Wednesday, February 12, 2014

තරු සිහින...

දේදුන්නේ සප්ත වර්ණයන් හට ඔච්චම් කරන්නට, එහි කීර්තිය උදුරා තමන් නතු කරගන්නට මෙන් ආඩම්බරයෙන්, මාන්නයෙන් පිරී ඉතිරී ගිය කෘතීම වර්ණ ධාරාවෝ සිය කාන්තිමත් ආලෝකයෙන් අදුර පලවාහරිමින් සිය නෙක වර්ණාවලියන්ගෙන් හාත්පස්ම අතුරුසිතුරු නැතිව පුරවා හරිම්න් සියල්ලටම ඉහලින් නිසොල්මනේ රැදී සිටියි.. අදුර ඒ මාන්නක්කාර රශ්මි කදම්බයන් කෙරේ පිරුණු තරහයෙන් යුතුවම මුලු ගැන්වීගෙනය... තමන්ට අභියෝග කරන මනුසත වෙත වියරු ඇස් බමවාගෙනය... ඔරවාගෙනය..  මේ කිසිත් නොතැකූ නොසිතූ සහසක් තරම් ප්‍රේක්ෂක තරලයක් නිර්වින්දන මානසිකත්වයකින් යුතුව ආලෝකයද අදුරටද අතරමැදිව පනවන ලද අසුන් මත සිහියෙන් මුත් අව සිහියෙන් වාඩිලා සිටියෝ. නැත එසේ වාඩි වීමට ඔවුන්ට බල කර තිබුණි.

මායාත්මක ප්‍රීතියකින් හා අවට සකල සිදුවීමිහි සැබෑප්‍රතිරූපය නොපෙනෙනා ලෙස නිර්මාණය කරන ලද නාඩගමකින් ඔවුන්ව නිර්වින්දනය කර තිබිණි. උහු සැබැවින්ම ඊට හසුවී ඊට අනුගතව තිබිණි.. උහු ඉදිරියේ රගදක්වන්නා වූ සංගීතමය මායාව දෙස ප්‍රීතියෙන් මුත් ඊර්ෂ්‍යෙවන් පෙලෙමින් ඒ බවක් නොපෙන්නා ජයඝෝෂා නගමින් හුන්නේය.. තරු පිරි අහසේ තවත් තරුවක් වෙන්නට කැස කවන්නන් පිරිසක් ඔවුන් ඉදිරියේ නගා තිබූ වේදිකාව මස්තකයේ මවාගන්නා ලද සිනහවකින් අනෙකා කෙරේ වූ බොරු හිතවත් කමකින් මුත් අනෙකාව දවා හල හැකි තරමි වියරුවකින් වුව මවා පෙන්නන ලද සාන්ත භාවයකින් සිටගෙන සිටියෝය...

Thursday, February 6, 2014

''බො'' යන්න සහ බොන්නන්....

මට මේ ලිපිය ලියන්න හිත දුන්නේ සෑම් කොල්ලාගේ මේ පෝස්ටුව දැකීමෙන් පසුවය. පහුගිය කීප දොහේම වැඩ රාජකාරි අධික වීමත් මගේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂනය විසන්ධි කර තිබීමත් නිසා මේ පැත්ත පළාතක එන්න බැරිවිය. ඒකටත් එක්ක හරියන්න අද පෝස්ටුවක් දානවා කියා හිතාගෙනම වාඩිවුණාට මොකද බ්ලොග් කියවන්න සෑහෙන වෙලාවක් ගතවීම හින්දා ඒකත් පරක්කු විය. (පදුරු වටේ තැලුවා වැඩිද මංද.)

මේ දවස්වල කොල්ලන්ගේ ප්‍රියතම අකුරු වලින් 1කි ‘’බො’’  යන්න. ඉස්සර නං කොල්ලන් වැඩිපුරම කලේ බොයන්නක් බැස්සීමය. කාට හරි බොයන්නක් බස්සන උං තමංගේ වැඩේ අපූරුවට කරගනී. නැතිනම් මොකක් හෝ මරාලයකින් ලස්සනට ගැලවී යති. ඒ වැඩේටම උපන් හපනුන් අනන්තවත් ඇත උන් හදුන්වන්න වෙනම නාම පදයක්ද ඇත. උන්ට කියන්නේ ඇම්ඩලාය. ඇම්ඩලාද කොටස් කීපයකි. ඒ අතරින් ගල් ඇම්ඩලා රජ ඇම්ඩලා හා පකිං ඇම්ඩලා ප්‍රධානය. කෝමත් මේ කතාව උං ගැන නෙමේය.

