Sunday, October 24, 2021

අතීතයට පිය මනිනු බැරී ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී.

          
ඇය මදකට නැවතී ආපසු හැරී බැලුවාය..

         
වාහනයේ වායු සමීකරණ සිහිලස පරදා සකල සිරුරම දවා හරිනා තරමේ ගිණියමක් හැඳ සිටින කමිසය යටින් මතුව එන්නාක් මෙන් ඔහුට දැනෙමින් තිබුණි. ඔහු පසු කරමින් සිටින්නේ වියළි කලාපයේ අවසන් මායිම ය. එසේ වූවාට වායු සමීකරණය පරදා මේ දැනෙන්නේ උෂ්ණත්ව වෙනසක් නොවන බව ඔහු දනියි. යමක් අහිමි වී ගොස් යළි මතකයට නැ‍ඟෙන විට දැනෙන තෘෂ්ණාබර දැවිල්ලකි. 

Wednesday, October 20, 2021

අපේ සිංදු කීම හා රැකෝඩ් බාර් පිස්සුව

        



    මා කුඩා කල ගෙදර තිබුණේ  පැනසොනික් වර්ගයේ රේඩියෝවකි. පෙර සටහනක කී පරිදි එකළ ටීවී මෙන්ම රේඩියෝ ද පණ ගැන්වුණේ එක්සයිඩ් හෝ ලූකස් වර්ගයේ බැටරියකිනි. අවැසිනම් පිටුපස වූ පියනක් ඉවත් කර ටෝච් බැටරි ඔබා හෝ එය පණගැන්වීම කළ හැකි විය. ගෙදර කවුරුත් නැතිනම් විනා ඒ රේඩියෝ අඩු ශබ්දයකින් ක්‍රියා නොකළ තරම්ය.  එයිනුත් මුල් කාලයෙහි ජාතික ගුවන් විදුලි යේ සේවාවන් හෝ සිරස වැනි ගුවන් විදුලි නාලිකා කිහිපයක් පමණක් විකාශය වූ අතර පසුව හිරු ගුවන් විදුලියද තරු එෆ් එම් ආදී වූ නාලිකා ද පැමිණි වග මතක මුත් පිළිවෙලින් මුලින්ම ආවේ සිරස වග විනා අනිත් නාලිකා සම්බන්ධ ලොකු මතකයක් නැත. ශ්‍රී එෆ් එම් ආවේද ඔය කිට්ටුව බව මතක වුවද ඊට පෙර තවත් අද නෑසෙන පෞද්ගලික නාලිකා කිහිපයක් නව සහශ්‍රය ආරම්භය ට පෙර තිබුණා මතකය. එහෙත් මේ කතාව ඒ ගැනම නොවේ.

Sunday, October 10, 2021

ස්ටවුතියාව - පළමු බිඳ


සිදු තෙරහිම සකසා තිබූ  මේසයක හිඳ ඈත දියඹ දෙස බලා හිඳිමින් අතැගිලි වලට හසුවන සීත ස්ටවුට් බඳුන පිරිමදිමි.  ඇසට පෙනෙන මානයේ, දුරක සිටිනා ප්‍රේමවන්තිය කෙරේ ළඟා වීමට නොහැකිව දුරින් හිඳ හාදු එවන ප්‍රේමවන්තයෙකු සේ අහස් ගැබ  සිට සයුර වෙත හෙලනා පෙම්වත් හාදු වරුසාවකින් තෙමන ප්‍රේමයෙන් ආශක්තව ගිය අහසය.  ඒ  අනවරත චුම්බන වරුසාවෙන් අහේතුකව වෙන්ව ආ වැහි බිඳු කෝඩයක් සුළඟත් සමඟ මුසුව මුහුණත සිපින්නට වෙයි.ඇතුලත ආවරණයක් කරා යමුයැයි ආරාධනා කළ වේටරයා හට ප්‍රතික්ෂේප ඉංගිතයක් පා නැවත සයුර දෙස නෙත් යොමු කරමි. අතැති සිහිල් ස්ටවුට් බඳුන මතක අවුස්සාලමින් කැළඹෙන, රළ නඟින, පෙරළෙන, පෙණ පිපෙන සයුරත සේ මා වෙලන්නට පටන් ගෙනය. ඉන් තවත් උගුරක් තොල ගා මේසය මත තබන්නට පෙරාතුව උගුර හරහා ගලා යන බීර සිහිලස විඳිනාතරම ඒ හරහා සයුර දෙස බලන්නට වෙර දරමි. බීර වීදුරුව පසුබිම්ව පෙනෙනා සයුර විනා බීර වීදුරුව විනිවිදන සයුරක් නොදකින්නෙමි. ස්ටවුට් බඳුනක් තරම්ම මිහිරි  ආවර්ජනා මත්බවක ගිලෙන්නෙමි.

