Saturday, October 28, 2023

කොල්ලා - Finally, The Worm Turns

          


             වැස්ස වහින්නට ඔන්න මෙන්න තිබියදී කඩයට ගොඩවුණා විතරය. ඔළුවට උඩිං ටක ටක ගා කැරකෙන ලොට ‌ෆෑන් කටුව කැරකුණේ හුළං ඕන නං සල්ලි දීපං කියන්නා සේ ය. හරියට කඩේ මුදලාලි වගේය. මුදලාලිත් ඉන්නේය. ඇති වැඩකුත් නැත්තේය. නැති වැඩකුත් නැත්තේය. මුදලාලි ඇතුවත් බැරිය. නැතත් අවුලක් නැත. ෆෑන් එකත් ඒ වගේය. මේ අංග දෙක හෝටලයට නොතිබුණා කියා වෙනසක් වන්නේත් නැති බව නම් විශ්වාසය. වැස්ස හින්දා ද කොහෙදෝ කඩේ ඇතුලේ තිබුණේ අමුතු උෂ්ණයකි. එළියේ සිසිලසක් රැදුණාට හෝටලය ඇතුලට එන්නට බැරිවා වාගේය. නැතිනම් කැමති නැතිවා වාගේය.

Tuesday, October 24, 2023

සුළු නොවන ප්‍රාතිහාර්යය මවනා දෙපාර්තමේන්තුව

         


හම්බෙන් වගේ මේ අවුරුද්දෙ බුක් ෆෙයාර් එකට යන්න හම්බුණාට කලිං අවුරුදු වල වගේ මොනව ගන්නද, මොනව කරන්නද කියල කිසි අදහසක්, කිසි සැලසුමක් තිබ්බෙ නෑ කියල කියන එක තමා හරි මං හිතන්නෙ. මොකද මේ අවුරුද්දෙ බුක්ෆෙයා යන්න අදහසක් තිබ්බෙම නෑ. ෆේස්බුක් එකෙන් ඉඳ හිටල පොත් ගැන දැක්කට ඒක කවද හරි ගන්නව කියල හිතුවට, හැමදාම වගේ කම්මැලි කම හින්ද ඒ පොත් වල නමක් වත් සටහන් කරල තියා නොගත්ත එකේ බරපතල කම තේරුණේ ප්‍රදර්ශනය පැත්තට ගියාම. ඒ වගේම කාලෙකින් බුක්ෆෙයා එකේ  දැක්ක ලොකුම සෙනඟ කන්දරාව එදා දැක්ක කියල කියන්න පුළුවන්. පුරුදු විදිහට නැතත් පොත් කුටි අතරෙ තෙරපි තෙරපි සැරි සරන ගමං, ගන්නං කියල හිතං හිටපු, ගන්න ඔ්න කියල හිතපු, කාලයක් තිස්සෙ හොයපු සමහර පොත් දැක්කත් කවදාවත් නැතිව ලෙල්ලටම හිඳිල තිබ්බ සාක්කුව නිසා පොත් ගත්තෙ බොහොම පරිස්සමෙන්. ඔන්න ඔය වගේ පොත් කුටි අතර කරක් ගහනකොට තමයි විදර්ශන පොත් කුටියෙ තිබිල හෙල්මලී ගුණතිලක‌ගෙ සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව මුණ ගැහෙන්නෙ. 

Saturday, October 21, 2023

කඩා හැලෙනා තරු


අදුනන මුහුණු 
නාදුනන ලෙස මුණගැහෙයි
සිහින් මන්දස්මිතයක් පාව එයි.,

Thursday, October 19, 2023

ලේ වවුල්, නරවෘක පරම්පරා තෝම්බුව

         මේ     දවස් වල ලියන්න කියල ඉඳගත්තට ලියන්න කියල කිසි දෙයක් ඔළුවට එන්නෑ. අර සුප්‍රසිද්ධ රයිටර්ස් බ්ලොක් ලෙඩේ වැළඳිලද මංද. සෑහෙන්න වතාවක් ට්‍රයි කරලත් බැරි වුණ නිසා මං බලපු මූවි එකක් ගැන කියන්න හිතුණ. මහ ගොඩක් නෙවෙයි. මේ දඩෙං බේරෙන්න වගේ. නැත්තං අර ලේ උරා බොන වවුලයි, ඉපදෙද්දි වත් කෙස් ගහක් ආසාවට තිබ්බෙ නැති තට්ටයයි මගෙ ඉතුරු කෙස් ටිකත් ගලවනව. 