බොයන්නෙන් පටං ගන්නා තවත් පදයක් නම් බොනවා යන්නය. එය ක්‍රියා පදයකි. බොන්නේ වතුර හෝ පැණි බීම හෝ නොවේය. බීපුවාම කට්ටියකට දිවිය ලෝකේ පේන කට්ටියකට අපාය පේන කට්ටියකට මිනිස් ලොව සියලු සිදුවීම් සැකෙවින් පේන බීමකි. එහෙම බැලුවාම දිවිය ලෝකේ අමෘතය පරාදය. සමහරුන් බොන්නේ ආතල් එකටය. සමහරුන් බොන්නේ දුකටය. තවත් සමහරුන් සතුටට ආතල් එකට බොති. එතනත් අමුතු වර්ග කිරීමක් ඇත. සමහරුන් මද පවනේය. තවත් අය නාග සලංය. තවත් අය නයි නෑවා වගේය. ඔය අතරේ කට්ටියක් ප්ලැටේ ප්ලැට්ය. මේ අතරේ හීං සීරුවේ දෙකක් දමාගෙන මද පවනට මත සංකල්පය ක්‍රියාත්මක කරන්නෝද සිටී.

Thursday, January 30, 2014

මං ජනාධිපති වුණොත්.... (ෆැන්ටසි)


මේ ලිපිය පිළිබද ඔබට ගැටලුවක් ඇතිවිය හැක. නමුත් මා යමක් ඔබෙන් ඉල්ලා සිටිමි. මේ ලිපිය අවසානය දක්වා කියවන්න. අනතුරුව ඔබේ අදහස නොසගවා පවසන්න.
තරව සිහි තබාගන්න මෙය එක් ෆැන්ටසියක්ම පමණි...
                                               
                                                  ************



කිසිම හේතුවක් නිසා මං වගේ පුරවැසියකුට අපේ වගේ රටක ජනාධිපති වෙන්න පුළුවන් කියන දේ මම හීනෙකින්වත් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා හිතන්න මේක විහිළුවක්. කිසිසේත්ම මං මේ විග්‍රහ කරන්නේ යථාර්ථයක් නෙවෙයි. හැබැයි මං හීනයක් දැක්කා උදේ පාන්දර ඒ හීනේ ඔබට කියනවා කියලා හිතන්න.

වැස්සකටවත් ඉස්කෝලේ යන්න ඕනමයි. 
පළමුවැනි දේ තමයි ලංකාවේ බහුතර සබුද්ධික මිනිසුන්ව පාලනය කරන්නේ ප්‍රඥාවක් නැති මිනිස්සු. ඒ නිසා මං පළමුවැනියෙන්ම කරන දේ තමයි ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, පාර්ලිමේන්තු වගේ මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට කොන්දේසියක් දානවා. ඒ කොන්දේසිය තමයි අවම වශයෙන් ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන. උසස් පෙළ පාස්වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉස්කෝලෙකටවත් පයගහලා නැති කිසිම මැට්ටකුට, අධ්‍යාපනයේ වටිනාකමක් දන්නෙ නැති කෙනකුට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙ නෑ. නීතියක් ගේනවා.

Tuesday, January 28, 2014

අහම්බය

එ දහවල
බොදුන් හලේදී
බත් පතත් වතුරෙකත්
ළං කරදී
විස්සෙ ටිප් එක
ගත්තු ඈ
හමුවුණා
එක සවසෙක
වීදි කොණෙක

Monday, January 20, 2014

නුඹ මම සහ නුබ.....