Wednesday, October 6, 2021

ස්ටවුතියානු මතක - 000

 

ලියා අවසන් කළ නොහැකි තැන

දියව හරිනට හැකියි සිතුවෙමි

ප්‍රේමයක නටඹුන් මකන්නට

මදු විතක් තුල දියැව යන්නෙමි..,

Monday, October 4, 2021

එවරෙඩි, එක්සයිඩ්, ලක්ෂපාන, කොස්මෝ, ලූකස්, කෑලි හයේ ටෝච් එක්ක පාට දෙකේ ටීවී


 "..
ඒ ගේ වටේට තිබ්බෙ නං පොල් ගස් ඕං

ඔය එකේක නූල් සූත්තර කොරන්ඩ ගිහිං බැට්ටි බස්සපංකො. රෑට කතාව බලන්ඩ බැරි වුණොත් තමයි වැඩේ..
 "

        ගෙදරට කරන්ට් එක ගන්න කලිං මං අහපු බැණුං ටික මතක් කරල බලන්න පුලුවන් නං ඒ බැණුං වලින් වැඩි හරියකට  හේතුව විදිහට ඔය බැට්ටිය කියන බලවත් පෙට්ටිය තිබුණා. ඒත් ඉතිං කොල්ලො වෙච්චි කොට ඕව අහයිද.. කොල්ලා කොල්ලගෙ වැඩ. මුට දෙයක් කියන කට හොඳයි ගලක උලාගන්නව කියල හිතුව තාත්ත අලුත් එක්සයිඩ් බැට්ටියකුත් ‍ ගෙනාව. එතකොට ගෙදර තිබ්බෙ ලූකස් එකක්. කොහොම කොහොම හරි මාරුවෙන් මාරුවට බැට්ටි දෙකෙන්ම ටීවී බැලුව. එකකින් ටීවී බලද්දි අනික නිකං තිබ්බොත් ඒක සවුත්තු වෙයි කියල එකකට ටීවි එකත් අනිකට රේඩි‍වේකත් වෙන වෙනම ජැක් කරල තමයි තිබ්බෙ. ටීවි බලද්දි ඒකට හයි කරල තියෙන බැට්ටිය ඉක්මණට බහිනව. ඉතිං ඒක බෝරුග්ගමුවෙ හාඩ්ඩෙයාර් එකට ගෙනිහිං චාජ් එකට දාල අනිකෙන් තමයි ඒ දවස් වලට ටීවි බැලුවෙ. 

Thursday, September 30, 2021

ස්ටවුට්, නට්ස් ඇන්ඩ් මෙමරීස්

         

      කට කපා පිරවූ ස්ටවුට් මග් එකක් සහ මික්ස් නට්ස් ඩිෂ් එකක් යනු මොනවාම හෝ කුරුටු ගාන වෙලාවට හොඳම උත්ප්‍රේරකයක් බව මගේ අත්දැකීමයි. ගෙදර රැදෙන වෙලාවට කෙසේවෙතත් කාර්යාලයේ රැයක් පහන් කරන්නේ නම් ස්ටවුට් එකක් සමඟ කට ගැස්මට රටකජු ඇටයක් හෝ සපනාතර මොනවාම හෝ කුරුටු ගෑම පුරුද්දකි. එහෙත් මා ලියනා සෑම දෙයම මා වියුණුවේ  හෝ මුහුණු පොත් අවකාශයේ හෝ පළ නොවන නිසා ඒවායේ එකම රසිකයා ද ව්වේචකයාද කර්තෘ වන මම ම වෙයි. අඩුම ගාණේ මා ලියනා සෑම සියලු දේම කියවීමට ප්‍රිය මාගේ ප්‍රියාදර  බිරින්දෑ හෝ මගේ නිර්මාණ බහුතරයක් කියවා ඇති එකම මිතුරිය හෝ කවදාම හෝ දකිතැයි නොසිතන ඒවා සුරැකෙන්නේ බොහෝවිට මම හෝ නැවත විවර කර නොබලන ගූගල් ඩ්‍රයිවයේ ඇති ෆෝල්ඩරයක ය.  ස්ටවුට් වල ඇති කර කෝපි රසයට දිව හුරුවී ඇති සේම ලියනා සෑම දෙයම සඟවන්නටත් හිතේ ඇත්තේ අරුම කැමැත්තකි. ඒ ස්ටවුට් රසයට ප්‍රිය අයෙක් සිටින්නේ කලාතුරකින් සේම ලියන දේ සඟවා තබා ගන්නට කැමැත්තවුන් සිටින්නේද කලාතුරකින් වන නිසා බව සිතමි.

