දර්ශන සර්ගෙ සිංහල
පංතිය ඉවර උනා විතරයි. සර් පංතිය ඉස්සරහ කෙටි වේදිකාව උඩට වෙලා ළමයි පංතියෙන්
එළියට යන හැටි හිනා වෙවී බලං ඉන්නව. සර් හිනා වෙන කොටත් මාර ගතියක් තියෙනව කියල මට
හිතුන. මෙච්චර වෙලා සර් දිහා බලං හිටපු මාත් නැගිට්ට. ගෑණු ළමයි පිරිමි ළමයි කළවමට
තමං නැගිටල හිටපු බංකු වලින් නැගිටල අපිළිවෙලට හරි කළබලයකින් වගේ ඉස්සරහ දොරකොඩින්
පිටවෙනව. ඉක්මනට එළියට ගියපු අය හිනාවෙවී තමන්නෙ සගය එනකං ඉන්නෙ “ අපෝ ඔයා හරි
ස්ලෝ නෙ” කියන්න වගේ.
තවත් හිටපු තැන හිටං ඉන්නෙ මොකටද කියල මාත් තෙරපි තෙරපි පංතිය ඉස්සරහ සිමෙන්ති
බැම්ම පහු කරගෙන එළියට ආවා. තෙරපෙන එකත් නරකම නෑ කියල හිතුනෙ මං ඉස්සරහයි
පිටිපස්සෙයි හිටපු ගෑණු ළමයි දෙන්න හිංදද කොහෙද... එළියට ආපු ගමන් ඇතුගල්පුර ගිනියමට මුළු
ඇගම පිච්චුණා වගේ. ඇතුගල රත් වෙන කොට මුළු ටවුමම රත්වෙනව. ඇතුගල්පුරටම ආවේණික ඒ
රස්නය අපට කොයිතරං හුරු වුණත් එක පාරටම මුළු කුරුණැගලම පුච්චගෙන වගේ හමන හුළං
රැල්ල නං ඕනම නෑ කියල ඒ වෙලාවෙ මට හිතුණ.
ගතම ගිනි
වද්දන ඇතුගල්පුර රස්නයට හිතෙන් බනින ගමන් මාළිගාපිටියට සමාන්තරව වැටුන කුරුණැගල
දඹුල්ල පාරෙ දූලි වැලි පිරුන පදික තීරුව දිගේ කුරුණැගල ටවුම පැත්තට මං තනියෙන්ම
වගේ ආව. තනියෙම වගේ කිව්වෙ වෙනද මාත් එක්ක ඉන්න මගෙ සගයො කව්රුවත් අද පංති ආපු නැති
හංද. කොච්චර ගෑණු ළමයි හිටියත් ඒ කව්රුවත් කාත් එක්ක වත් වැඩි බජනයක් නැති ගානයි.
ඒ හින්ද මමත් මගෙ පාඩුවෙ තනියෙම. මා මිතුරු සගයන් ද ළග නැතිවීමත් තනියට කතා බහ කර
කර යන්නට කිසිවෙකු හෝ නොවීමත් මා සිත කල්පනා දාමයකින් පුරවන්නට විය. නමුදු මට
වඩාත්ම අවැසි වූයේ මගේ බ්ලොගයේ අළුතින්ම ආරම්භ කිරීමට මා අදහස් කර සිටින විශේෂාංගය
සදහා නමකි. කෙසේ හෝ නමක් සොයා ගන්නා අරමුණින්, සෑම තැනම සවි කර ඇති දැන්වීම්
පුවරුවකින් හෝ වෙනත් ඕනෑම තැනකින් හෝ නමක් මං කොල්ල කා ගැනීමේ හෝ පරම පවිත්‍ර
චේතනාවෙන් පිරුනු මම ජිරාෆයෙකු සේ හතර
අත බෙල්ල දික් දරමින් පැමිණ වැව රවුම අසලින් මහ වීදියට සම්ප්‍රාප්ත වුණෙමි.
මුස්ලිම් පල්ලියි මුස්ලිම් කඩ කාමරයි විනා අන් යමක් නැති මහ වීදියද පැරකුම්බා
වීදියද හිත හැගීම් විරහිත තත්වයකට පත් කරවන්නට සමත් විය.
හදිසියේම
නිතරම දකින නමුදු නොතකන කුරුණෑගල බස් නැවතුමට බස් ඇතුල් කරන වංගුවේ ඇති බෝ ගහ හිතට
අදහසක් ගෙනාවේය. “බෝ පත් ඉරුව ” කියල නරකද..? උහ් දිග වැඩී... අනික මෙලෝ ගැලපීමක් නෑ... හිත කැරලි
ගහයි. නැවත කල්පනා පිටම බස් නැවතුමට ඇතුලු වන විටම “නැවතුම” හිතට ආවද, හැමදාම හැම
තැනම නැවතිලා ඉන්නද හදන්නෙ.... නෑ... නෑ... ඒක හරියන්නෙම නෑ... හිත ආයෙම පුප්පයි.