                                       

අටෝරාසියක් වූ සද්ද බද්දයෝ ගොළුවී ගොස්ය. ඒ වෙනුවට එතැන ගන්නට ගෙම්බන් රැහැයියන් පොරකනු ඇසෙයි. කලා පුරන්නට පෙරුම් පුරන අටවක සඳ ඈත අහසේ ලැගුම් ගෙන අදුරු අළු සුදු කළු වලාවන් කපා සිය කසාවන් ආලෝක සළුවෙන් මිහිතලය පිරිමදින්නට තැත් දරයි. ඉදහිට තැනක තරු කැකුළකි... තරුවකි... දෙකකි.. ඒ හැරෙන්නට ආකාසයම පාළුය. මළානික සඳ සළුව විටින් විට කළු වලාකුලකට පරදින තාලයට ගෙම්බන්ගේ හඩ වඩා උස්වද පහත්වද ඇසෙයි.  රැහැයි නද හා එක් වූ විට එහිත් ඇත්තේ තාලයක්යැයි හිත කියයි.

‘’මේ වගේ හීතල හඳ හෙවණ යට හඳ පින්න මූණ හීතල කරනකං ඉන්න හිතෙනව හැමදාම......’’

නුඹ මුමුණයි. නුඹේ කවි වදන් මට නොතේරේ... නැත්නම් නුඹේ කවි හිත මට නොතේරේ.. මම හූමිටි තබමි. අහස මා දෙස බලමින් සිනා නගයි...

Thursday, January 16, 2014

Monday, January 13, 2014

මෝහිණී.... මගෙ නංගියේ....

                                                   හීනියට අන්ධකාරෙ  මෝදුවෙන ගොම්මනේ මං වෙසක් එකට වට්ටාරමෙන් ගත්තු බටනලාව පිඹින්න පටං ගත්ත. පිඹින්න මහලොකු දැනීමක් තිබුණෙ නැති උණත් ඇගිලි එහෙ මෙහෙ කර කර මං බටනලාව පිඹිනව. තත්පර ගෙවිල විනාඩි වලින් වෙලාව මයින කොට පිට පුපුරු ගහන පත කොසු පාරක් පිට පුරා වැදුන. මෝහිණි ගෙන්න ගන්නද හදන්නේ බොල. කිරි අම්ම මගෙං බටනලාව උදුරං ගේ ඇතුලට ගියා. එදා රෑ මගෙ කොන්දෙ තෙල් ගාන්න උනේ කිරිඅම්මට ම තමා. ඒ වගේම එදා තමා මං ඉස්සේස්සෙල්ලාම මෝහිණී ගැන ඇහුවෙ. පස්සෙ මේ ගැන සිහිසෙම්පත් ඇති වෙලාවක මං කිරි අම්මත් එක්ක කතා කරපු වෙලාවක තමා උන්දැ මට මේ ගැන කීවෙ.
                                                      මෝහිණී කියන්නෙ බොහොම ලස්සන යකින්නක්. එයාට දරුවෙකුත් ඉන්නව. දරුව වඩං ඉන්න ඈ තනි පිරිමි පරාණයක් දැක්කාම ඒ පිරිමි කෙනා ළගට ගිහිං දරුව වඩා ගන්න දීල අනෙක් පැත්ත හැරෙනවලු. ඉස්සරහ පැත්ත ලස්සනට තිබුණට පිටිපස්ස හැරුණාම මෝහිණී කියන්නෙ සම්පූර්ණ යකින්නක්ලු. මෙයාට අහුවුනොත් නං ගැලවීම අපාසුයි කියල තමා කිරියම්ම නං කියල දුන්නෙ. තව ගොඩක් දේ කියල දුන්නත් මේ වෙනකොට ඒව මතකෙන් හැලිල. එදා ඉදන් අද වෙනකං එක එක වෙලාවට මං මෝහිණී ගැන අහල තියනව. මතකයක් විදිහට හැමදාම හිතේ කොණක මේ අපහැදිලි අමනුස්ස ස්ත්‍රියාව හොල්මං කළා. ඒත් ඒ හැම වෙලාවෙම හිතට ආවෙ ඇයි මෙයා යකින්නක් උණේ කියල අදටත් ඒ ප්‍රශ්නෙට නං උත්තරයක් මට නෑ.