Saturday, October 14, 2023

ලොරියක්, උන්මත්තකයෙක් සහ පඹයෙක්

             


          වෙලාවේ වෙලාව හවස පහට විතර ඇති.  මම  වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකට වෙලා බලාගෙන හිටියෙ.  එතකොටම තමයි මම ඒ මනුස්සයව දැක්කේ.   හොඳට දැකලා පුරුදු මූණක් කියලා මට දැක්ක ගමන්ම හිතුනා. ඒත් මම එක පාරටම නිගමනයකට එළඹෙන්න හදිස්සි නොවී නිවිහැනහිල්ලේ වුණත් බොහොම කුතුහලයකින් ඒ මූණෙ අයිතිකාරයා දිහා බලාගෙන කල්පනා කළේ මේ කවුරු වෙන්න පුළුවන්ද කවද්ද මම මේ මනුස්සයාව දැක්කේ කියන එක ගැන.  පාර යන එන මිනිස්සු දිහා බල  බල ඒ අයට අත දික් කර කර අත දික් කරන ගමන් මැණික් කටුව ලඟින් අත හොල්ලමින්  අසරණ බව පෙන්වන ගමනක යෙදී හිටපු ඒ මුහුණුවර මට අමතක වෙන්න විදිහක් නෑ. එතකොටම තමයි මට ඒ මූණෙ අයිති කාරයා මතක් උනේ හරියටම කිව්වොත් කවුද ඒ වයසක මනුස්සයා කියලා අඳුර ගත්තේ. 

Monday, June 12, 2023

වීණාවක් රැගෙන ගිය දරුවා

 

                            ස්සරෝම කියන්න ඕන මේ සටහනෙන් කියවෙන පොත කියවන්න අංශු මාත්‍රයක  අදහසක් වත් මට තිබුනෙ  නෑ කියල.  මොකද කියනව නං මේ පොත දකිනකං මෙහෙම පොතක් තියෙනවද කියල වත් මම දැනගෙන හිටියෙ නෑ.ඒත් අහම්බෙන් වගේ  අත් දෙක උඩටම කඩං වැටුණ පොතක් කියවනව ඇර මොනව කරන්නද කියල හිතාගෙන තමයි මේක කියවන්න ගත්තෙ. හැබැයි ඒ පිටු දෙක තුනක් පෙරලෙනකං විතරයි. ඊට පස්සෙ පිටු පෙරලෙන්න ගත්තෙ මටත් නොදැනිම වගේ කිව්වොත් තමයි හරි.

Saturday, February 11, 2023

කාල නදිය දිගේ සුර අසුර යාමයේදී වියැකෙන කුර හඬ සොයා

       



         නෝබට් අයගමගේ නම් සූර කතන්දර කරුවාගේ නවතම ලියමන කියවා අවසන් කළා පමණය. මා විසින් 2023 වර්ෂයට කියවා අවසන් කළ ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව ලෙස “කුර හඩෙකි වියැකෙන” සඳහන් කළ හැකිය. නවකතාවක් ලෙස බිම නොතබා කියවන්නට සිත් දෙන  “කුර හඩෙකි වියැකෙන” කෘතිය වේගවත් කියවීමක් නිරායාසයෙන් ඉල්ලා සිටින "පේජ් ටර්නිං" පන්නයේ ලා අනායාසීව තැබිය හැකි නවකතාවකි.

Monday, February 21, 2022

ස්මරණ 20 - කැලෑ කුමාරිගේ කතා ii - පෝලිං, ජැක් සහ අක්කලා ගේ ආදරේ..