Sunday, September 26, 2021

ස්මරණ 16 - රබර් ගලවා සරුංගල් යැවීමේ අවසානය

         


ස්මරණයන් ට නැවත පණ දෙන්නට සිතී ආපසු හැරී බැලූ කල මා දුටුයේ අවසාන ස්මරණය දිග හැරී වසර හයකට අඩු දින කිහිපයක් පමණක් බවයි. ඉනුත් මා කුඩා කල මතක දිගහැරි එක දිගට පරිච්ඡේද ලෙසින් ලියැවුණ අවසන් ස්මරණය ට වසර හතකට ආසන්න බව දුටුවෙමි. එකළ මා ලියූ දේ අද කියවන විට දැනෙන්නේ ආඩම්බරයකට වඩා ලැජ්ජාවකි. ඒ ඒවායේ අන්තර්ගතයන් නිසා නොවේ. එතරම් අපූරු භාෂා භාවිතයක් තිබූ මා පල්ලමකට අත හැරි ටයරයක් ඇදී යන තරම් වේගයකින් මොට වෙමින් පවතිනා බව දැනෙනා නිසාය. කෙසේ වතුදු මේ උත්සාහය ඒ නොස්ටැල්ජියාවෙහි ගැලෙන්නට නොවේ. පටන් ගත් ගැල ඉදිරියට ඇද අවසානයක් කරා ළං වන්නටය.

Tuesday, September 21, 2021

මයිබින්නාලංකාර - 01 මයින් - නාග කතා වස්තුව

         

මොකාද බොල මේ තට්ට මයිනා

මනුස්සය ඒ වෙලාවෙ හිටියෙ කැත්තකුත් ඇරං වැට මායිම දිගට වැවිල තිබ්බ කැලේ දෙරි ගහන ගමං. කිව්වට මොකද ඇත් පංතියක් වුණත් ලේසියෙන් හංගන්ඩ පුලුවන් ගාණට කැලේ වැවිල. හවස හා හා පුරා කියල කොටා බාපු බිත්තර ආප්ප හය හතත් යසට වැඩ කරන්න ඇරං තිබ්බ. කිව්වට ඇස්වාක් කටවාක් නෑ වාත පිට වෙන්න පටං ගත්තෙ බෙංගාල බොක්කත් කැළඹිලා යන තාලෙට. කාලෙකිං කැලේට වෙලා ඉන්නෙකේ නිදහසේ තුන් දොරම ඇරගෙන වාත පිටකරන්න තරං වාසනාවක්  මනුස්සයට තිබ්බ.

Wednesday, September 15, 2021

ගිණි පුපුරු විසි වෙන්නෙ ඇවිලන්නමයි..!

 

දකිනකොට ලස්සනයි

බලං ඉන්නත් ආසයි

ඇහෙනවා නිතරෝම

සිනාසෙමි ඉවසාන.,

Friday, September 10, 2021

දකුණු මායිමේ - හරුකි මුරකමි

  ⁣

            මුරකමිගෙ "දකුණු මායිමේ" පරිවර්තනය කියවන්න කලිං මම කියවල තිබුණෙ ඉන්දික ලියපු කවි පොත් විතරයි. එතනිනුත් "හිතේ කෙටූ ටැටූ"  නං ටැටූ එකක් වගේම නොමැකෙන්න පත්තියං වෙලා තිබ්බෙ.