Wednesday, January 8, 2014

අමිහිරිම කව



කළු අළු දුම් කැරළි
වෙඩි බේත් සැර හුළග
මල් වෙඩි පැරදෙන හැඩයි
ඇස් නිලංකාරයි
බක්මහ අකුණු විරසකයි....
දුඹුරු පාටයි පිදුරු පාටයි
නිලක් නෑ පෙනෙන නෙත් අස
මිරිගුවට ඇස් ගිනි දවයි
ඒ මැදින් රුපු ඇස් රවයි
විරසකයි මහී අම්මත්......
ඉමක් නොපෙනෙන රෑ දිවා

Monday, January 6, 2014

පොලිසිය... ලංකාවේ අපෙ පොලිසිය..-01

වෙලාව දොලහ පහුවෙලා. කළු කලිසමට  සුදු පාට අත් දිග ෂර්ට් එකක් ඇදල කළු සපත්තු දෙකක් දාන් ෂර්ට් එක කලිසමට යටකරල ටිකක් වැදගත් පාටට පේන්න බයික් එකේ නැගල මං කුරුණැගල යනව. අද දෙමළ පන්තියෙ සහතික දෙන දවස. අපිට දෙමළ ඉගැන්නුවෙ හාමුදුරු නමක්. උන්නාන්සෙ කියපු විදිහට ගෑණු ලමයි සුදු සාරි. පිරිමි ළමයි සුදු ෂර්ට් එක කළු කලිසමට යට කරල ඇදල සපත්තු දාල වැදගත් විදියට එන්න ඕන. බස් එකේ යන්න බෑ කියල හිතුණ හන්ද මං බයික් එකේ යනව.  කෑගල්ල පොල්ගහවෙල පාරෙ වලවල් වල වැටි වැටී ගැස්සි ගැස්සී ඇවිත් දුටුගැමුණු හන්දියෙන්  කුරුණෑගල පාරට දැම්ම. මට හදිසියක් නැති හිංද මං හීමීට වගේ යනව.  දුර ගමන් යන බස් ලොරි කාර් වෑන් හදිස්සියෙන් හදිස්සියෙන් මාව පහු කරල වේගෙන් යනව. ඉදල හිටල බයික් එකක් දෙකක් මාව පාස් කරගෙන මට කෝචෝක් එකට වගේ හෝන් එකකුත් ගහං හය්යෙන් හය්යෙන් යනව.මට ගානක් නැතුය මං හිමිංම  මගෙ පාඩුව යනව.

මේ මෙහම යන්න බෑ ටිකක් හය්යෙන් යමු........ මටත් එක්ක ලැජ්ජයි හලෝ..........

බයික් එක් වේගෙන් යන්න හදන ගමං මට දෝස්මුරේ දානව.

මට හදිස්සික් නෑනෙ... ඒ හින්ද බොට මොන හදිසියක්ද නෑ..... නෑ.... හිමිං..... හිමිං.......

බයික් එකට පොඩි සද්දෙකුත් දාන ගමං මං එහා මෙහා වෙලා තිබ්බ හෙල්මට් එක හදාගත්ත... පාරෙ යන අනිත් ඈයො එයාලගෙ පාඩුවෙ යනව.. ඉදල හිටල මටත් කෝචෝක් කරං යනව. මං මේ ඔක්කොම විගඩං දැක්ක නොදැක්ක ගානට හය්යෙන්ම යන්න දගලන මගේ බයික් එකටත් සැර දමං  මගෙ පාඩුවෙ මං යනව.
බුළුගොල්ල හංදිය පහුවුණා විතරයි. අස්සක ඉදල එළියට පැන්න ට්‍රැපික් කෙනෙක් මගෙ බයික් එකට අත දාල මාව නැවැත්තුව. වම් පැත්තෙ සිග්නල් එක දාල ඉක්මනටම ස්ලෝ කරල නැවැත්තුවෙ,

Friday, January 3, 2014

ඇගෙ ෂොපිං

ඇවිද ඇවිද
හතර අත
පෙරල පෙරල
හැම තැන
සොයන් සොයන්
පුර හැම අත
මිලදී ගත්තීය
ඈ අවසන