Monday, January 25, 2016

අවර්ණ...

මරණය
නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම්
මා කැමැත්තෙමි
මරණයේ මිහිරි ගීතය
සවන් අද්දර කොඳුරනවා
නම් කැමැත්තෙමි
නුඹ පැමිණි කල
දෙවරක් නොසිතාම
පිළිගන්නෙමි
නුඹ තුළට කිඳා බැස
දියව යන්නෙමි...

Tuesday, January 5, 2016

දහවල දිගු නොවිය යුතුමය..

ඉදින් ප්‍රිය මිතුර
ම තුරු තරින් නික්මෙන්න
රැයක් තිස්සේ නුඹ එළා ලූ
සේද මිහිදුම් සළුව ගෙනයන්න..

Friday, January 1, 2016

එන්න මල් පිපී දැයි බලන්න..

                                      හිස් පිටුවක කවියක් කතාවක් ලියනවට වඩා අමාරුයි ජීවිතේ ලියන එක.. මේ මේ විදියට වෙන්න ඕන කියල සැලසුමක් නැතිඅනාගතය අපට ඕන ව්දියට අතීතයෙ දවසකදි කපල කොටල අපි විසින්ම හදාගෙන පස්සෙ අමතක කරල දාල අනාගතයෙ දවසක ඒකෙ ප්‍රතිඵල ලැබෙන කොට අපි ඒකට දෛවය කියල බොරු නමක් කියනව.

Thursday, October 29, 2015

තරු දෑස් යුග නුඹ සොයන සද සඳ ගෙනෙත් දෙමි කොයිබින්දා....


වසන්තය නික්මුණේ
පැදුරටත් නොකියමය
මහ නියං පැමිණියේ
මහ දොරත් බිගෙනය...

කේෑරි වැහි ඇඟිලි දෙක තුනක්
ඉඳ හිටක ඇද හැලුණ වග ඇත්තය
මුදුන් ලීයත් උගුලුවන් ගිය
කුණාටුව ආවෙ ඒ එක්කමය...

Monday, October 26, 2015

ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවෙකී...

                                                       
                                                                         වැව් බැම්ම මතින් දිවෙන මාවතේ අතුරල තිබ්බ සිමෙන්ති වලින් තනාපු කැට වල යම් තරමක සිතල තෙත් ගතියක් දැවටිලා තිබ්බ. ඒ උදේ වරුවම පිරිල තියෙන සීතල ගතිය හින්ද වෙන්න ඇති. ඉර එළියත් වෙනදට වඩා සෞම්‍ය විදියට ඔහුට දැනුණෙ.  ව්‍යායාම් මංතීරුවක් විදියට සකස් කරල තිබුණ ඒ මාවතේ එක් තැනෙක ඔහු බොහොම සාමාන්‍ය විදියට වාඩි වෙලා හිටියෙ ඒ වෙන කොටත් තැනින් තැන පිහිටුවල තිබුණ බංකු වල වාඩි වි තමන්ගේ ම ලෝක වල සිටින පෙම්වතුන් ගැන සැලකිල්ලකින් තොරව. තවත් මොහොතකින් තමන් වගේම මාවත දෙපැත්තෙ වාඩිලාගත්ත පෙම්වතුන් ගෙන් මං තීරුව දෙපස පිරෙන වග ඔහු අත්දැකීමෙන් දැනගෙන හිටිය. වෙනසකට තිබුණෙ ඔහු තනිකඩයෙක් වීම පමණයි. සමහර විට ඒ  තව මොහොතකට පමණක් විතරයි.. ඒ හැගීම ඔහුව තෘප්තිමත් සිතුවිල්ලකින් පුරවා හැරිය. ඔහු උන්නෙ වැව් තලය දිහාවෙම බලාගෙන. විටින් විට ඉල්පෙන, කැළතෙන, රැලි සරැළි නංවන වැව් දිය දිහාවෙම බලාගෙන. අනිමිස ලෝචනයක හිරවෙමින්, ගැස්සි ගැස්සි, විටින් විට බඩ පපුව දාල යන බයකුත් එක්ක. ඇත්තටම ඒ බයක්ම නෙවෙයි.. මද කෝල ගතියක්.. හා හා පුරා කියල වැව් දියෙන් උඩට ඉල්පිල වැවේ සිහින් රැළි එක්ක ඒ මේ අත පැද්දෙන නෙළුම් මල වගේ ඔහුත් උන්නෙ එකෙළ මෙකෙළ වෙමින්. අද ඔහු හිතං ඉන්නෙ ඇයට තමන්නෙ හිතේ මේ වැව තරම්ම ඈ වෙනුවෙන් පිරිල තියෙන ආදරේ ගැන කියන්න.

Thursday, October 22, 2015

දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි..