මේ වගේ ඉඩ තිබ්බ දවසක් මතකවත් නෑ.
 පහුගිය සතියෙන්           

            පොඩි දවස් වල බස් එකට නැග්ගේ පෝළිමේ ඉඳලාය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් කරඳඩු උස්මහත් වන විට, නැතහොත් ඉකමණින් ලොකු වන්නට වුවමනා වූ කාලයේ පෝළිමේ හිඳ බසයට නැඟීම යම් ලැජ්ජාවකට කාරණයක් වූවා මෙනි. ඊටත් ඉඳගෙන යාමට වඩා බස් එකේ හිටගෙන යාමටද, පාපුවරුවේ යාමට ද, පා පුවරුවේ යාමට බැරිනම් එතැන සිටුවා ඇති ආධාරක කණුවට හෝ හේත්තු වී යාමටද ප්‍රිය කරන කාලයකි ඒ. එහෙත් අපට ඒ අවස්ථාවන් ලැබෙනුයේ කලාතුරකිනි. අපට වඩා ලොකු අයියලා බස් එකේ ඉන්නේය. එක වරම ඒ වයසට පහළ වූවා සේ සිටින ඔවුන් අපට කුඩා හෝ අවස්ථාවක් දෙන්නට කැමති නැත. මේ හුජ්ජ කොල්ලො එනව මෙතන ෆුට් බෝඩ් යන්න. යැයි අපව පන්නා ගනී. එහෙත් කාලයක් යන විට අපිත් සුදු දිග කලිසම් අදින නාහෙට නාහන අයියලා බවට පත් විය .පෙර සිටි අයියලා අපට කල දේවල්, අපේ පසු පෙළටත් අඩු හෝ වැඩි වශයෙන් සිදු වන්නට ඇත. අද නං මතක් වන විටත් සිනහා උපදවන ඒ දවස් වල නැටූ නාඩගම් හා ඒ අනතුරුදායක හැසිරීම් වල ආසාවකට හෝ යෙදෙන්නට හිතක් නැත. ඒ එවන් අනතුරුදායක හැසිරීම් නිසා පසු ගිය කාලයේ සිදුවූ ⁣අනතුරු ගැන මාධ්‍ය හරහා දැනුවත් වීමද  නැතහොත් ක්‍රමයෙන් මුහුකුරා යාම නිසාදැයි කිව නොහැකි වුවත් නිකමට හිඳගෙන මිසක් හිටගෙන වත් යාමට එතරම් කැමැත්තක් නැත. 

Wednesday, February 9, 2022

ස්මරණ 19 - කැලෑ කුමාරි , කහ කුරුල්ලෝ, පාං බාග සහ කලම්බෝ රයිඩර්

මේ පිංතූර ඔක්කොම ගත්තෙ ශ්‍රී ලංගම බස් වියුණුවෙං. ලිංකුව මැද ඇති

        
1998 වසර විය යුතුය. පාසැල් වෑන් රියෙන් පාසැල් ගිය ගමන අතැර ගමෙන් ටවුමට යන බස් රථයේ පාසල් යන්නට පටන් ගත්තේ 98 වසරේ වග මගේ මතකයයි. 1998 මට කෙඳිනක හෝ අමතක නොවන මතකයක් ඉතිරි කළ වසරකි. මා හිතාදර චූටි මාමා ජයසිකුරු මෙහෙයුමෙන් අප හැර දා යන්නේ ඒ වසරේ ය. එහෙත් මේ කතාව ඒ ගැන නොවේ. මේ බස් කතාවකි. කොටින්ම කියනවා නම් ලංකාවේ හුදී ජනයා බස් ආගමක් සේ අදහන්නට පටං ගත්තේ මේ යුගයෙන් පසුව බව මගේ අදහසයි.

Wednesday, January 26, 2022

අලුත් ස්ටවුට් එකයි මගේ ඉරිදාවයි..


            තීරු ලිපි එකතු කියන්නෙ මම සාමාන්‍යයෙන් කියවන ජාතියෙ පොත් නෙවෙයි. ඒකෙ තේරුම මම තීරු ලිපි වත්, තීරු ලිපි එකතු වත් නොකියවන කෙනෙක් කියල නෙවෙයි. කියෙවෙන්නෙ කලාතුරකින් වගේ තමයි. හරියට යාලුවෙක් එක්ක  හවසකට පොඩියක් චිල් වෙන්න හිතුනම යාලුවගෙ බ්‍රෑන්ඩ් එකට මාරු වෙන්න ඉඩක් දෙනව වගේ.  සාමාන්‍යයෙන් පත්තරයක් ගත්තම දේශපාලන ලිපි හැරුණාම අතේ රෝල් ආටිකල්ස් පවා කියවන මට තීරු ලිපි මඟ නොඇරීම තවත් හේතුවක්. විශේෂයෙන්ම මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ගෙ පැණි වළලු, මහාචාර්ය සුන්දර නිහතමානිද මැල් මහතාගෙ මානිගෙ තීරුව වගේම වෛද්‍ය බෝධිනී සමරතුංගගෙ සායනික සටහන් නොවේ කියන්නෙ එහෙම කියවපු තීරු ලිපි. ඒ අතරිනුත් පොත් හැටියට පළවුණ පැණි වළලු, සායනික සටහන් නොවේ වගේම ගයාන් අබේසිංහ ගෙ ඇස් තෙත් කළ මතක, රංජිත් කුමාර සමරකෝන්ගෙ හුස්ම ගන්න අකුරු වගේ තීරු ලිපි එකතුත් මගෙ පොත් එකතුව අතරෙ ඉන්නව.