දහඩිය දෙකන් දෙපැත්තෙන්, පිට දිගේ ගලමින් හිත නොසන්සුන් කරයි. ගතින්ම පිටවන රස්නයට
ගතම දවා ලයි. කුරුණැගල දකුණ ඩිපෝවට අයත් බසයක නැගුන මම නැවතත් කල්පනා සයුරෙහි
කිමිදෙන්නට වීමි. බෝල කඩල මුරුක්කු... පොප් කෝ....න්... බෝල කඩල මුරුක්කු... පොප් කෝන්... පොප්
කෝ....න්... ජංගම වෙළද මහතෙක් කියවමින්
පැමිණ එලෙසම බැස යයි. “රටකජු”.... මම හිතෙන් අසමි. ඉද්දෙකිං... ඊට නරකද බෝල කඩල
කියල දා ගනින්... අන්තිමේදි කජ්ජ කියල නමකඅත් වැටිල තියෙයි.... හිත ගෝලු ගසයි. නොබෝ
වෙලාවකින් පණ ගැන්වුණ බස් රථය මද වේලාවකින් සැර දමා ගමන් ආරම්භ කරයි. කොන්දොස්තර
ටිකට් කඩයි. බසය ටිකෙන් ටික සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙයි. ගමන නරකද මම අසමි නරකමත්
නෑ වෙන එකක් හම්බුනේ නැත්නම් එහෙම දාමු.... හිත කියයි. ඔරලෝසු කණුව අසල ඇති බැම්ම
අයිනේම සවිකරන ලද කටවුට් රැසකි. ඒ අතර සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති නාට්‍යයේ
දැන්වීමක්ද වෙයි. විකෘති හොදයි ඒත් අන්තිමේ අපි විකෘති වෙයිද දන්නෑ... හිත ආයෙම
සමච්චල් කරයි. වට රවුම කියන එකත් නරකම නෑ. හිත ආයෙම කියයි. හ්ම්... ඇයි... නෑ...
හැමදාම කැරකි කැරකි ඉන්න වෙයි.... මම එකට එක කරමි..
තැපැල් කන්තෝරුව, සරසවි පොත්හල, මලියදේව බාලිකාව පසුවී
නාවින්න වටරවුම අසල අළුතින් දැමූ කේ.එෆ්.සී යද දසුනින් දුරස් වෙයි. කෙමෙන් කෙමෙන්
රෝහල නැවතුම ළගා වෙයි. එතැන ඇති කඩවල හරි හරියට පළතුරු ජාතිය. දෙළුම්,
ඇපල්,දොඩම්,කෙසෙල් කැන් ආදී නෙක පළතුරු ය.වෛවාරන්න පළතුරු අතර කාලයකට සැරයක් පමණක්
දක්නට ඇති නෙල්ලි ද තිබෙයි. මම කවදත් නෙල්ලි වලට කැමතිය. “නෙල්ලි” කියල දැම්මොත්
නරකද...? මම හිතෙන් අසමි. හිත නිස්සද්දය. ඇයි.... ඒ පාර මොකද... නෑ... ප්‍රශ්නයක්
නෑ... හිත කියයි. එක පයිං... අවසන නව පිටුව “නෙල්ලි” ලෙස නම් කරන්නට මම සිතා
ගතිමි.
ඉදින් නෙල්ලි ඔබ වෙත පැමිණීමේ පළමු පියවර මා මෙසේ සටහන්
කළෙමි. මේ ජීවන යාත්‍රාවේ මා විදින අනේක සුඛ දුක්ඛයෝ සමග නෙල්ලි ඔබ හා හිදිනු ඇත.
ඉදින් නෙල්ලි තිත්තට වඩා පැණි රසදැයි සෙවීම ඔබට බාරය. මන්ද මා ප්‍රථම දිග හැරුමෙන්
කීවා සේම ලියන්නේ මා
වුවද මෙහි සර්වබලධාරී අයිතිකරු ඔබ වන බැවිනි. . ඊට පූර්ව පාඨ සැපයීම ඔබට කරනා
නොමනා වූ මදි පුංචි කමකැයි මා තරයේ විස්වාස කරන බැවිනි. ඉදින් මෙය විවේචනයද... අගය
කිරීමද මෙතැන් සිට ඔබට බාරය.
අළුත් නෙල්ලි කතාවකින් ළගදීම ආයෙ හම්බවෙමු. එතකං ඔයාලගෙ
යෝජනා චෝදනා අදහස් කමෙන්ට් කරල යනව නම් ඒක මට කරන ලොකුම උදව්ව වෙයි.
No comments:
Post a Comment