                                                  ඩේ අංකල් හිටියේ(???) පොල්ගහවෙලය. එන් එස් බී බැංකුව ළගය. මෙයා ගැන නොදන්න කෙනෙක් පොල්ගහවෙල අහල ගං හතක වත් ඇතැයි හිතන්නට අමාරුය. ඒ තරං ෆේමස්ය. උන්නැහේගෙන් වඩයක් කෑවා හෝ නොකෑවා වෙන්නට පුලුවන. නමුත් මෙහෙම හාදයෙක් අසුවල් තැන අසුවල් වෙලාවට ඉන්නවා යැයි ඕනෑම කෙනෙක් දනී. හෙතෙම සුදුවුණ කටු රැවුලකින් ද නිතර හිනාවෙන මුත් හිනා නොවෙන මූණකින්ද , මදක් කළු සමක් ඇති, නිතරම නිල්පාට කොටු සරමක් හා සුදට  හුරු ෂර්ට් එකක් හදින මුස්ලිම් අයෙක් වුව හොදින් සිංහල කතා කල හැකි අපූරු මිනිසෙකි.

Sunday, October 18, 2015

තනියො... මේ අහපන් නෑ තවත් තරහක්

මේනකා මට මතකයි උඹෙ හිනාව
තනිය ඇවිදින් හොරකං කරන් ගිය

මම නැතත් ළඟ අපෙ සුවඳ සවියට ඉන්නැතී
සඳ තුරුළු කර නුඹ සුවෙන් නින්දේ ඉන්නැතී
මා නොමැති බව කේලමක් කියලා වෙන්නැතී
තනිය ඇවිදින් වී අටුව හෙව්වා වෙන්නැතී

Tuesday, October 6, 2015

තවත් එක දවසක් ම විතර ද..??

තුංග වෘක්ෂයන් වෙති අපමණ
ඵල වැල සිසිලස සුවද බෙදා දෙන
බෝසත් පාරමී දහම් නොපුරන
බෝසතුන් තරමටම කුළුණුබර..

ඇස් ඉස් මස් රුහිරු බිදු දියකර
පෙවී උන් අප හටම සිප් කිර
නොපැතීය ආපසු කිසිත් කෙලෙසක
ගෙවන්නද කෙලෙස මේ උතුම් ණයබර..

පවර වෑ දිය මෙනි දයාබර
කෙත් සාරවත් කර සිනාසෙන
කිසිත් කිසිදා කියා නොමයන
හදේ ගැඹුරෙම තබා හිනැහෙන ..

Friday, September 25, 2015

මතක රසයකි ...

අහුකොනක් අල්ලගෙන
ඕමියක් ගහනකොට
මාරියක් හැපෙයි
වැඩි සීනි ප්ලේන්ටියකුත් පෙවෙයි..

 ගිරෙන් පුවකේ රහිනකොට
මටත් පුවක් ජුංඩක් කියනකොට
ගෙඩියට දෙක තුනක් රහිනකොට
මොනතරං සැපයක්ද විටකුත් හපන එක..

අන්තිම දවස වෙනකං
මාළු පිණි හට්ටිය කිරි හොද්දටම බහිනකං
තනි රැක්ක මළ ගෙදර මිනියක් නැති වුණත්...

හත් දොහේ දානෙට කරල හැම වැඩත් අන්තිමට
යන්න යනකොට හට් එකත් ගලවන් ඉවරෙට
ඇහෙයි මිමිණුමක් නතුවුණ සෝබර ස්වරයකට
"බොහොම පිං මල්ලියෙ"
හිත පිරෙයි හීන්සීරුවට.....
 

Monday, July 20, 2015

ඉතින් සමුගනිමි මම ...

නොනිදයි නගරය
ඔබ උණුහුමට තුරුළු වී නිදන අතරතුර
ඔබද මාද ඇවිද ගිය මාවත්
නිශ්චලය බෙහෙවින්
ඉඳහිටක පමණක් විදුලි ඇස් දල්වා ගත්
මොටෝ රථයක් තනි මකයි මහ මඟ...

සඳ එළිය යට බැබළෙයි නගරය
නියොන් එළියට නොපරදින සඳකත් කිරණ
සිප ගනී තැන තැන ඔබ මා සිටි නොසිටි සැම තැන

සුසුමක් හෙළමි බරැති
අවසන්  වතාවටත් හැරී බලමි
හිත පුරා දැනෙන වේදනාව බදා වැළද
දුර ගමන් සේවා බසයකට අත දමමි
පැකිළුණ පයට සිතින් දොස් තබමි

හිස් අසුනක් සොයා ගොස්
හිඳ ගන්නට අවැසිය...
අවසන් ඡායා මාත්‍රයද මැකීයන නගරයක
එළිය අඳුර පිරි බිම් තීරය පසුවන තෙක්
මොහොතකට රැදී ඉමි.....






පිංතූරෙ ගත්තෙ මෙතනින්