මූසල මංඩියේ
උඹට දරුවෙක් දෙන්න
ඕනැ තරම් අය ඇති  නංගියේ
උඹට දරුවෙක් දෙන්න
ඕනැ තරම් අය ඇති  හංදියේ...

සුරනට අමතකව දරුවන්
හඩද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් උනේ කොහොමද
කියා දීපන් නංගියේ.......

                                                                     පද රචනය

                                                                  රජී වසන්ත වෙල්ගම
                                                                          

                                                                            ගායනය

                                                                       සමන් ලෙනින් 
                                                                        

                                                                           සංගීතය

                                                              දර්ශන රුවන් දිසානායක

                                                   අම්මලා ළමයිව අනාථ නිවාස ඉස්සරහ දාල යන, කබරයන්ට කන්න දාන, තමංගෙ ළමයි වත් එල්ලල තමනුත් එල්ලෙන, ළමයි එක්ක කෝච්චියට පනිද්දි අනෙත් ළමය ඒ දිහා බලං ඉන්න වෙන කාලෙක මෝහිණී ට තියෙන්නෙ සදා නොවෙනස් මාතෘ ප්‍රේමයක්ය කියල මට හිතුණෙ මේ සිංදුව අහන කොට.
                                                   සමහර තාත්තල තමංගෙ ලේ වලිං ජනිත වෙන දුවව සහේට ගන්නකොට, අවුරුද්දක් වයස නැති බිළිදියව දූෂණය කරණකොට, තමං ළග ආරක්ෂාවට තියල යන චූටි මිණිබිරීට බරපතල ලිංගික අපයෝජන කරනකොට මෝහිණී තමංගෙ ළමයට පෙන්නන සෙනෙහස පුදුමාකාරයි නේද කියල හිතුණ.
                                                  තමං ළගට අකුරු ඉගන ගන්න තමංව විස්වාස කර එන පුංචි දැරිවියන්ව අපයෝජනය කරන, ගුරුවරු විදුහල්පතිල ඉන්න රටේ මෝහිණී අපේ සමාජට උගන්නන මාතෘ ප්‍රේමය කොයිතරං පුදුමාකාරද.
                                                  රටේ ජනතාවගෙ ඡන්දෙන් පත්වෙලා ඍවුන්ගෙ සුභ සිදධියට ආරක්ෂාවට කටයුතුකරන්න ඕන ඇමතිල මංත්‍රීල සමාජ සාරධර්ම සභ්‍යත්ව බිද දාන ගමන් මල් කැකුළු වගේ දැරියන්ව දූෂණය කරන කාලෙක මෝහිනිය කියල දෙන රැකවරණය ගැන පාඩම අපට මගෑරුණේ කොහොමද කියල හිතෙනව.
                                                  මං මේව ටික ඇත්තටම කීවෙ මෝහිණී හැබෑම අම්ම කෙනෙක් නේද කියල හිතුණ හන්ද. ඒ වෙන මොකවත් නිසා නෙමේ,
                                                   තමංගෙ රෙද්ද ඇදගන්න වත් දරුව බිමිං තියන්න අකමැති  ඒ අම්මගෙ ආදරේ කොයිතරං ද කියල මට හිතෙනව.  අනික ගැහැණියක් අතට නොදී පිරිමියෙක් අතටම දරුව දෙන්නෙ ඒ දරුවගෙ ආරක්ෂාවට නෙමෙයිද? මොකද ගැහැණීයක් තවත් ගැහැණියකට උදව් කරන්නෙ නැතිම තරං කියල ආයෙ අමුතුවෙං කියන්න ඕන නෑනෙ. තමංගෙ දරුව එක තත්පරේකට වත් බිම තියන් අකමැති කෙනෙක්, තමංගෙ දරුවට මේ තරං මාතෘ සෙනහසක් දක්වන කෙනෙක් ඇත්තටම කොහොමද යකින්නක් වෙන්නෙ    

නුඹ යකින්නක් වුනේ කොහොමද
කියා දීපන් නංගියේ....

                                                       දරුවෙක් වඩාගන්න කෙසේවත් මෝහිණීට උනත් දරුවෙක් දෙන්න තරං අය මේ සමාජයෙ ඕන තරං. නොසිදෙන කාම තෘෂ්ණාව හින්ද වියරු වැටිල ඉන්න සමාජෙට මෝහිණිත් අයෙ කජ්ජක්ද කියල හිතෙනව. අන්තිමට මට කියන්න ගියෙන්නෙ මෝහිණියෙ උඹත් පරෙස්සං වෙයං මුං උඹට බයිට් එකට අරං තව දරුවෙක් බඩට දීල ඔය ඉන්න එකාව ගණිකා මඩමකට හරි කොහාට හරි විකුණයි කියල තමයි.

16 comments:

  1. බෝම ස්තුතියි සින්දුව ගැන අද තමා දැනගත්තේ...

    ReplyDelete
    Replies
    1. දැනුවත් කරන්න ලැබුණට සතුටුයි....
      අහල බලලම කීව නං මොනාද හිතුනෙ කියල

      Delete
  2. හරිම ලස්සනයි ,අද කාලේ අඩන එක නේ තියෙන්නෙ එ වගේ කාලෙක මේ වගේ සින්දුවක් අහන්න ලැබෙන එකත් සතුටුයි ..

    ReplyDelete
    Replies
    1. ඔබට උදව්වක් උණා නම් සතුටක්...
      මල් සිංදු වලට වඩා ගව්වක් ඉස්සරහින් තියෙන සිංදුවක් කියලයි හිතෙන්නෙ

      Delete
  3. මයේ මතකේ හැටියට මෝහිණි ගැන පොඩි කතාවක මතකයක් තියෙනවා.....මෝහිණිත් කාලයක් අපි වගේ මනුෂය ආත්මයක ඉපදිලා පවුලක් පන්සලක් වෙලා ඉද්දි.....මොහිණිට දරුවෙක් උපන්නලු ඒ එක්කම ස්වාමියා මෝහිණිව අත ඇරලා ගියාලු එදා ඉදන් හන්දි ගානේ,පාරවල් ගානේ මෝහිණි ස්වාමියා එනකම් බලා හිටියට ආවේ නැතිලු පසු කාලිනව සැමියා හැර ගිය දුකින් මෝහිණිත් සිගිත්තත් මිය ගියාලු.......සැමිය ගැන කෝපයෙන් මිය ගිය සිතත් එක්ක ඈ යක්ෂණියක් වෙලා දරුවෙකුත් අරගෙන පිරිමින් සොයා පාලු තැන් වලදී ගොදුරු කර ගන්නවලු........ මේ කතාව මයේ මතකයේ තිබුනේ හරි කතාවක්ද වැරදි කතාවක්ද මම දන්නේ නෑ..........

    මේ සිංදුව හරිම ලස්සනයි.....ස්තූති

    ReplyDelete
    Replies
    1. මෝහිණී ගැන සෑහෙන පුරාවෘත තියෙනවා. ඒ ගැන සෑහෙන්න ලියන්න පුළුවං. කොටින්ම කීවොත් වෙනම රිසර්ච් 1ක් කරන්න පුළුවන්. ඔයා කියපු 1 මං අහල නෑ ස්තුතියි දැනුවත් කලාට...
      එන්න පුලුවං පුලුවං වෙලාවට මේ අහ

      Delete
  4. සිංදුව නම් අදමයි මචං ඇහුවේ..

    // උඹ යකින්නක් උනේ කොහොමද
    කියා දීපන් නංගියේ.......//

    මේ ටික නම් සිරාවටම මරු..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... මටත් සෑහෙන කාලෙකින් හිතට දැනුන හොදම සිංදුව...
      අැත්තටම සුරංගනාවට වඩා මේ මෝහිණී හොදා කියල හිතෙනව මට

      Delete
  5. සිංදුව මාත් අද තමයි ඇහුවේ.සෑහෙන්නවටින තේරුමක් තියනවා.
    // උඹේ දරුවා ගන්න කවුරුත්
    නොඑන මූසල මංඩියේ
    උඹට දරුවෙක් දෙන්න
    ඕනැ තරම් අය ඇති නංගියේ//

    වත්මන් සමාජයේ තනිවුන ගැහැනියකගේ දුක

    ReplyDelete
    Replies
    1. මෝහිනී කියල කීවට තනිවුණ හැම ගැහැනියකටම අදාලයි කියල මටත් හිතුනෙ ඔයාගෙ අදහස කියවපුහම... ඔයාටත් ස්තුතියි...

      Delete
  6. ගීතය ඇහුවා. අලුත් නිර්මාන සංකල්පයක්. මට ඇහුනේ හරියට කේමදාස ශූරීන්ගේ වේදිකා නාට්‍ය ගීතයක් වගේ. හොඳයි, ඉදිරියට යන්න ජය පතනවා මේ නිර්මාණ කරුවන් තිදෙනාටම.

    ReplyDelete
    Replies
    1. ම් ම්... මටත් අහපු පළවෙනි පාරම ඔහොම හිතුන... ඔපෙර මියුසික් එකක් තමා තියෙන්නෙ....
      සමන් ලෙනින් හැර අනෙක් දෙදෙනාම මේ වෙනකොට සම්මානිතයි නේද විචාරක තුමා

      ගොඩක් ස්තූතියි මේ අහට ආවට... පුලු පුලුවං වෙලාවට ඇවිත් අපිටත් යමක් කියල යන්න ශක්තියක් වේවි අපිට.. හදාගන්න අපේ වැරදි..
      එන්න හැකි වෙලාවට

      Delete
  7. මට මේ සින්දුව අහන්න ලැබුනා . නැවත මතක් කලාට ස්තූතියි. ගීතයට සම්බන්ධ තිදෙනාම සිංහල ගීත කලාවට සම්පත්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... අහන්න කියල හරි හමන් සිංදුවක් නැති අද වගේ කාලෙක.. මේ වගේ අයගේ සිංදු කතරට වැටෙන දිය පොදක් වගෙයි
      ස්තුතියි මේ අහට ගොඩ වැදුණට...
      එන්න හැකි වෙලාවට
      පුළුවං නං
      ලොකු දෙයක් මට

      Delete
  8. වැඩේ නියමයි මේ වගේ තවත් අර්ථවත් ගීත විවරණය කරපන්
    ජයවේ මහේෂ්!

    ReplyDelete
  9. ගීතයනම් අහන්ඩ බැරි උනා,
    රට රටවල් අනුවත් ඔය යක්කු සංකල්පය වෙනස්වෙනවා, මගේ මිත්‍ර පිලිපින් යුවලක් ළමයව බය කරනවා '' වයිට් ලේඩි '' එනවා කියල.

    ReplyDelete